පිටස්තර ප්‍රදේශයක රැකියාවක්කරන සිය දියණියගේ සුවදුක් දැන ගැනීමට ඇගේ පියා අවස්ථා තුනකදීම ඇයට ඇමතුම් ගැනීමට උත්සහා කළද ඒ හැම අවස්ථාවකදීම වෙනත් කාන්තාවක් කොරෝනා රෝගය ගැන විස්තර කිරීමට පටන් ගත් බැවින්, ඔහු ප්‍රකෝපයට පත්ව ඇයට පරුෂ වචනයෙන් බැන වැදී ජංගම දුරකථනය පොළවේ ගැසූ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ ගමකින් ආරංචි වනවා.
රහමෙර ටිකක් පානය කිරීම සිරිතක් කොට ගත්තත් එදිනෙදා ඒ කාර්යයේ නිරත වෙමින් සිටියදී සිය දියණිය ඔහුට මතක් වී තිබෙනවා. රටේ පවතින නොසන්සුන්තාව නිසා ඔහු දියණියට ඇමතුමක් ගැනීම ඉක්මන් කළා.
සිය ජංගම දුරකථනය ගෙන දියණියට ඇමතුමක් ගත් විට එහා කෙළවරෙන් ඔහුට ඇසී ඇත්තේ වෙනත් කාන්තාවකගේ කටහඬක්.
කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා ස්ථානවල නොගැවසීම ආදී ලෙස ඇය විස්තරයක් කරන්න පටන් ගත්තා.
වැරදි අංකයක් යැයි සිතා ඔහු දුරකථනය විසන්ධි කර මඳ වෙලාවකින් නැවත දියණිය ඇමතුවා.
එහා කෙළවරෙන් යළී ඇසුණේ පෙර කාන්තාවගේ කොරෝනා විස්තරයමයි. ඇමතුම විසන්ධි කොට දුරකථය පසෙකින් තබා නිවස පිටුපසට ගිය ඔහු තවත් අඩියක් කටට හලාගෙන සාලයට පැමිණියා.
දියණියගේ දුරකථනයේ අංකය නිශ්චිතව තහවුරු කරගත් ඔහු නැවත ඇයට ඇමතුමක් ගත්තා.
එවරද පෙර කතා කළ කාන්තාවම කොරෝනා රෝගයෙන් වැළකීමට සබන් යොදා අත්සෝදා ගැනීම ආදී ලෙස කියද්දි ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් "ඒයි ගෑනියේ මට කතා කරන්න ඕනෑ මගේ කෙල්ලට.." යි මහා හඬින් තවත් පරුෂ වචන වැලකින් ඇයට බැණවැදී ජංගම දුරකථනය පොළවේ ගසා තිබෙනවා.
"මේ මිනිහා කාටද මේ කෑ ගහන්නේ" යි කියමින් ඔහුගේ බිරිඳ ඒ ගැන සොයා බැලීමට පැමිණෙද්දි ඔහු ඇයට පවසා ඇත්තේ "තුන් සැරයක් දෝණිට කතා කරන්න හැදුවා. ඒත් ෆෝන් එක උස්සන්නේ වෙන ගෑණියෙක්" ලෙසයි.
සිනාව වළකාගත නොහැකි වූ බිරිඳ කට අතින් වසාගෙන කුස්සිය පැත්තට ගමන් කළ බව ඇයම සිය මිතුරියන්ට පවසා තිබෙනවා.