බෝම්බ දෙකක් විසිකරමින් ජල ක්‍රීඩාවේ යෙදී දිය නාමින් සිටි ළමුන් කණ්ඩායමක් පිළිබඳව ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ගිරාඳුරුකෝට්ටේ පහළ රත්කිඳ ගම්මාන සීමාවෙන් ගලා බසිනා උල්හිටිය ඔයේ දිය නාමින් සිටි ළමුන් කණ්ඩායමක් මෙම අවස්ථාවට මුහුණ දී තිබෙනවා.
සිදුවන්නට ගිය මහා විනාශයක් ඒ අසලින් ගමන් කළ වැඩිහිටියකුගේ විමසිලිමත්භාවයෙන් වළකාගෙන තිබෙනවා.
පහළ රත්කිඳ පදිංචි සාමවිනිසුරුවරයකු වන කේ. එච්. එම්. සමතපාල මහතා ඒ ගැන මෙසේ පවසනවා.
"මේ දිනවල ගම්මානයට ජලය හිඟයි. ගමේ අය දිය නෑමට රෙදි සේදීමට යන්නේ රත්කිඳ වැවට හෝ උල්හිටිය ඔයට. වැඩි දෙනෙක් පැමිණෙන්නේ උල්හිටිය ඔයේ කෝසුව අසල නාන තොටුපොළට.සිද්ධිය වූයේ 15 දින නානු ගාලා ස්නානය කරන දවස. ගමේ විශාල පිරිසක් උදේ කාලයේ සිටම මේ තොටුපොළට ඇවිත් දිය නාගෙන ගොස් තිබෙනවා. ළමුන් නාන්නට පැමින ඇත්තේ හවස. ඔවුන්ට මේ අමුතු ගෙඩි දෙක හමුවී තිබෙන්නේ වතුර යට තිබිය දී හමුවෙලා තිබෙනවා.ඒ මොනවාදැයි නොදත් ඔවුහු ඒවා එහා මෙහා විසි කරමින්, උඩ දමමින් පොළොවේ දමා ගසමින් සෙල්ලම්කර තිබෙනවා. ඒ දෙකම කොන්ක්‍රීට් බෝක්කුවෙත් දමා ගසා තිබෙනවා. වාසනාවකට මෙන් කිසිවක් සිදු වෙලා නෑ. පාර දිගේ අහම්බෙන් යන අයකු මේ සෙල්ලම දැක සැක හිතී ළමුන්ව ඉක්මනින්ම ඉවත්කරලා.සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වා ගත හැකි වුණේ ඔහුගේ විමසිලිමත් බව නිසයි. "
ඉන් එක් බෝම්බයක් මේ වනවිට සොයා ගෙන ඇති අතර අනෙක දිය යට ඇතැයි සැක කරනවා.