නිදුක් පුතුද සුරංගනාවන් කලින්ම සුරංගනා ලෝකයට කැඳවා ගෙන ගොස් හමාරය.
නිදුක් පුතුගේ පියා වන සිරිකුමාර කුඩාගමගේ හද තුළ බුර බුරා නැඟෙන, කියාගත නොහැකි දරාගත නොහැකි වේදනාව ජීවිත කාලය පුරාම ඔහුට වධදෙන බව ඇත්තකි. සරච්චන්ද්‍රයන් කී කතාව සහතික ඇත්තය. පුත්‍ර වියෝගය සදාකල් දුක් දේ නිබන්දා. දැන් මේ පියාට, මවට තිබූ ජීවිතයේ ප්‍රාර්ථනා කිසි කලක විකසිත කරගත හැකිද?
හිස මත පතිත වූ හෙණයක් බඳු මේ සිදුවීම වෙන කිසිවක් නොව ඉකුත් සතියේ කොළඹ, කොටුව ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැඟිල්ලේ දහසය වැනි මහලින් බිමට වැටී අවාසනාවන්ත ලෙස මියගිය දරුවාගේ විප්‍රයෝගයට අදාළ හද කම්පිත කරවන සිදුවීමය.
මහ බැංකුවේ නීති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන නිදුක් පුතුගේ පියාගේ හදේ කකියන ඒ අප්‍රමාණ වේදනාව මටද දැනේ. මේ පියා උගතෙකි, වියතෙකි, මහත්මයෙකි. මවද උගත් බුද්ධිමත් වැදගත් කතකි. ඔවුනට සිටියේ දරු දෙදෙනෙකි. පළමු දරුවා නිදුක්ය. නිදුක්ට වයස අවුරුදු දහසයකි. දියණියට වයස අවුරුදු දහතුනකි.
පුතුගේ හදිසි වියෝවින් ළතවෙන, ඒ උතුම් මිනිසාට කතාව කියන්නට ඉඩදී නිහඬ වීම වැදගත්ය. නිදුක්ගේ පියා කඳුළු සලමින්, සුසුම් හෙළමින්, ඉකි බිඳිමින් කී කතාව එපරිද්දෙන්ම මම මෙලෙස සටහන් කරමි.
සිරිකුමාර කුඩාගමගේ පාසල් ගියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයටය. ගාල්ලේ උපන් කුඩාගමගේ ඉගෙනීමට දක්ෂය. ගැමිකමත්, මිනිස්කමත් සමඟ හැදුණු වැඩුණු ඔහු නීතිගරුකය. විනයගරුකය. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී ඩී සාමාර්ථ (විශිෂ්ට සම්මාන) හතක් හා සී සාමාර්ථ (සම්මාන) සාමාර්ථයක් ද සමඟින් ඉහළින්ම විභාගය සමත් වූ ඔහු උසස් පෙළ විෂය ධාරාව ලෙස තෝරාගත්තේ කලා විෂයයන්ය. කුඩාගමගේ තුළ තිබූ නිහතමානීකමට ඊට වඩා සහතික අවශ්‍ය නැත.
උසස් පෙළ විභාගයෙන්ද විශිෂ්ට ලෙස සමත් වූ ඔහු නීති විද්‍යාලයට ඇතුළු වන්නේ නීතිඥයකු ලෙස බොහෝ දුරක් යෑමේ අදිටනිනි. ඔහුට ඇය හමුවන්නෙ නීති විද්‍යාලයේදීය. දෙදෙනාගේම ගම ගාල්ලේය. දකුණ ලකේ අග නගරය ගාල්ලය. ගාල්ලේ අසිරිය මැද හැදී වැඩුණු දෙදෙනාගේ ප්‍රේමය කෙළවර වන්නේ විවාහයෙනි. මවුපිය ආශීර්වාද මැද දෙදෙනා විවාහ වී අලුත් කැදැල්ලක් තනන්නේ දහසකුත් එකක් ප්‍රාර්ථනා පොදි බැඳගෙනය. දෙදෙනාම නීතිවේදීන්ය.
කුඩාගමගේ මහතා මහ බැංකුවට බැඳුණේ කලකට පෙරය. මේ වනවිට ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටී. බිරියද පෞද්ගලික බැංකුවක නීති නිලධාරිනියකි.
මොවුනගේ සුන්දර කැදැල්ල මාලබේ, කහන්තොට, වෙහෙරගල පෙදෙසේ අංක 222/7, දරන ස්ථානයේ තනන්නේ ඒ පරිසරය සුන්දර මෙන්ම මනස්කාන්ත ප්‍රදේශයක් වූ නිසාය. දිනය හරියටම 2003 මාර්තු මස 31 වැනිදාය. එදා තරම් සුන්දර දවසක් මොවුනට තව නැති තරම්ය.
කුඩාගමගේ පිය පදවිය ලැබුවේ එදිනය. තම බිරිය මවක වූ දිනයේ අලුතින් කැදැල්ලට එක්වූයේ කිරිකැටි පුංචි පුතෙකි. මොන තරම් අසිරියක්ද? ජීවිතයේ අපූර්වත්වය මොවුනට දැනුණේ එදාය.
පුතාට නමක්. කුඩාගමගේ තරුණයා කල්පනා කළේ ඒ ගැනය. අරිසෙන් අහුබුදු සූරීන් මුණගැසී නම් ලැයිස්තුවක්ම අතට ගත් කුඩාගමගේ නම් මේ තරුණ පියා නිදුක් නිම්වර නම කිහිපවරක්ම කියවා බැලීය. දුරකථනය අතට ගත් මේ පියා සුප්‍රකට කිවියර රත්න ශ්‍රී විජේසිංහ මහතාටද කතා කර ඒ නම හොඳදැයි විමසා බැලීය.
“මගෙ පුතා හරිම සුරතල්. පුංචි කාලේ ඉඳන්ම පුතා නිදාගත්තෙ මගෙ දකුණු උරහිසට ඔළුව තියාගෙන. ඒ දරුවා ඊයේ පෙරේදා වෙනකම්ම නිදා ගත්තෙ මගෙ ළඟයි.” පියා අතීතය සිහි කළේ හද ගැබින් නැඟෙන මහා වේදනා සමඟිනි.
“පුතා ඉපදිලා අවුරුදු හතරකට පස්සෙ තමයි දුව ඉපදුණේ. දෙන්නම මගෙ ළඟ තමයි නිදාගන්නෙ. පුතා පාසල් යන්න ළංවෙන කොට ඒ ළමයව හොඳ පාසලකට යවා ගන්න මට ඕනෑකම තිබ්බා. ඒත් මම කවදාවත් හොර ලියකියවිලි හදන්න කැමැති වුණේ නෑ, ගාල්ල රිච්මන්ඩ් එකට දාන්න විදිහකුත් තිබුණෙ නෑ අපි කොළඹ රස්සා කරපු හින්දා” ඔහු කියා සිටී.
නුඹ මොනතරම් උස මිනිසකු වුවත් නීතිය තිබෙන්නෙ නුඹට උඩිනි. ඒ කියමන මොහුටත් බිරියටත් උද්ධෘත පාඨයක් බඳුය. එනිසා නිදුක් පුතාට යන්නට සිදුවන්නෙ තලවතුගොඩ, විදුර විද්‍යාලයටය. දිනක් විදුහල්පතිවරයා කුඩාගමගේගෙන් ප්‍රශ්නයක් ඇසුවේ මෙලෙසිනි.
“ඔයා පුතා මේ ඉස්කෝලෙට දැම්මේ කීවැනි කැමැත්තටද?” “තුන්වැනි හතරවැනි කැමැත්තට” පියා දුන්නේ ඒ උත්තරයය. හේතුව වෙන කිසිවක් නොව හොර ලියකියවිලි සකස් කොට දරුවා හොඳම පාසලකට යැවීමට තිබූ අකැමැත්ත නිසාය. එනිසා ළඟම පාසල හොඳම පාසල සේ සිතාගෙන කටයුතු කරන්නට ඔවුනට සිදුවිය.
“මේ දරුවා හරිම හොඳ කීකරු දරුවෙක්. එයා ඉගෙන ගන්න දක්ෂයි. කරාතේ ක්‍රීඩාව, පිහිනුම් ක්‍රීඩාවට එයා දක්ෂයි. පුතා චෙස් ක්‍රීඩාවටත් දක්ෂයි. එයා එක පාරක් චෙස් තරගාවලියේ ශූරතාව පවා දිනා ගත්තා. මේ පුතා මටයි, අම්මටයි, දුවටයි පුදුම ආදරයෙන් හිටියේ. අපි උදේට උයන්න පටන් ගත්තම පුතා ඇවිත් අම්මව බදාගන්න හැටි මට මතක් වෙනවා. මොනතරම් හොඳ දරුවෙක්ද අපිට නැති වුණේ. වෙච්ච දේ හීනයක් වගේ.”
මේ පියාත්, පුතත්, මවත්, දුවත් බොහෝවිට හවසට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට ගොස් ශරීර සුවතාවල යෙදීමට පුරුදුව සිට ඇත.
“පුතා කිලෝමීටර් අටක් විතර දුවනවා. එයා එයාගෙ සිරුර නිරෝගීව තියා ගන්න උත්සාහ කළා. පිරිසුදුව, පිළිවෙළට ඉන්න දරුවෙක්. කොණ්ඩෙ ලස්සනට තියාගන්න උත්සාහ කළා. මෙයා ගැන මෙයා කරපු කියපු දේවල් මතක් වෙනකොට ඒක දරාගන්න බෑ.”
පුතා අඟහරුවාදා දවස්වල කලින් ලෙක්චර්ස් ඉවරවෙලා නිවෙසට යන දවසය. ඇතැම් දිනවල ඔහු පියාගේ ඔෆිස් එකට පැමිණ සවස පියා සමඟ නිවෙසට යෑමට පුරුදු වී සිටියේය. ඉකුත් සතියේ අඟහරුවාදාද නිදුක් පියාට දුරකථන ඇමතුමක් ලබාගත්තේ ඔය අතරය.
“තාත්තෙ මම ටැක්සියක් අරන් ගෙදර යන්නද? නැත්නම් තාත්තගෙ ඔෆිස් එකට එන්නද?” පුතා විමසා ඇත.
පියාගේ දැනුම්දීමට අනුව නිදුක් මහ බැංකු ගොඩනැඟිල්ලේ පිහිටි පියාගේ කාර්යාලයට ආවේ ඒ අනුවය.
“පුතා ඔයා මගෙ ඔෆිස් එකට ගිහින් වාඩි වෙන්න. මම පොඩි මීටිමක ඉන්නේ” යැයි පියා පුතාට දැනුම් දුන්නේ දුරකථනයෙනි.
නමුත් කුමක්දෝ නරක දෙයක් සිදුවෙමින් තිබිණි. යක්ෂයාගේ හෝරාව ළං ළංවෙමින් තිබිණි. මහ බැංකු ගොඩනැඟිල්ලේ තැනකට වී මාරයා බලා සිටින බව කිසිවකුට මොහොතකට හෝ දැනුණේ නැත.
මේ අහිංසක, සුන්දර, සෙනෙහෙබර දරුවා සොයා මාරයා මහ බැංකු ගොඩනැඟිල්ලට ඒ වනවිටත් පැමිණ සිටියේය.
“I am Very Sorry තාත්තෙ” කියා පියාගේ පරිගණකයේ සටහනක් තැබූ ඔහු මහ බැංකු ගොඩනැඟිල්ලේ පහළොස්වැනි මහලේ සිට හදිසි පිටවීමේ ෙදාරටුවෙන් දහසය වැනි තට්ටුවට ගියේය. ගියා නොව මාරයා රැගෙන ගියා විය යුතුය. මේ දරු පැටියාට වූ දේ අදහන්නටවත් බැරි තරම්ය. මොහොතකින් ඔහුගේ සිරුර හමුවූයේ මහ බැංකු ගොඩනැඟිල්ල යාබදව පිහිටි ජනාධිපති මාවතේ මැදය.
“පුතාට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. පුතා එදා ඉඳන්ම මාත් එක්ක හැමදේම කියනවා. අම්මාත් එක්කත් එහෙමයි. පුතාගෙ පෙම් සබඳතාවක්වත් තිබුණු බවක්වත් අප දන්නෙත් නෑ. අපට කියලත් නෑ. එහෙම තිබ්බ නම් එයා නොකියා ඉන්නෙත් නෑ. අපට සිදු වූ මේ විපත අදටත් හීනයක් වගේ. මොකක්ද මේ වුණේ. මගේ පුතා හොරු අරගෙන ගියා වගේ” පියා ඉකිගසමින් එසේ කීවේ දෙනෙතින් ගලායන කඳුළු ගංගාවක් මැදිනි.
“අපේ ගෙදර මොකක් හරි වැඩකට එන අයට අඩුමකුඩුම අඩංගු තෑග්ගක් දෙන්න පුතා පුරුදු වෙලා හිිටියා. කුලී වාහනයකින් ගෙදරට ආව නම් කුලී මුදලට අමතරව කීයක් හරි වැඩිපුර දෙන්න පුරුදු වෙලා හිටිය දරුවෙක්. හරිම හොඳ ගතිගුණ තිබුණු මගේ පුතාට වෙච්ච දෙයක්”
මතකය මොන තරම් වේදනාකාරීද? මවකට, පියකුට. මේ දරු දුක ඉහිලිය හැකිද? කාලයේ වැලිතලාවට සියල්ල යටවී ගියද මේ පුතුගේ මතකය අමතක කළ හැක්කේ කෙලෙසින්ද? ඒ මතකය වසර දහසයක මතකය. සිදුවීම්, කතාබහ, හැසිරීම් රටා තත්පරයෙන් තත්පරය මේ හිත් මොන තරම් නම් පාරනු ඇද්ද? එය වාවාගත හැක්කේ කවර සිතක් ඇති මවකටද? පියකුටද?
“මම පුතා ඇහැක් වගේ තමයි බලාගත්තෙ. පිය - පුතු සෙනෙහසට එහා ගිය මිත්‍රත්වයක් තිබුණා. අවබෝධයක් තිබුණා. බැඳීමක් තිබුණා. නමුත් එච්චර ළඟ හිටපු මටත් මේ දරුවව ආරක්ෂා කරගන්න බැරි වුණා. ලබන අවුරුද්දේ පුතා වෛද්‍ය උපාධිය හදාරන්න ඕස්ට්‍රේලියාවට යන්න ඇඟිලි ගැන ගැන හිටියේ. සියලු දේ අපට නැතිවුණා.”
“අපි වැඩිහිටියො හැටියට දරුවන්ගෙන් ගෞරවය බලාපොරොත්තු වෙනවා. නමුත් මම හිතන්නේ දරුවන්ගෙ ළමා ලෝකෙ ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියලා මට දැන් හිතෙනවා. වැඩිහිටි අපි දරුවන්ටත් ගෞරව කළ යුතුයි කියලා. ඒ අයගෙ සිතුම් පැතුම්වලට ගෞරව කළ යුතුයි. රත්තරන් පුතාට වෙච්ච දේ නම් මට හීනයක් වගෙයි.” පියා කීවේ ඒ ටිකය.
දැන් සියල්ල අවසන්ය. සුනිල් සරත් පෙරේරා සූරීන් ලියූ පදවැලක් මගෙ මතකයට නැඟේ.