සීතා දේවි, රැම්පේජ්, කොළඹ සන්නිය, ගඟ අද්දර, ගැහැනු ළමයි, අහසින් පොළවට, බැද්දේගම, ගෝඩ් කිං සහ දුවට මවක මිස ආදී සිනමා නිර්මාණවල සංගීතය නිර්මාණය කළේද ඔහු විසින්.
නිමල් මෙන්ඩිස් මහතා මීට පෙර පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් පහතින් පලවන අතර ඉන් ඔහු කලක් ගොවිතැනේ යෙදුණු බවත් එහිදී ලැබූ අත්දැකීම්වලින් ගීත නිර්මාණය කළ ආකාරයත් කියැවෙනවා.
ඔබේ මව්පියන් කොහේ අය ද?
“මගේ තාත්තා දකුණේ කෙනෙක්. අම්මා නුවර පළාතේ කෙනෙක්. අපේ අම්මා නුවර කොන්වන්ට් එකේ ඉගෙන ගත්ත කෙනෙක්. ඇය කතෝලික. මගේ තාත්තා බෞද්ධ. අපේ අම්මා හොඳ ලේඛිකාවක්. එයා 1927 දී තමයි එයාගේ පළවැනි පොත ලිව්වේ.මම පුංචි කාලේ ඉඳන්ම සංගීතයට කැමැතියි. නමුත් ඒ පැත්තෙන් ඉස්සරහට යනවට අම්මල කැමැති වුණේ නෑ. අපේ අම්මා කතෝලික වුණාට කවදාවත් පල්ලියට යන්නෙ නෑ. එයා කිව්වෙ ගෙදර ඉඳන් දෙවියන් අදහන්න පුළුවන් කියලයි.
එංගලන්තෙට ඉගෙන ගන්න ගිය ඔබ සංගීතඥයෙක් වුණේ කොහොමද?
එංගලන්තෙට ඉගෙන ගන්න ගියාට ඒක දුෂ්කර කාර්යයක් වුණා. තාත්තා මට පවුම් 10 ක් එවනවා ඒ වැඩ කටයුතුවලට. නමුත් නිතරම මගේ හිතේ කැමැත්ත තිබුණේ සංගීතයට. මම පියානෝ ගහන්න පටන් ගත්තේ අවුරුදු 04 දි.මම එංගලන්තෙ හිටපු කාලේ club එකක පියානෝ ගැහුවා. එක දවසක් ඒක ඉවර වෙලා මම හිටිය තැනට එන්න බස් එක ගන්න ආවම බස් එක මිස් වුණා. මම පයින්ම නවාතැන වෙත යන්න ගත්තා. මඟදි වෑන් එකකින් කට්ටියක් ඇවිත් මට හොඳටම ගැහුවා. ඊට පස්සෙ මට සුදු මිනිස්සු පෙන්නන්න බැරි වුණා.මගේ හිත හදාගෙන එංගලන්තෙ ඉන්න බැරි වුණා. මට හිතුණා ලංකාවට එන්න ඕන කියලා. ඔය කියන්නේ 1968 දී වෙච්ච සිද්ධියක්. ඊට පස්සෙ මම ලංකාවට ආවා. නෝටන් බ්‍රිජ්වලින් අක්කර 10 ක් අරගෙන පුංචි කාමර දෙකක් හදාගෙන පදිංචි වෙලා ගොවියෙක් වුණා.
එංගලන්ත ජිවිතෙන් එකපාරටම ගොවියෙක් වුණේ කොහොමද?
අර සිද්ධියෙන් මම ගොඩාක් කලකිරිලා හිටියේ. ඒ නිසා සියලු දේ අමතක කරල ගොවියෙක් වුණා. මට හරක් දෙතුන් දෙනෙකුත් හිටියා. ඒ තරම් සල්ලි තිබුණෙත් නෑ. එංගලන්තෙ මගෙ කාර් එක විකුණලා ලැබුණු රු. 35000 ක් තිබුණා.ඒ ළඟ තේ වතුවල වැඩ කරන දෙන්නෙක් ෆාම් එකේ වැඩට ගත්තා. මමත් කලිසමකුත් ඇඳගෙන තණකොළ කපන්න යනවා. ඒ කාලේ ඒ පළාතේ මිනිස්සු මට හිනාවෙන්න ගත්තා කලිසන් ඇඳන් තණකොළ කපනව කියලා.ඒ කාලේ මට අත්දැකීමක් ලැබුණ ජාති බේද, කුල බේද, ආගම් බේද ගැන. සමහර අය එයාගේ බොස්ට මාස්ටර් කිව්වා. සමහරු ‘සර්’ කිව්වා. ඔය අත්දැකීමත් එක්ක ආයෙත් මට හිතුණා ගීතයක් ලියන්න ඕන කියලා.‘මාස්ටර් සර්’ ගීතය නිර්මාණය වුණේ ඔය විදියටයි. මම ඉංග්‍රිසියෙන් ලිව්ව පද ටික කරුණාරත්න අබේසේකර සිංහලට පෙරළුවා. ඒ කාලේ මගේ ෆාම් එකේ පියානෝ එකත් මම ගිහින් තියාගෙන හිටියා.
එතකොට ඔබ කාගෙන්වත් සංගීතය ඉගෙන ගත්තේ නැත්ද?
නෑ කවදාවත් නෑ. මම ඉගෙන ගත්තේ මගෙන්මයි. මාස 06 ක් විතර එරින් අබේසුන්දර ගෙන් ස්වර ප්‍රස්ථාර ලියන්න ඉගෙන ගත්තා එච්චරයි.
චිත්‍රපට පසුබිම් සංගීතයට එක්වෙන්නේ කොහොමද?
නෝටන්බ්‍රිජ් ෆාම් එකේ ඉන්න කොට මගේ හොඳම යාළුවෙක් වුණු මණික් සන්ද්‍රසාගර ආවා මාව බලන්න. ඊට පස්සෙ ඔහු කියන්න ගත්තා, ඔයා මොකද මෙහෙම ඉන්නේ ඔයා හොඳ සංගීතඥයෙක්නේ ඒ හින්දා අපි එකතු වෙලා මොනවහරි කරමු කියලා.ඒ කාලේ ඔහු ‘කළු දිය දහර’ චිත්‍රපටය කරනවා. එහි සංගීත අධ්‍යක්ෂණය මට බාර දුන්නා. ඊට පස්සෙ දිගින් දිගටම මට චිත්‍රපට ලැබෙන්න ගත්තා. ‘සීතා දේවි’, ‘රැම්පේජ්’, ‘කොළඹ සන්නිය’, ‘ගඟ අද්දර’, ‘ගැහැනු ළමයි’, ‘අහසින් පොළවට’, බැද්දේගම’, ‘ගෝඩ් කිං’ ආදියට සංගීතය නිර්මාණය කළා. අන්තිමටම කළේ ‘දුවට මවක මිස’ චිත්‍රපටය.
ඇත්තටම ඔබ සංගීතය ඉගෙන ගත්තෙත් නැතිනම් මේ ගී තනු නිර්මාණ හා ස්වර රටා කොහෙන්ද ඔබට?
මමවත් දන්නේ නෑ මගේ නිර්මාණ කොහෙන්ද එන්නෙ කියලා. පියානෝ එක ගහ ගහ ඉන්න කොට ඒවා නිකම්ම මගේ හිතට එනවා. මගේ නිර්මාණවල බටහිර, රාගධාරි, ජෑස් (Jass), ඉන්දියානු, ජන සංගීතය මේ හැම දෙයක්ම මිශ්‍ර වෙලා තියනවා කියලා මට හිතෙනවා.මට මතකයි මම ‘ගෝඩ් කිං’ සංගීත නිර්මාණය කරන කොට මට මතක් වුණේ මගේ අම්මගේ ගමේ නුවර යනකොට. ගොවින් සී සානකොට කිසියම් තාලයකට ගායනයක් කරනවා. ඒ ශබ්ද මගේ මතකයට ආවා. පන්සලේදි අපට අහන්න ලැබෙන බණ පිරිත් හඬ මේ හැම දෙයක්ම මම ‘ගෝඩ් කිං’ සංගීතය සඳහා පාවිච්චි කළා.
ගඟ අද්දර ගීතය ප්‍රථම වරට විජය කුමාරතුංග විසින් ඇසූ මොහොතේ දුර්ලභ ඡායාරූපය....
මොහු අතින් නිර්මාණය වූ අපූර්ව ගීතයන්ගේ වීඩියෝ එකතුවක් පහතින්....
VIDEO VIDEO VIDEO