දුම්පානය තහනම් කළ ද ප්‍රධාන නගර වාහන දුමාරයෙන් පිරීයාම සහ ඒවා ආශ්වාස කිරීම දුම්පානයට වඩා අනතුරුදායකය. නව දිල්ලි සහ බීජින් නගරවල දිනක් ගත කිරීම දුම්වැටි 40 ක් පානය කිරීමට වඩා අනතුරුදායකය.
ඔබ කවර වයසේ පසුවුව ද පෘථීවියට සාධාරණය ඉටුකිරීම සඳහා දේශගුණික ක්‍රියාකාරිකයකු විය යුතුය. එය යුගයේ හදිසි අවශ්‍යතාවකි. ලෝක සිතියම පුරා සෑම මහාද්වීපයක ම පාසල් දරුවාගේ සිට ජ්‍යෂ්ඨ රටවැසියා දක්වා දේශගුණික අර්බුදය හමුවේ එකම පෙරමුණක් ලෙස සංවිධානය වේ.
මෙම පෘථීවිය මත ජීවියකු ලෙස බිහිවීම සහ නො නැසී පැවතීම වෙනුවෙන් මහපොළවට ගෞරවය දැක්විය යුතුය. අනෙක් සෑම ජීවියෙක් ම මහපොළොවේ අඛණ්ඩ පැවැත්ම සඳහා අවශ්‍ය සහාය මෙන්ම සිය මෙහෙවර ඉටු කරයි. සෑම අයකුට ම මහපොළව පූජනීය වස්තුවකි.
අන්තර්ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ සිට ආපසු පැමිණෙන අභ්‍යවකාශගාමියා ට සමස්ත පෘථීවිය ම (Home)එක් නිවහනකි. එක් කුඩා දුපතක්, සීමා සහිත රාජ්‍යයක් මවුබිම වශයෙන් වන්දනාවට පාත්‍ර වූ යුගය 2020 න් අවසන් විය. දේශගුණික වෙනස විසින් එම පටු මතවාදය බිඳදැමීය.
දැන් මාතෘභූමිය යනු සමස්ත පෘථීවියයි. එමෙන් ම ආගමික, වාර්ගික ව අන්තවාදී ලෙස බෙදී වෙන් ව ගිය මානව සමාජය එක ම පවුලක සමාජිකයන් ලෙස දේශගුණික සාධාරණත්වය (climate justice) උදෙසා පෙළගැස්වීමට සහ පටු දේශපාලන නිකායවාද අභාවයට යවා විශ්වීය පොදු අරමුණක් සඳහා විවෘත අවකාශය තුළ කඳවුරු බැඳීමට දේශගුණික වෙනස සමත් විය.
ගතානුගතික මතවාදයන්ට අනාගතයේ නව අවකාශය මත වේදිකාවක් නොමැත. නව යුගයේ විශ්වාසය ආගම, දර්ශනය, දේශපාලනය, සංස්කෘතිය සහ ජීවන පැවැත්ම පෘථීවියේ ස්වභාවික පැවැත්ම මත පදනම් වේ. අන් සියල්ල ජීවයෙන් තොර හුදු කල්ඉකුත් වූ මතවාද පමණි.
අනාගත අභියෝගය
ඇන්ටාක්ටිකාව ගෝලීය සමස්ත අයිස්වලින් 90% ක් ද ජලය 70% ක් ද රඳවා ගෙන ඇත. එහි අරුත නම් සමස්ත ගෝලීය ජලයෙන් 70% ක් ඇන්ටාක්ටිකාවේ තැන්පත් ව තිබේ යන්නය. ඇතැම් තැනක අයිස් අඩි 15.778 ක ඝණතවයෙන් යුක්ත වෙයි.
වත්මන් දේශගුණ විපර්යාසය නිසා එහි අයිස් දියවුව හොත් ලොව පුරා සාගර ජල මට්ටම අඩි 187 කින් ඉහළ යයි. අයිස් තට්ටු සහ ගැලැසියර ලොව පිරිසුදු ජලය රඳවා ගෙන ඇත. දේශගුණික වෙනස නිසා ඒවා දියවීයාම ආරම්භ වී තිබේ. එහෙයින් සාගර ජල මට්ටම ඉපිල යයි. 2020 පෙබරවාරි 10 දින ඇන්ටාක්ටිකාවේ ඇතැම් තැනක උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 (68f)ඉක්මවා තිබිණි. බටහිර ඇන්ටාක්ටිකාවේ අයිස් දියවී යාම වසර 100, 000 කට පසු සාගර ජල මට්ටම ඉහළයාමක් යැයි නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.
බටහිර ඇන්ටාක්ටිකාවේ අයිස් දියවී යාමෙන් සාගර ජල මට්ටම මීටර 3 කින් ඉහළ යයි. කඳුවැටි සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික ආයතනයේ පස් වසරක අධ්‍යයනයට අනුව හින්දුකූෂ් සහ හිමාල අඩවියේ අයිස් ඉතා වේගයෙන් දියවීයාම මානව කාබනික විමෝචනයේ සෘජු බලපෑමකි.
ප්‍රධාන සාගර තරංග හැසිරීම පිළිබඳ ව නාසා ආයතනය වසර 12 ක් චන්ද්‍රිකා තාක්ෂණය මගින් ඒකරාශි කළ දත්ත අනුව සමස්ත පරිසරයේ සමතුලිතතාව ධ්‍රැව ප්‍රදේශ අයිස් සහ ගැලැසියර මගින් පාලනය විය. නාසා පෘථීවි නිරීක්ෂණයට අනුව 1880 සිට මානව ක්‍රියාකාරිත්වය හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 කින් ඉහළ ගිය අතර, 1975 සිට සෑම දසකය ක ම සෙල්සියස් අංශක 0.15 - 0.20 අගයකින් ඉහළ ගොස් ඇත. වත්මන් මානව ක්‍රියාකාරිත්වය මේ අයුරින් ම පවත්වාගෙන ගිය හොත් ඉදිරි වසර 50 තුළ මහා විනාශයක් කරා මානවයා සමස්ත පෘථීවිය මෙහෙයවනු ඇත.
ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු දියවීම පසු ගිය දසක කීපය තුළ හය ගුණයකින් ඉක්මන් ව ඇත. ආක්ටික් ප්‍රදේශයේ අයිස් තට්ටු ඉතා ශීග්‍රයෙන් දියවෙමින් පවතී. තක්සේරුවට අනුව 21 සියවස අවසන් වීමට පෙර ග්‍රීෂ්ම සෘතුවේ දී සම්පූර්ණයෙන් ම අයිස් දියවී යනු ඇත.
2015 පැරිස් දේශගුණික එකඟතාවට අනුව සෑම රාජ්‍යයක් ම ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1. 5 කින් අඩු ස්ථානයක රඳවා ගැනීමට අත්සන් තබා ඇත. එහෙත් වත්මන් තත්ත්වය අනුව 2100 දී උණුසුම සෙල්සියස් අංශක 3 .2න් ඉහළ යයි. එසේ වුව හොත් පෘථීවි ගෝලයේ උණුසුම ඉහළ ගොස් උණුසුම් වායු තරංග (Heat waves)සහ ආන්තික දේශගුණික ව්‍යසනයන් ඇතිවීම අනිවාර්ය ලක්ෂණයකි.
මෙම ආපදාවෙන් ගැළවීමට නම් සෑම වසරක ම කාබනික වායු විමෝචනය 7% කින් පහළ දැමිය යුතුය. එනම් සැම වසරක ම ගිගා ටොන් 15 කාබනික ප්‍රමාණය කපා දැමිය යුතුය. එය සාමාන්‍යයෙන් යුරෝපා සංගමය, ඉන්දියාව, රුසියාව සහ ජපානය නිෂ්පාදනය කරන කාබනික ප්‍රමාණයට සමාන වේ.
G20 කණ්ඩායමට අයත් ලොව විශාල ආර්ථීකයට හිමිකම් කියන රාජ්‍යයන් ගිගා ටොන් 43 ක කාබනික වායු ගෝලයට මුදාහරින අතර, එය සමස්ත කාබනික ප්‍රමාණයෙන් 78% කි. සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් ද විශාල ලෙස කාබනික විමෝචනයට දායක වේ.
දේශගුණික වෙනස නිසා සෑම විනාඩි දෙකකට ම වරක් එක් පුදගලයකු ට සිය නිවස හැරයාමට සිදු වේ. වාර්ෂික ව එම සංඛ්‍යාව මිලියන 20 ඉක්මවයි. එය යුද්ධයෙන් අනාථවන සංඛ්‍යාවට වඩා තුන් ගුණයක ඉහළයාමකි.
ගංවතුර, සුලි සුළං, කැලෑ ගිනිගැනීම්, උණුසුම් තරංග සහ සාගර ජලය ඉපිලීම මෙම ව්‍යසනයට හේතු වේ. දේශගුණික වෙනස නිසා 80% ක් ආසියානු ජනයා පීඩාවිඳින අතර ඉකුත් දස වසර තුළ පස් ගුණයකින් ඉහළ ගොස් ඇත. සාගර ජලය ඉහළ යාම සහ උණුසුම් වීම හේතුවෙන් කුඩා දුපත් ආපදාවට පත්වීම නොවැළැක්විය හැක.
කාබනික විමෝචනය අවම කිරීම
ලොව පුරා වාර්ෂික ව මිලියන 78 ක ජනයා වාහන අනතුරුවලින් ආබාධිත වෙති. මිලියන 1.35 ක ජනයා මිය යති. ලංකාවේ වාහන අනතුරුවලින් 3, 000 කට ආසන්න පිරිසක් මිය යති. අබාධිතවීම දහස් ගණනකි. දුම්පානය තහනම් කළ ද ප්‍රධාන නගර වාහන දුමාරයෙන් පිරීයාම සහ ඒවා ආශ්වාස කිරීම දුම්පානයට වඩා අනතුරුදායකය.
නව දිල්ලි සහ බීජින් නගරවල දිනක් ගත කිරීම දුම්වැටි 40 ක් පානය කිරීමට වඩා අනතුරුදායකය. 2019 සැප්තැම්බර් මස සිට යුරෝපා සංගමයේ බොහෝ රාජ්‍යයන් කාබනික විමෝචනය අවම කර ස්වභාවිකත්වය වෙත යොමුවීම අගය කළ යුතු දැක්මකි. 2050 වසරට පෙර ඔවුන් සම්පූර්ණයෙන් ම කාබනික වායු මුදාහැරීම නවතා දමයි. ස්කැන්ඩිනෙවියන් රාජ්‍යයන් දැනටමත් ආදර්ශ ඉදිරිපත් කර ඇත.
අනාගත කාබනික විමෝචන පරතරය අවසන් කිරීමට අප කුමක් කළ යුතු ද? පුණර්ජනනීය බල ශක්ති උත්පාදනය සඳහා වාර්ෂික ව ඩොලර් බිලියන 1. 6 ක් ආයෝජනය කළ යුතුය. ගල් අඟුරු භාවිතයෙන් සෑම රාජ්‍යයක් ම සම්පූර්ණයෙන් ම ඉවත් විය යුතුය.
ප්‍රවාහනය ෆොසීල ඉන්ධන භාවිතයෙන් ඉවත් ව කාබනිකහරණය (decarburization) කළ යුතුය. කර්මාන්ත සහ නිෂ්පාදනය කාබනිකහරණය කළ යුතුය. එමෙන් ම ලොව පුරා බිලියන 3.5 ක ජනයාට විකල්ප ක්‍රමෝපායන් මගින් විදුලි බල ශක්තිය සඳහා ප්‍රවේශවීමට අවශය පහසුකම් සැලසිය යුතුය.
වාහන රහිත අනාගත නගර
2018 නොවැම්බර් මස ආරම්භයේ සිට ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගර වීථි ෆොසීල ඉන්ධන දහනය වන වාහනවලින් (කාර්) තොර නිදහස් කලාපයකි. නාගරික සීමාවේ වෙසෙන පුරවැසියා විද්‍යුත් වාහන භාවිත කළ යුතුය. නොර්වේ ඔස්ලෝ නගරයේ වාහන නවතා තැබීමට අවසර නොමැත.
බොහෝ නාගරික වීදි මහමඟ ගමන්කරන මගියාට සහ බයිසිකල්කරුවන් සඳහා පමණක් විවෘත ය. පැරිස් සහ බ්‍රසල්ස් නගර වාර්ෂික ව වාහනවලින් තොර, දින නියම කළ කාලසටහනක් සකසා ඇත. මෙක්සිකෝ සහ ඇතෑන්ස් නගර සඳහා 2025 දී ඩීසල් වාහන සඳහා තහංචි පැන වේ.
නාගරික ප්‍රදේශ වාහනවලින් තොරවීම ඉතා නිදහස් අවකාශයක් මෙන්ම වායු දූෂණයෙන් තොර පරිසරයක් මානවයාට මෙන්ම සියලු සත්ත්ව සහ ශාක ජීවීන්ට නිර්මාණය කරයි. නගර ජීවීන් සඳහා පමණක් වන අතර වාහන සඳහා නොවනු ඇත. නවතම විද්‍යාත්මක තක්සේරුවට අනුව වාහන සඳහා ෆොසීල ඉන්ධන භාවිතයෙන් නයිට්‍රජන් ඔක්සයිඩ් (nitrogen oxide)සහ කාබන් ඩයොක්සයිඩ් (carbon dioxide)වායු ගෝලයට මුදාහැරීමෙන් ලොව පුරා වාර්ෂික ව ළදරු මරණ 184.000 ක් සිදුවේ.
එමෙන්ම හෘද්‍යාබාධ සහ ස්වශන පද්ධතියේ ආබාධ (dementia) චිත්තවික්ෂෝපයට හේතු වේ. අධිවේගී මාර්ග අවට ජීවත්වන්නන් 7% ක් විවිධ රෝගාබාධවලට ගොදුරු වේ. ෆොසීල ඉන්ධන දහනය ගෝලීය උෂ්ණත්වය ඉහළයාමට ද ප්‍රධාන හේතුවකි.
පෞද්ගලික වාහන භාවිතය නිසා ශාරීරික ව්‍යායාම අඩුවීම සහ ශාරීරික අක්‍රීයත්වය අද ලොවපුරා දක්නට ලැබෙන සෞඛ්‍ය ගැටලුවක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. තවද වාහනවලින් නැඟෙන අධික ඝෝෂාව මානසික ආතතියට හේතු වේ.
නගර වීථි වාහනවලින් නිදහස් කිරීමෙන් පමණක් මෙම ගැටලුවට පිළිතුරක් සොයා ගත හැකිය. 2018 සැප්තැම්බර් මස 16 දින පැරිස් නගරය වාහනවලින් තොරවීම නිසා වායු ගෝලයේ නයිට්‍රජන් ඔක්සයිඩ් 41% කින් සහ ඝෝෂාව 5% කින් පහත වැටිණි. බ්‍රසල්ස් නගරයේ දුමාරය 80% කින් ද රෝගාබාධ සැලකිය යුතු ප්‍රමාණයකින් පහත ගිය වග තොරතුරුවල සටහන් වේ.
මමත්වය ඉවතට
කොපන්හෙගන් නගරයේ ජනයා ස්වෙච්ඡාවෙන් 80% ක් බයිසිකල් භාවිත කරති. ස්පාඤ්ඤයේ පොන්ටෙවිඩ‍්‍රා නගරයේ පාසල් දරුවෝ 80% ක් ආසන්න පාසලට පයින් ගමන් කරති. ඇතිවී තිබෙන නිදහස් අවකාශයේ හරිත වර්ණ ශාක නිරෝගී ව වැඩී යයි.
2015 වසරේ සිට ඔස්ලෝ නගර වීථි මහමඟ ඇවිදින්නන්ට සහ බයිසිකල්කරුවන්ට පමණක් විවෘතවීම නව වෙනසක් සහ අතවශ්‍ය ක්‍රියාකාරකමක් ලෙස දැකීමට ජනයා පුරුදුවී සිටිති. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් වාහන භාවිතයට අවසර ලැබේ. අද ඔස්ලෝ නගරය යුරෝපයේ පිරිසුදුම පුරවරය යි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය තුළ පොදු ප්‍රවාහන සේවාවක් යොදා ඇත. පෞද්ගලිකත්වයෙන් මිදීමට පොදු එකඟතාවලට පැමිණීම ඉතා යහපත් මානවීය ලක්ෂණයකි.
මමත්වය මෙන්ම කෑදරත්වය ඉවත් කිරීමට ඔබ සූදානම් ද? නව ලිබරල් මතවාදය විසින් මානවයා සාමූහිකත්වයෙන් විසුරුවා අතිශයින් ම පෞද්ගලිකත්වය මත සිරගත කළ ව්‍යාජ නිදහස නමැති සංකල්පය නව ස්වභාවිකත්වය නමැති මතවාදය මගින් පුරවා හැරියේය.
සෑම ග්‍රහලෝක වැසියෙක් ම කාබනික විමෝචනය සිමාකිරීමට දායක විය යුතුය. 2030 වසරට පෙර ෆොසීල ඉන්ධන භාවිතයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් වී කාබනිකහරණය සඳහා පෙළගැසිය යුතුය. දරුවා දෙපයින් ගමන් කළ හැකි ආසන්න පාසල වෙත යැවීම ට පෙළඹීම මවුපියන්ගේ යුතුකමකි.
අනාගතය උදෙසා කැපකිරීම නො කළ හොත් විනාශයෙන් ගැලවීමට ඔබ වෙනත් විකල්ප මඟක් සොයාගත යුතුය. පරිභෝජන මතවාදය විසින් මානවයා තුළ රෝපණය කර ඇති සුඛෝපභෝගී ජීවන රටාව සහ සම්පත් මංකොල්ලකෑමේ උන්මාදය ඔබට මෙම සියවස තුළ තවදුරටත් පවත්වාගෙන යා නො හැකිය. ජීවිතය යනු බහුභාණ්ඩවලට පෙම්බැඳීම නොව සොබාදහම සමඟ සහවාසයයි. සරළ දිවිපෙවතක් සඳහා ඔබ සූදානම් ද?
"දිණමිණ"