ඒ නිසා 'දේවාල' අරක්ගත් දෙවි දේවතාවුන් වහන්සේලා කෙසේ වෙතත් ඒවායේ වැඩවසන කපුවන් දෙවියන්ගේ පිහිට පතා පැමිණෙන නරයින්ගේ අතමිට සූරා කෑමෙන් නොනැවතී ඔවුන්ට විවිධ අන්දමේ ලිංගික අතවරද සිදු කරන්නට තරම් 'අනුභාව' සම්පන්නව සිටින බව දෙවියන් නොදැන සිටීම ද අවාසනාවක්.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ අන්දමට මෙම කතාව පෙළ ගැසෙන්නේ මෙසේයි.
ඇය නමින් නිර්මලා. ඇය ලග්ගල ප්රදේශයේ පදිංචිකාරියක්. තවමත් තරුණවිය නොඉක්මවා සිටි ඇය මනා රූ සපුවකින් යුක්ත වූවා. නිර්මලා දෙස වරක් හැරී බැලුවෙකු ආපහු හැරී බැලුවේ නම් එය අරුමයක් නොවේ.
ඇය වසරකට පමණ පෙරදී විවාහ දිවියට එළඹියද කුමන හෝ අවාසනාවක් හේතුවෙන් ඇගේ සැමියා ඇයට පිටුපෑවේ කලක් තිස්සේ ගොඩනැගුණු 'කුරුළු කූඩුව' ද කඩා විසිරුවමින්.
සැමියා යළි ගෙන්වා ගැනීම වෙනුවෙන් ඇය කළ හැකි බොහෝ දේ කළා. එහෙත් ඒ සියල්ල ගඟට කැපූ ඉනි සේ නිශ්ඵල වූ තැන ඇය දෙවියන්ගේ පිහිට පතන්නට තීරණය කළේ හිතවතුන්ගෙන් ලද උපදෙස් අනුවයි.
මෙබඳු දේට ප්රසිද්ධ දේවාලයක් ගිරාඳුරුකෝට්ටේ අලුත්තරම ප්රදේශයේ පිහිටා ඇති බව ඇයට හිතවතෙකුගෙන් මාර්ගයෙන් දැනගන්නට ලැබෙන්නේ මේ අතරයි.
කිසිවෙකුට නොදන්වා මෙකී දේවාලය සොයා ගිය ඇය මැදිවියේ පසු වූ නපු මහතාට එතෙක් සඟවාගෙන සිටි දුක්ගැනවිල්ල දිග හැරියේ ඔහුගේ කරුණාවන්ත වචනවලින් ඇගේ සිතේ හටගත් විශ්වාසය නිසායි.
කාන්තාවගේ කතාව සාවධානව අසා සිටි කපුවා මේ අඹු සැමියන්ගේ විසීරි ගිය කුරුළු කූඩුව යළි ඉදිකිරීම පහසු බව ඇයට පැවසුවේ ඇගේ සිතට නව බලාපොරොත්තුවක් එක් කරමිනුයි.
බොහෝ වෙහෙස මහන්සියෙන් උපයා ගත් රුපියල් විසිදහසක පමණ මුදලක්ද ඇය කපුවා අත තැබුවේ ඊට වඩා දහස් ගුණයක් තම සැමියා වටිනා බව දන්නා නිසායි.
'දේව කන්නලව්වේ' මූලික වියදම්වලට එය ප්රමාණවත් නොවූවත් මේ කාන්තාව දෙස සානුකම්පිතව බැලූ කපුවා එම මුදලා සාක්කුවේ දමා ගත්තේ තවත් මුදලක් සුදානම් කරගන්නා ලෙස ඇය දැනුවත් කරමින්.
ඉන් නොනැවතුණු කපුවා ඇයට යළිත් දේවාලයට පැමිණිමට දිනයක් නියම කළේ අදාළ පූජාව ඉතා රහසිගතව සිදු කළ යුතු එකක් බව පවසමිනුයි.
ඒ අනුව මේ කාන්තාවට තනිවම බස් රියකින් පැමිණෙන ලෙසත්, තමා නියම කරන ස්ථානයක බසයෙන් බසින ලෙසත්, පැවසූ කපුවා නියමිත වේලවාට එහි ගොස් කාන්තාව ත්රීරෝද රථයකට නංවා ගත්තේ ගුරුකමේ ඉතිරි කොටස ඉතා රහසිගතව කළ යුතු නිසාවෙනුයි.
කිසිම සැකයක් නොදැනීම නිසා මේ කාන්තාව කපුවාගේ ත්රීරෝද රථයට ගොඩ වූයේ කෙසේ හෝ සිය සැමියා නිවසට ගෙන්වා ගැනීමේ අදහසිනුයි.
මඳ දුරක් ත්රීරෝද රථයේ ගමන් කළ කපුවා කාන්තාව අමතමින් කීවේ අපූරූ කතාවක්.
"දරුවා ඔය වීල් එක පිටිපස්සෙ තඹ තහඩවුක් ඇති. ඒක අතට අරන් මම කියන විදිහට කරන්න.." ඔහු නියම කළ දෙයින් ඇය විමතියට පත් වුණා. ලැඡ්ඡාවෙන් ඇඹරුණු නිර්මලා කපුවා කී දේ ප්රතික්ෂේප කළේ කපුවාට සිය විරෝධය ද එල්ල කරමිනුයි.
එහෙත් ඉන් නොනැවතුණු කපුවා මඳ දුරක් ගොස් පාළු නිවසක් වැනි ස්ථානයක් වෙත ත්රීරෝද රථය හැරවීමට සැරසුණේ, "කමක් නැහැ.. ඒ ටිකත් මමම කරගන්නම්" යැයි පවසමින්.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී කපුවා පිළිබඳ සැක සිතූ නිර්මලා ධාවනය වෙමින් තිබූ ත්රීරෝද රථයෙන් පැන ප්රධාන මාර්ගයට පැමිණ බස් රියකට ගොඩ වී නිවෙස බලා ගමන් කළේ සිය 'පතිවත' සෙසු සියල්ලටම වඩා වටිනා බව මෙනෙහි කරමින්.
පසුදින ඇය ඥාතින් පිරිසක්ද සමඟ කපුවා සොයා දේවලයට පැමිණෙන්නේ තමාගෙන් ලබාගත් රුපියල් 20,000 මුදල් නැවත ඉල්ලාගෙන යන්නටයි.
එහෙත් එම මුදල් ලබාදීම කපුවා ප්රතික්ෂේප කරද්දි ඇය නතර වූයේ ගිරාඳුරුකොට්ටේ පොලිස් ස්ථානයේ යි.
ඇගේ කතාව අනුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක විතානච්චි මහතා සිය මෙහෙයුම ආරම්භ කරන්නේ කාන්තාව දුන් හෝඩුවාවද සැලකිල්ලට ගනිමිනුයි.
අවසානයේ 'දෙවියන්' අලෙවි කරමින් මිනිසුන්ගේ මුදල් පමණක් නොව ලිංගිකත්වයද සූරා කෑමට උත්සහ කළ දුෂ්ට කපුවාට නැවතීමට සිද්ධ වූයේ පොලිස් කූඩුවේ යි. එතැනින් මහියංගණ මහේස්ත්රාත්වරයා හමුවට පමුණුවන ලද කපුවා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.