දෛවයේ සරදමට අභියෝග කළ මිනිසුන් දෑතේ සවියට වඩා සිතේ ශක්තිය පෙරදැරි කර ගනිමින් ජීවිතයට මුහුණ දුන් අවස්ථා බොහෝ කලාතුරකින් අසන්නට ලැබේ. එසේ නොවන විට ගතේ වාරුව ඇතත් සිතේ සවිය නැති මිනිසුන් සමාජයට බරක් වී දිවි ගෙවන සමාජයක කය කුඩා වුවද කය කොතෙක් දුබල වුවද සිතේ ශක්තියෙන් ජීවිතයට මුහුණ දෙන ආදර්ශවත් මිනිසකු හමුවූයේ වැලිගම, දෙණිපිටිය ප්‍රදේශයෙනි. ඔහු ඇත්ත වශයෙන්ම ආදර්ශවත් තරුණයෙකි. සැබැවින්ම මානව හිතවාදී මනුෂ්‍යයෙක්. ඔහු නමින් අර්ජුන.
ඒ තම මාපියන්ගෙන් පෝෂණය වී නිදහස් අධ්‍යාපනයෙන් ලොවක් දුටු වත්මන් සමාජයේ බොහෝ දෙනකු ගතින් පොහොසත් වුවද ගතින් සවිමත් වුවද ඔවුන් සිතින් බොහෝ දුබල බව වැටහෙන්නේ අර්ජුන සමඟ සසදා බලන විටය. කායික වශයෙන් උපතින්ම දුබල අර්ජුන ලොවටම කියන පණිවුඩය දෑත වෙහෙසා උපන් බිමට ණය නැති මිනිසකු ලෙස ජීවත් වන ලෙසයි. ඔහු ආදර්ශයෙන්ම උපන් බිමට ණය නැති මිනිසකු ලෙස ජීවත් වෙයි.
ඊ.එච්.අර්ජුන, වැලිගම, දෙණිපිටිය, මීරුප්ප ප්‍රදේශයේ ජීවත්වන වයස අවුරුදු 40ක උපතින්ම ආබාධිත විශේෂ අවශ්‍යතා ඇති අයෙකි. පවුලේ සහෝදර සහෝදරියන් මැද හැදී වැඩුණු අර්ජුන කාලයත් සමඟ ජීවිතයට මුහුණ දෙන්නට විය. ප්‍රදේශයේ සම වයසේ බොහෝ මිතුරන්ට මෙන්ම අර්ජුනට බොහෝ දේ කළ හැකිව නොතිබුණේ උපතින්ම ආබාධ සහිතව මෙලොව එළිය දැකීම නිසාය. එහෙත් අර්ජුන කළ හැකි දෙයක් කිරීමට පසුබට වුණේද නැත. ඔහු තෝරාගත්තේ බොහෝ දෙනකු අකැමැති හේන් ගොවිතැන නඟා සිටුවීමටය.
ඇත්ත වශයෙන්ම ඔහුගේ ශරීර තත්ත්වය දෙස බැලීමේදී ඔහු සිටිය යුත්තේ ඇඳක් මතය. ඒතරම්ම කායික වශයෙන් දුර්වල වී ඇත. ඔහු ජීවත්වන ප්‍රදේශයේ ගොවිතැන් කිරීම එතරම් පහසු නොවේ. කැකෑරුණ ගිනි අව්වට ඉරි තැළුණු පොළොව අස්වැද්දීම හොඳ ශරීරයකින් යුත් තරුණයකුට පවා අසීරු කටයුත්තකි. එහෙත් අර්ජුන එම කොරටුවේ වගා ළිඳෙන් වතුර ගෙන මේ වගාව සකස් කරන ආකාරය දකින ඕනෑම අයකු විමතියට පත්වනු නිසැකය. හරිහැටි උදැල්ල පවා අල්ලා ගැනීමට අර්ජුනගේ දෑත් ශක්තිමත් නොවන නමුදු ඔහු උදැල්ල බදාගෙන මේ පොළොව බුරුල් කිරීම, පැළ සිටුවීම, පාත්ති සකස් කිරීම සිදුකරයි. මෙම වගාව තුළ පතෝල, වම්බටු, මිරිස් , පලා වර්ග ආදිය තෝරාගෙන ඇති අතර එම කිසිම බෝගයකට රසායනික පොහොර යෙදීම නොකිරීමට ඔහු තරයේ සිතාගෙන ඇත. ඔහු පවසන්නේ රසායනික පොහොර වස බවත් ඒවා කෑවාම මිනිසුන් ඉක්මනට මැරෙන බවය.
හරිහැටි වචන උච්චාරණය කිරීමට අර්ජුනට හැකියාව නැතත් ඔහු සමඟ පැය කිහිපයක් ගතකරන විට ඔහුගේ කතාව තේරුම්ගත හැකිය. මෙලෙස වගා කරන එළවළු වර්ග එම කොරටුවේ සිට කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටි දෙණිපිටිය පොදු වෙළෙඳපොළට රැගෙන ගොස් වෙළෙන්දන්ට අලෙවි කරන අතර එමඟින් ලැබෙන මුදල ඔහුගේ මවට ලබාදෙන බව අර්ජුන පවසයි. වෙනත් තරුණයන්ට මෙන් අර්ජුනට බලාපොරොත්තු නැතිවාම නොවේ. ඔහුත් ඇති හැකි පමණින් හොඳින් ඇඳ පැලඳගෙන සිටීමට කැමැතිය. ඔහුගේ ලොකුම බලාපොරොත්තුව විදුලි බලයෙන් ක්‍රියාකරන රෝද තුනක පැදියක් ගැනීමය. එය තිබුණේ නම් මෙසේ වගා කරන එළවළු කිලෝමීටර් තුනක් පමණ කර තියාගෙන යෑමට අවශ්‍ය නොවන අතර එම පැදියෙන් පහසුවෙන් දෙණිපිටිය පොළට රැගෙන යෑමට තිබිණි. එපමණක් නොව අර්ජුනට හොඳ යාළුවෝද සිටිති. එය කෙසේ වෙතත් අර්ජුන යාළුවන්ට හොඳ යහපත් යහළුවෙකි. ප්‍රදේශයේ දානේ ගෙයක්, මළ ගෙයක් තිබුණේ නම් එතැන අර්ජුන සිටී. අර්ජුන නොමැතිනම් කුමක් හෝ ලොකු හේතුවක් විය හැකිය. යහළුවෝ අර්ජුන සොයාගෙන පැමිණෙති.
“ මම කුඩා කාලයේ සිටම ගොවිතැනට හරිම කැමැතියි. දැන් ඉන්න ගොඩක් අය ගොවිතැනට කැමැති නෑ. ඒ මොකද දන්නවද? ඇඟේ් මඩ ගෑවෙනවට. දැන් ඉන්න අය අම්මට තාත්තට කරදර කරනවා, අරව මේවා අරගෙන දෙන්න කියලා. හැබැයි ඒ අය මහන්සි වෙලා කීයක් හරි හොයා ගන්නේ නෑ. එහෙම හොඳ නෑ. මොනවා හරි කරන්න ඕන. මොකුත්ම නැත්නම් සල්ලි නෑ. මොනවා හරි සල්ලි හම්බවෙන වැඩක් කරන්න ඕන.
ඔබ සතුටෙන්ද මේ වගා කරන්නේ?
ඔව්. මම සතුටුයි. මම සතුටෙන් තමයි මේ වැඩ කරන්නේ. ටිකක් අමාරුයි අව්ව. ඒත් මේවා කරනවා. මම වස පෝර දාන්නේ නෑ. දැම්මම මිනිස්සු කාලා මැරෙනවා. ඒ නිසා මම කොළ ජාති වේළලා පොහොර හදා ගන්නවා. කෘමීන්ටත් ඉසින දේවල් මම කොළ ජාති කොටලා හදා ගන්නවා.
ඔබට බලාපොරොත්තු මොනවද තියෙන්නේ?
මෙහෙම එළවළු වගා කරලා නෙළා ගන්න එළවළු විකුණලා ගන්න සල්ලි අම්මට දෙනවා. අම්මා ඒවා එකතු කරනවා. ඒවා එකතු කරලා මම විදුලියෙන් යන මෝටර් සයිකලයක් ගන්නවා. ඒත් එච්චර සල්ලි එළවළු විකුණලා හොයාගන්න බෑ. ඒත් උත්සාහ කරලා බලනවා.
ඔයාට බයික් එකක් මොකටද?මට යන්න බයික් එකක් ඕන. පොළේ යන්න, මට යාළුවෝ බලන්න යන්න, මළ ගෙවල්වල යන්න, කඩේ යන්න ඕන, මට තියෙනවා නම් පුරුදුවෙලා පදිනවා. ගෙදර ඉඳලා කොරටුවට ටිකක් එහාට යන්න බයික් එකක් ඕන.
තම පුතුගේ උත්සාහය උනන්දුව වීර්යය ගැන අර්ජුනගේ මව දෑසේ පිරි කඳුළු අතරින් මෙසේ කීවාය.
ඇය පොඩිනෝනා සරණසීලි මහත්මියයි. (68)
‘පුතා උදෙන්ම නැඟිටලා කොරටුවට යනවා. ඇත්තටම වෙනත් ළමයි වගේ කම්මැළි නැහැ. කොරටුවේ බෝග විකුණලා ගන්න සල්ලි, මට දෙනවා අරන් තියන්න. ඒ විතරක් නොවෙයි දානේ ගෙවල්වල, යාළුවන්ගේ මළ ගෙවල්වලට ගිහින් යුතුකම් කරනවා. මටත් උදවු උපකාර කරනවා. මගේ රෙදි ඇඳුම් ආදිය මේ පුතා මට සෝදලා දෙනවා. මේ දරුවාගේ උත්සාහය ගැන නම් මට සතුටුයි. ඒත් මොනවා කරන්නද?
නමුත් සමාජේ අනෙක් දරුවන්ට මගේ පුතා හොඳ ආදර්ශයක්. පුතාගේ ජීවිතයෙන් ගන්න බොහෝ දෙයක් මේ සමාජයට තියෙනවා” අර්ජුනගේ මව කියන්නීය.
අර්ජුන නමැති ශක්තිමත් හිතක් ඇති තරුණයාට විදුලියෙන් ක්‍රියා කරන රෝද තුනේ පැදියක් ලබාදීමට හැකි නම් ඔහුගේ අරමුණ බලාපොරොත්තු ඉටුවනවා නොඅනුමානයි.
මේ තරුණයාට පතෝල, වම්බටු, මිරිස් විකුණලා විදුලියෙන් ක්‍රියා කරන රෝද තුනේ පැදියක් ලබාගැනීම ප්‍රායෝගිකව කළ නොහැකි කටයුත්තකි. ධෛර්යවන්ත තරුණයාට අත හිත දීමට ඔබටත් හැකියාව ඇතොත් ඔහුගේ අපේක්ෂාව ඉටුවනු නොඅනුමානය.
මාතර - උදය කුමාර රණවීර