Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
09
"මම ඉන්නේ රාගම. දැන් එන කොච්චියේ සින්දුවක් කියාගෙනම යනවා" - රැකියාව හැටියට අගනුවර සිඟමන් යැදීම තෝරාගත් මිනිසුන් කියන කතා

- "මම ඉන්නේ රාගම. දැන් එන කොච්චියේ සින්දුවක් කියාගෙනම යනවා" - රැකියාව හැටියට අගනුවර සිඟමන් යැදීම තෝරාගත් මිනිසුන් කියන කතාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,346 Views
දවසකට රුපියල් 5000ක මත්‍ද්‍රව්‍ය අවශ්‍යයි......

විවාහ වෙලා දරුවො ඉන්නේ පිටරට......

ඒ අය හිතන්නේ අපිට පෑහෙන එක මදිකමක් කියලා......

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ද යාචකයන්ගේ පාරාදීසයකි. නීතිය ක්‍රියාත්මක කෙරෙන නිසා මේ දිනවල නම් මොවුන් අතුරුදන්ව සිටින නමුත් එහි රාජකාරියේ නියුතු ලංගම නිලධාරීන්ගේ හා පොලිස් නිලධාරීන්ගේ ඇස්වලට වැලිගසමින් හොර හොරෙන් යදින අයත් නැතුවාම නොවේ.

පිටකොටුවේ වර්ග දෙකක හිඟන්නෝ වෙති. එක් කණ්ඩායමක් දිවා කාලයේදී පමණක් බස් රථ තුළට ගොඩවන්නෝය. රාත්‍රී කාලයටම පමණක් තම ක්‍රියාවලියේ යෙදන යාචකයන් අනෙක් කොටසයි.

ඒ මොවුන් කතිකා කරගෙන ඇති යුරිනි. කොපමන බැරි අමාරුකම් තිබුණත් මොවුහු අන්‍යෝන්‍ය එකඟතා කඩ නොකරති. මේ දෙපිරිසින් නිසාචර හිඟන්නෝ වැඩි මුදලක් උපයා ගන්නන් වෙති. එයට හේතුවක් තිබේ. රාත්‍රී කාලයේදී මෙම බස් පො​ළෙන් ගමන් අරඹන බහුතරයක් බස් රථ දුර ගමන් සේවාය.

ලංකාවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ගමන් කරන බස් රථ ද මේ අතර වේ. දිනපතා රැකියාවනට හෝ වෙනත් කාර්යන් වෙනුවෙන් කොළඹට යන එන්නෝ රාත්‍රී බස්වල ගමන් කරන්නේ ඉතාමත් කලාතුරකිනි.
 
සාමාන්‍ය වශයෙන් සතියකට වතාවක් හෝ කොළඹට යන එන්නෙකු හා දිනපතා එන යන කන්තෝරු නෝනාවරුන් හා මහත්වරුන් මේ යාචකයන් දිනපතාම හමුවන බැවින් ඔවුන්ගේ පසුම්බි තුළින් මොවුන් වෙනුවෙන් මුදලක් එළියට ඇදෙන්නේම නැත. නමුත් රාත්‍රී දුර ගමන් සඳහා සූදානම්ව පැමිණෙන අය ඇතැම් විට කලාතුරකින් අගනුවරට පැමිණෙන අය වන්නට පුළුවන.

පවුලේ ඥාතියෙකුගේ මරණයක් මඟුලක් දානමය පිංකමකට එසේත් නැතිනම් කුමන හෝ හදිසි කටයුත්තක් වෙනුවෙන් සහභාගි වීමේ බලාපොරොත්තු ඇතිව දරු පවුල්පිටින් දුර ගමන් යන අය රාත්‍රියේ පිටකොටුව බස් පොළට, කොටුව හා මරදාන දුම්රිය පොළවලට පැමිණෙති.

ඔවුන්ගේ අපේක්ෂාව පසුදා එළිවෙන සමයේදී හෝ උදේ වරුවේ ගමන නිමා කර ගැනීමටය. ගමනට අදාල බස් රථය හෝ දුම්රිය පැමිනෙනතුරු බස් පොළේ දුම්රිය පොළේ අසුන් මත බර වී නිදිකිරණ මගීන් ද බහුලය. ඒ නිසාචර යාචකයන්ගේ ඉලක්කය වන්නේද මොවුන්ය.

මෙසේ රාත්‍රී බස් රථවලට ගොඩවන කළු කෙසඟ ගැහැනියක සිටී. කරේ හොවාගෙන සිටින සිඟිත්තිය ද නිදි කිරන්නේ වටපිට සිදුවන දෑ පිළිබඳව වගේ වගක් නැතිවාක් මෙනි. නෝනා මහතුනේ යනුවෙන් යාදින්න ආරම්භ කරන මැයගේ කතාවට අනුව විවාහ වී ඇත්තේ ලාබාල වයසිනි. දරුවන් තිදෙනෙකු සිටී. කරමත නිදි කිරන්නේ වැඩි මහල් දියණියයි.

එවිට අනෙක් දෙදෙනාගේ වයස මගීන්ට සිතා ගැනීමට ඇය ඉඩ සලසා දෙයි. සැමියා ඇය අත හැර වෙන ගැහැනියක හා සරණ ගොසිනි. බාල දරුවන් දෙදෙනාම කිරි දරුවන්.

නමුත් කිරි එරවීමට ශක්තියක් ඇයට නොමැත්තේ පෝෂණ අහරක් ඇඟට නොවැටෙන හෙයිනි. කෘෂ වී වේළී ගිය ශරීර උඩුකයේ නම් පියයුරක් නැති ගානය. අවුල් වී ගිය හිස කෙස්, යටට ගිලුණු දෑස්, කළුවට මුහුණ, ඇඟලා සිටින ගොමස්කඩ ඇඳුම්, පිටලෑල්ලක් වන් සිරුර කියා පාන්නේ සැමියා ඇයගෙන් ඈත් වීමේ සාධාරණතාවයි.

යාදින්න අතරතුරදී ඇය පවසන්නේ දරුවන්ට කිරි පිටි පැකට්ටුවක් ගැනීමටත් ඇයට පාන් කෑල්ලක් කෑමටත් මුදලක් ලබා දෙන ලෙසටයි. ඇයම පවසන ලෙසට දිවා කාලයේදී සිඟමනට නොපැමිණෙන්නේ දරුවන් දමා ඒමට හැකියාවක් නොමැති කම නිසා බවයි. එහෙත් දිවා කාලයට වඩා කුඩා වුවන්ට මව්පිය සෙනෙහස අවශ්‍ය වන්නේ සීතල රාත්‍රියේදී බව අමතක වීමෙන් දෝ බසයේ සිටින මගීන්ගේ පපු කැනති උණු වී හිඟන්නියට මුදලින් ආධාර කරති.

කාන්තාවන්ගේ අනුකම්පාවෙන් හා ශෝකයෙන් බර වූ මුහුණු අත්බෑග්වලට යොමුවී නිල්, කහ, කොළ සමඟ එළියට එන අතක් සිඟන ගැහැනියගේ පරඬලා පතක් බඳු අතේ අල්ල මතට පතිත වේ. එහෙත් සැබෑව නම් ඇයට ඇති ළමා ළපටියෙකු නැත. කරපින්නාගෙන සිටින දරුවා දෙමටගොඩින් දවසේ කුලියට ලබා ගත්තෙකි. ඇය කෘෂව ගොස් සිටින්නේ දරුවන් වදා ඔවුන් වෙනුවෙන් අනේකධ විධ දුක්කම් කටොලු අත්විඳින නිසා නොව මත් රකුසාට ඇබ්බැහි වීමෙනි.

රැය පහන්වනතුරු බස් පොළේ රැඳෙමින් තම රාජාකාරියේ නිරත වන මැය හිරුත් සමග අතුරුදන් වන්නීය. දැරිය බාරකරුවන්ට බාර දෙන ඇය ඊට අදාළ ගනුදෙනු බේරීමෙන් පසුව අත රැඳි ඉතිරි සියලු මුදල් මත්කුඩු ​වෙනුවෙන් පූජා කරන්නීය. එක් දිනකට ජීවත්වීමට අවම වශයෙන් රු. 5000 ක වත් මත්ද්‍රව්‍ය ඇයට අවශ්‍යය.

එසේ නොමැති වුවහොත් සික් එක හැදේ. මේ නිසා රැය පුරා දුක් මහන්සි වී කෙසේ හෝ අදාළ මුදල සොයා ගනී. හිරු සැඟව යන හෝරාවේ ඈ දරුවා ද කරපින්නාගෙන නැවතත් බස් පොළෙන් මතු වේ. ඉලක්කය සපුරා ගැනීමට නම් සිඟිත්තිය හැම වෙලාවේදීම නිදා සිටිය යුතුය.

වේලාසනම පිරිටන් හෝ එවර්මින් පෙති දෙකක් දැරියට පොවා ගනී. රැයක් පුරා මාරුවෙන් මාරුවට බසයකින් බසයකට නගින බසින විට ඇයට දැනෙන අපහසුතාවට වඩා නින්දට වැටීම යහපත් නිසාවෙන් දෝ හය හතර නොදන්නා සිඟිත්තිය හාවක් හූවක් නැතිව පෙති දෙක ගිල දමනවා ඇත. දැරිය ද දිනෙන් දිනම කෘෂව යන්නේ ​ලෙඩක් නොමැතිව දිනපතා ශරීර ගතවන බෙහෙත් මාත්‍රාව හේතුවෙනි.

එක කකුලක් අහිමි වයස 30-35 අතර පුද්ගලයෙකු ද රාත්‍රී සිඟමනට එක්ව සිටී. සරමෙන් සහ කමිසයෙන් සැරසී කිහිලකරු ආධාරයෙන් බස් රථවලට ගොඩවන මොහුගේ යාදින්නට අනුව උපතින්ම මීමැස්මොර රෝගියෙකි.

ඕනෑම අවස්ථාවක දී සිහි විසංඥවීමේ අවදානම නිසා හා ආබාධිත බැවින් රැකියාවක් කිරීමට නොහැකිය. කිසිවෙකුත් රැකියාවක් දෙන්නේ ද නැත. මේ නිසා සිඟමනට වැටී සිටී. විවාහ වූ බවක් හෝ දරු පවුලක් ඇති බවක් කියන්නේ ද නැත. මොහු වැඩිපුරම ගොඩවන්නේ අක්කරපත්තුව, පානම, කල්මුණේ, ත්‍රිකුණාමලය, මූතූර් වැනි දුර ගමන් බස්රථවලටය.

මන්ද මේවායේ වැඩිපුරම ගමන් කරනුයේ මුස්ලිම් ජනතාව බැවිනි. මුස්ලිම් හිඟන්නන් දැකිය හැක්කේ ද කලාතුරකිනි. ඒ ඔවුන්ගේ ප්‍රජාවට අසරණ වීමට ඉඩ නොදී. ජීවිතය ජයගැනීමට මුස්ලිම්වරු කටයුතු කරන හෙයිනි. වැටුණු එකා තව තවත් පාගා දමන්නේ මේ රටේ මහ ජාතිය වන සිංහලයන්ය.

එක් පාදයක් දණහිසට පහළින් අහිමි වීම නිසා වැඩක්පළක් කර ගැනීමට නොහැකිව ඔහු සිඟමනේ යෙදෙන නමුත් ඔහුගේ වයසේම පෙනුමැති තවත් පුද්ගලයෙක් බස් රථවල වාස්තු විද්‍යා පොත් පිංචක් අලෙවි කර ලැබෙන මුදලින් ජීවිකාව සරිකර ගනියි. ඔහු සිංහලයෙකි. දණහිසෙන් පහළ පාදයක් අහිමිය. සරොම් කමිස අඳින්නෙකි. එකම ආබාධයක් සහිත දෙදෙනෙකුගෙන් එකෙක් අනුනට අතපාන විට අනෙකා ස්වෝත්සාහයෙන් ගොඩයාමට වෙර දරයි.

පිරිසුදු ඇඳුමෙන් පැලඳුමෙන් සැරසී සීයා කෙනෙකු ද පිටකොටුව බස් පොළේ හිදී. තෙල් ගා හොඳින් සැකසූ කොණ්ඩය පස්සට පීරාගෙන සිටින මොහු පාංශු දේහධාරියෙකි. සුදු පැහැ වූ සහ උඩු රැවුල කොණ්ඩයට වඩා වයස බවක් කියා පායි. මඩපලං කොටු සරම එයට උඩින් ඉණවටා එතී ඇති කළු හම් පටිය.

කමිසයට උඩින් හැඳ සිටින කළු කෝට් බෑය අපට කුඩා කාලයේ ගමේ සිටි ගම්මුලාදෑනින් සිහියට නැගේ. මොහු බසයට ගොඩවන්නේද කවියක් ගායනා කරමිනි. ඒ මහ හඬින් නොව බයස තුළ සිටින මගීන්ට පමණක් ඇසෙන ගානටය.

මොහු අත රැඳි කුඩා ප්‍රමාණයේ පොත් ගොඩකි. ඒවායේ ඇත්තේ කිරි අම්මාවරුන්ගේ දානමය කටයුත්තකදී අදාළවන කවි හා ස්තෝත්‍රය. ඔහු ගායනා කරන්නේ ද එම පොතෙහි අඩංගු කවිය. වෙළෙඳාම දහවල් කාලයේදී පමණි. දිනක් දෙකක් ඔහු මා සිටි බසයට ද ගොඩ විය.

එදා බසයේ සිටි වයසක පහේ කාන්තාවන් දෙතුන් දෙනෙකු පොත් මිලදී ගනු දක්නට ලැබිණ. පොතක මිල රු. 50/- ක් පමණි. ඔහු සමග සුළු වේලාවක් හෝ කතා බහ කිරීමට මා ගත් උත්සාහයත ව්‍යර්ථ වී ගියේ ඔහුගේ කාර්ය බහුලත්වයෙන් හා එම දින දෙකේදීම යා යුතුව තිබූ බස් රථය පිටත්වීමට මද වේලාවකට පෙර ඔහු දක්නට ලැබූ හෙයිනි. එහෙත් බලාපොරොත්තු සඵලකරමින් කලබලයෙන් හෝ පානීය ජල බෝතල් අලෙවි කරන ජංගම වෙළෙන්දෙකු හා කදේ වැටීමට ඉඩ ප්‍රස්ථාව ලැබිණි.

ඔහු පළමුකොටම ඉල්ලා සිටියේ ඡායාරූප නොගන්නා ලෙසයි. කරුණාරත්න නමින් අප ඔහුව හඳුනාගනිමු. මම මෙහෙම හිටියට හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් කළ කෙනෙක්. වයස සම්පූර්ණ වෙනකොට රජයේ සේවයෙන් විශ්‍රාම ගන්න ඕනනේ. ඔහු මාතරට නුදුරුව දකුණු පළාතේ උපන් අයෙකි.

විවාහ වී ඇත්තේ ද ගමෙන්මය. එය වැලිකෙළියේ පටන් පැවත ආ සෙනේහයකි. ළෙන්ගතුකමකි. බිරිඳ ඔහුට දියණියන් දෙදෙනෙකු හා පුතණුවකු තෑගි කළාය. ඔවුන් ලොකු මහත් කිරීමට තට්ටයත් බඩත් පෑදි කන්තෝරු බෑගය හමයනතුරුම ඔහු දුක් වින්ඳේය. කළුකපා එළියවැටෙන හෝරාවේ හැමදාමත් කෝච්චියට ගොඩ වී සැඳෑ අඳුරත් සමග ගෙට එමින් වසර 55 ක් දරුපවුල වෙනුවෙන් දහදිය හෙළීය. ඔහුගේ මහන්සිය අපතේ ගියේ නැත. දරුවන් තිදෙනාම ඉතා හොඳින් ඉගෙන ගෙන ජීවිත ජයගත්හ.

විවාහ වනතුරුම මව්පියන්ට සලකමින් ඔවුන්ව රැක බලා ගත් බව මා සමග පවසන විට කරුණාරත්නගේ නෙත් කෙවෙනි අග කඳුළු බිඳු දෙකක් රැඳී තිබූ නමුදු බිමට වැටුණේ නැත. ලොකු දුව වෛද්‍යවරියකි. විවාහයෙන් පසුව ඔවුහු ඇමරිකාවේ පදිංචියට ගොයෝය.

දෙවැනි දුව පරිගණක ඉංජිනේරුවරියකි ඇයද සැමියා සමග ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට ගොසිනි. බාලයා පවුලේ එකම පිරිමි දරුවා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉහළම උපාධිය ලබා​ගෙන පුද්ගලික සමාගමක උසස් තනතුරක් දරමින් පොළොන්නරුව ප්‍රදේශයේ සමාගමක උසස් තනතුරක් දරමින් පොළොන්නරුව ප්‍රදේශයේ සමාගමක් සතු විශාල ගොවිපොළක් බාරව කටයුතු කරයි.

එම ප්‍රදේශයෙන්ම විවාහයක් කරගෙන එහිම බින්නබැස සිටී. පුතුගේ බිරියගේ පාර්ශ්වයේ නෑයෝ ද පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් වෙති. අන්තිමට ඉතිරි වුණේ මමයි බිරිඳයි විතරයි. පිටරට පදිංචියට ගිය අලුත නම් අවුරුද්දකට වතාවත් දූලා දෙන්න අපිව බලා යන්න ආවා. ලියුම් එව්වා. දුරකථනයෙන් කතා කළා. දරු මල්ලෝ ලැබිලා පවුල් ලොකු වෙනකොට කාලයත් එක්කම ඒවා ටිකෙන් ටික මඟ ඇරිලා ගියා. පොඩි පුතා නම් මාස තුන හරතකට සැරයක් ගමේ එනවා. එයාගේ බිරිඳයි, මගේ නෝනයි අතරෙත් නැන්ද ලේලි අරගලය ලොකු විදියට ඇවිලුණු නිසා අපි නම් එහේ යන්නේ නෑ. අනිත් එක එයාලා මහා සල්ලිකාරයෝ.

ඒ අය හිතන්නේ අපිට පෑහෙන එක මදිකමක් කියලා. ඉතින් අපි මොකටද කරදරයක් වෙන්නේ? මම කොළඹ ඇවිත් සතියක්ම මේ වෙළෙඳාම කරනවා. ලංගමේ ලියාපදිංචි වෙලා. නීතියට අකුරටම මේක කරන්නේ. විකුණන්නේ හොඳ පිරිසුදු වතුර.

මම එහෙම කියන්නේ හොරට පුරවන ඒවත් තියෙන නිසයි. ටැප් එකෙන් වතුර පුරවල ප්‍රසිද්ධ සමාගමක නම තියන සීල් එකකුයි ලේබලයකුයි අලවගෙන එන තැන් මේ පිටකොටුවේ තියෙනවා. සෙනසුරාදා ගෙදර යනවා. අපි දෙන්න එදා වගේම අදත් ආදරෙන් සතුටින් ජීවත් වෙනවා. දරුවො ගැන අපි දෙන්නගෙම හිත්වල කහටක් නෑ.

අපි අපේ යුතුකම් කොටස ඉෂ්ට කළා. එහෙම කළේ ආපහු කිසිම දෙයක් ඒ අයගෙන් බලාපොරොත්තුව නෙමෙයි. පවුලක් හරියට කුරුලු කූඩුවක් වගේ. දරුවො ඉපදිලා ස්ව ශක්තියෙන් නැගිට ගන්න පුළුවන් වෙන තුරු කූඩුවෙම ඉන්නේ. ඒ කියන්නේ මව්පියන්ගේ හෙවණේ. ඊට පස්සේ ඒ අය එයාලගෙ ලෝක හොයාගෙන යනවා.

ඒක තමයි ස්වභාවෙ. අපි අපේ දරුවො ගැන සතුටු වෙනවා. රජයේ සේවකයෙක් හැටියට යන්න තියෙන ඉහළම තැන්වලට මම එයාලව යැව්වා. ඔහු මගේ දෑස් දෙස බලාගෙන කතාව හමාර කළේ එය සත්‍යයක් නොවේ දැයි විමසන්නාක් මෙනි.

කන්තෝරු කෝච්චි හා සාමාන්‍ය මගී ජනතාව යනඑන දුම්රියන් පිළිබඳව තැකීමකින් තොරව හිඟා කන පිරිසක් ද වෙති. දිනපතාම උදෑසන පානදුරින් දුම්රියට ගොඩවන තරුණ පහේ හිඟන්නා ද එවැන්නෙකි. මොහු බොහෝ විට දක්නට ලැබෙන්නේ කළුතරින් ගමන් ආරම්භ කර උදේ 8.40 ට මරදානට දිවෙන අර්ධ ශීඝ්‍රගාමී දුම්රියෙහිය.

මෙය කන්තෝරුකාරයන්ගෙන් බහුල දුම්රියකි. කිහිළිකරුවල ආධාරයෙන් ගොඩවන මොහු සැමවිටම සුදු අත්කොට කමිසයකින් හා කළු කලිසමකින් සැරසී සිටී. කලිසමේ උඩට නමන ලද දකුණු කකුලේ දණහිස ප්‍රදේශය වෙළුම් පටිවලින් වෙළා ඇත.

ඔහු පවසන පරිදි වෘත්තියෙන් බස් රියැදුරෙකු වශයෙන් සේවය කර ඇත. ඒ අතරතුරදී සිදු වූ දරුණු අනතුරකින් දකුණු පාදයේ එම කොටස තැළී පොඩි වී ඇත. දණ හිසෙන් පහළ කොටස කකුලට සවි කර ඇත්තේ යකඩ තහඩු හා ඇණ ආධාරයෙනි. ඒ තාවකාලික ප්‍රතිකර්මයකි. මේ වෙනුවෙන් ලෝහ ප්ලේට් එකක් දමා ගත හොත් යන්තමින් ඇවිද යා හැකිය.

ඒ වෙනුවෙන් වැය වන මුදල රුපියල් ලක්ෂයකටත් වැඩිය. මේ වන විට ඉන් රු. 60,000/- ක් ඔහු සතුව තිබේ. ඉතිරිය සොයා ගැනීමට මගී ජනතාවගේ උපකාරය පතයි. ඔහුගේ දරු පවුල ද බරපතළය. කුඩා දරුවන් තිදෙනෙකි. බිරිඳ රැකියාවක් නොකරයි. ශල්‍යකර්මයට අමතරව එදිනෙදා ජීවත් වීමට ද මුදලක් උපයා ගත යුතු නමුත් ආබාධිත බව රැකියාවකට මඟ හරස් කර ඇත.

මෙම යාදින්නා ඉතා හොඳින් කාටත් ඇසෙන්නට කියමින් මැදිරියෙන් මැදිරියට ගමන් කර ගල්කිස්සේ දී බැස යයි. මෙම දුම්රිය බොහෝ විට වැඩි වේලාවක් ගල්කිස්ස දුම්රිය පොළේ නතර කර තැබෙන්නේ පිටුපසින් පැමිණෙන ගාලු කුමාරි ශීඝ්‍රගාමි දුම්රියට ඉස්සර වීමට ඉඩ ලබා දීමටය.

එපමණක් නොව මරදානෙන් පෙ.ව. 8.45 ට ගමන් අරඹන කළුතර මන්දගාමී දුම්රිය ද ඉන් මඳ වේලාවකට පසු ගල්කිස්සට පැමිණේ. මේ නිසා දුම්රියකින් අනෙක් දුම්රියට මාරුවීමට එම කාලය හොඳටම ප්‍රමාණවත්ය.

මේ කියන යාචකයා වසර 2 කටත් වැඩි කාලසීමාවකදී මෙම ලියුම්කරුට මේ කියන දුම්රියේදීම අනන්තවත් හමු වී ඇත. ඔහු කියන මුදල නම් ඊට වඩා මුදලක් සොයා ගැනීමට වුවත් ඒ ගෙවී ගිය කාලය හොඳටම ප්‍රමාණවත් නමුත් හෙට ද පෙර සඳහන් කළ දුම්රියන්ගෙන් එකක දී පානදුර හා ගල්කිස්ස අතරතුරදී ඔහු ඔබට මුණගැසෙනු ඇත.

මුහුදු බඩ මාර්ගයේ කොළඹ දෙසට යන අවසන් මගී දුම්රිය වාද්දුවෙන් ගමන් අරඹන්නේ ප.ව. 06.30 ට පමණය. සාමාන්‍යයෙන් පානදුරයෙන් එය පිටත් වන්නේ 06.40 ටය. මෙය මන්දගාමී වූවකි. මෙම අවසන් දුම්රියට පානදුරයෙන් ගොඩවන හිඟන්නන් කීප දෙනෙකුම සිටිති. එක් අයෙක් මහලු වියේ සීයා කෙනෙකි.

පරණ වී ගිය එහෙත් පිරිසුදු කමිසයකින් හා පිජාමා සරමකින් සැරසී ගෙවී ගිය රබර් සෙරෙප්පු යුවළක් පායලාගෙන හිඳින මොහු අත රැඳි ඉංග්ලිෂ් මැඩ්ලීනයකි. මුහුණ පුරා වැඩී දින ගණනාවකින් නොකැපූ රැවුල අසරණකම තව තවත් වැඩි කරයි. මැඩ්ලීනය වයමින් ගීත ගයමින් මැදිරියෙන් මැදිරියට යන මොහු කිසිවෙකුගෙන් කිසිවක් ඉල්ලන්නේ ද නැත.

දුන්නොත් මුදලක් එය තම කමිස සාක්කුවට දමා ගනී. ඔහුගේ මුවින් පිටවන ගීතත්, එහි තාලයටම වැයෙන මැඩ්ලීනයත් දෙකනට මිහිරිය. කවමදාවත් තනුව වරද්දා ගයනවා හෝ වැරදි ලෙසට මැඩ්ලීනය හැඬවෙනවා වත් මට ඇසී නැත. එක් දිනක් පානදුර ස්ටේෂමේදී රු. 10 කාසියක් මොහුට දුන් මා හැන්ඳෑ වෙලාවෙ යන්නේ කොයිබට දැයි විමසීමි.

මම ඉන්නේ රාගම. දැන් එන කොච්චියේ සින්දුවක් කියාගෙනම යනවා. ඔහුගේ සැහැල්ලු පිළිතුර විය. සිංහල අලුත් අවුරුදු කාලයට අවුරුදු ගී කියන ඔහු වෙසක්, පොසොන් සමයේදී ආගම වෙනුවෙන් පබැඳුණු ගීත ගායනා කරයි. නත්තල් ගී ගැයෙන්නේ දෙසැම්බර් මාසයේදීය.

ගීත ගායනා කරන තවත් තරුණ පහේ පුද්ගලයෙකු ද මේ දුම්රියේම ගමන් කරයි. ඔහු නව පන්නයේ ගීත ගායනා කරනුයේ බොංගෝ බෙරයක් ද වයමිනි. ඔහුගේ ගායනයත් වාදනයත් ඍතියට අනුව නමුත් ගායනා කරනුයේ හැමදාමත් එකම ගී පෙළකි. මොහු ගීත ගයන මැදිරියකට මැඩ්ලින් සීයා ගොඩවන්නේ නැත. සීයා මැඩ්ලින් ගසන විට අනෙකා පැමිණෙන්නේ ද නැත. මේ හැමදෙනාගේම යම් පිළිවෙළක් තිබේ. අන්‍යෝන්‍ය සහයෝගයෙන් මොවුහු කටයුතු කරති.

"ලංකාදීප"
තිලක් පුෂ්පකුමාර
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  384 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,426 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,164 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  231 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,635 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,275 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,690 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top