ලෝක ප්‍රකට මයිකේරාසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් ලෝකයේ ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින කෙනකු බව රහසක් නොවෙයි. අද වනවිට ඔහු වත්කම අතින් දෙවැනි වන්නේ ඇමසන් සමාගමේ නිර්මාතෘවරයා වන ජෙෆ් බෙසෝස්ට පමණයි.
බිල් ගේට්ස්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 110ක් හැටියටයි සැලකෙන්නේ. එය ලංකාවේ මුදලින් රුපියල් බිලියන 20,000කට ආසන්නයි.
කෙසේ වෙතත් මේ කියන්නට යන පුවත බිල් ගේට්ස් ගැන නොවෙයි. ඔහුගේ වැඩිමල් දියණිය වන ජෙනිෆර් ගේට්ස් ගැනයි. මේ දිනවල ජෙනිෆර් මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත් කෙනකු බවට පත්ව සිටිනවා. ඒ, ඇය පසුගිය දිනක විවාහ ගිවිසගෙන ඇති බව සඳහන් වීම නිසයි.
ජෙනිෆර් ඇමෙරිකානු ජාතික තරුණියක වුවත් ඇය විවාහ ගිවිසගෙන සිටින්නේ මුස්ලිම් ජාතික තරුණයකු සමඟ වීම විශේෂ කාරණයක්. ඊජිප්තු ජාතික කෝටිපතියකු වන ඔහුගේ නම නායෙල් නසර්. කෙසේ නමුත්, නායෙල්ද ඉපිද ඇත්තේ ඇමෙරිකාවේ බව සඳහන්.
පසුව ඔහු කුවේට්හි ටික කාලයක් ගත කර පසුව නැවත ඇමෙරිකාවට පැමිණ එහි ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබෙනවා. නායෙල් සහ ජෙනිෆර් මුණගැසී ඇත්තේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේයි.
මේ වනවිට 29 වැනි වියෙහි පසුවන නායෙල් වෘත්තීය අශ්වාරෝහක ක්‍රීඩකයකු ලෙසයි සඳහන් වන්නේ. ඔහු මෙම ක්‍රීඩා අංශයෙන් බොහෝ තරගවලට සහභාගි වී පදක්කම් දිනාගෙන සිටින දක්‍ෂ ක්‍රීඩකයකු වන අතර ඔලිම්පික් තරගාවලියටද සහභාගි වීමට සැරසෙන බව සඳහන්. ඔහුගේ මවුපියන් ගෘහ නිර්මාණ සමාගමක හිමිකරුවන් බවයි පැවසෙන්නේ. ජෙනිෆර්ද අශ්වාරෝහක ක්‍රීඩා සම්බන්ධයෙන් විශාල කැමැත්තක් දක්වන කෙනකු හැටියට ප්‍රසිද්ධයි.
'එකිනෙකාට ආදරය කරමින්, එකට එක්ව සිනාසෙමින්, එකිනෙකාගෙන් ඉගෙන ගනිමින් ජීවිතයේ ඉතිරි කාලය බෙදාහදා ගන්නා තුරු මට ඉවසිල්ලක් නැහැ' යයි නායෙල් විවාහ යෝජනාව කළ අවස්ථාවේ ජෙනිෆර් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි ලියා තිබුණා.
නායෙල්ද එවැනිම සටහනක් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේද සටහන් කර තිබෙනු දක්නට ලැබුණා. 'මට දැනෙන්නේ මේ වෙලාවේ ලෝකයේ සිටින වාසනාවන්තම සහ පී්‍රතිමත්ම මිනිසා මා කියලයි. ඔබෙන් තොර ජීවිතයක් ගැන මට සිතාගන්න බැහැ'. නායෙල් එවැනි සටහනක් තබා ඇත්තේ ඔහු සහ ජෙනිෆර් පෙනී සිටින ඡායාරූප දෙකක්ද සමඟයි.
ඉන් එකක ඔහු ජෙනිෆර් විසින් දෙන ලද දියමන්ති මුද්දද පැලඳගෙන සිටින අන්දම දිස්වෙනවා. ඒ අතර ඔහු සිය මවුපියන් ගැනද සිහිපත් කර ඇත්තේ තම ජීවිතයේ සෑම දවසක්ම සුන්දර සිහිනයක් බවට පත් කිරීම ගැන ස්තුතිය පළ කරමින්.
නායෙල් සහ ජෙනිෆර් දෙදෙනා මේ ආකාරයෙන් විවාහ ගිවිසගෙන ඇත්තේ දිගු කාලයක් පෙම්වතුන් ලෙස ඇසුරු කිරීමෙන් පසුවයි. විවාහයෙන් පසු ඔවුන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර වාසය කරනු ඇති බවයි සඳහන් වන්නේ.
ජෙනිෆර්ගේ මවුපියන් වන බිල් ගේට්ස් සහ මෙලින්දා ගේට්ස් විවාහ වුණේ 1994 වසරේයි. ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනකු සිටින අතර ජෙනිෆර් තමයි වැඩිමලා. ඇයගේ වයස අවුරුදු 24ක් වන අතර සම්පූර්ණ නම ජෙනිෆර් කැතරීන් ගේට්ස්. බිල් සහ මෙලින්දා දෙදෙනාගේ දෙවැනි දරුවා පුතෙක්.
රෝරි ගේට්ස් නම් වන ඔහුගේ වයස අවුරුදු 21ක් වන අතර බාල දියණිය වන ඇඩෙල් ගේට්ස්ගේ වයස අවුරුදු 18ක්. නායෙල් සහ ජෙනිෆර් විවාහ ගිවිස ගැනීම සම්බන්ධයෙන් බිල් සහ මෙලින්දා දෙදෙනාද මහත් සතුටට පත්ව සිටි අතර ඔවුන්ද සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවල ඒ ගැන සටහන් කර තිබුණා.