ඔබෙයි බිරියගෙයි ජීවිතේ සුවිශේෂී සැමරුමක් පසුගියදා සිදුවුණා. මුලින්ම ඒ ගැන කියමු?
අපි විවාහ වෙලා පසුගිය ජනවාරි 28 වැනිදාට අවුරුදු පනහක් සම්පූර්ණ වුණා. එය ස්වර්ණ ජයන්තිය. එය නිමිති කරගෙන අපේ නිවෙසට හාමුදුරුවරු දහනමක් වඩම්මලා සාංඝික දානයක් දුන්නා. ඒ අතරේ නෑදෑ හිතමිත්‍රාදීනුත් සියයකට අධික සංඛ්‍යාවකට සංග්‍රහ සත්කාරත් කළා.
මගේ පුතා ජනනාත් සහ එයාගේ බිරියයි, මගේ දුවයි එකතු වෙලා මමයි චිත්‍රයි වෙනුවෙන් ගල්කිස්ස මහ හෝටලයේ සාදයක් සූදානම් කරලා තිබුණා. එතැනට කලා ලෝකයේ අපි දන්න කියන තුන්සියයකට අධික පිරිසක් සහභාගි වුණා. මම කිව්වා එච්චර ලොකුවට එය සමරන්න අවශ්‍ය නැහැ කියලත්. නමුත් දරුවෝ කිව්වා. අම්මගෙයි අප්පච්චිගෙයි විවාහ ජීවිතයට වසර පනහක් පිරෙන දවස ආයෙත් සැරයක් එන්නේ නෑනේ. ඒ නිසා ඒ සතුට විඳගමු කියලා තමයි ඒ සාදය පැවැත්වුණේ. මට ෆුල් සූට් එකක් ඇඳගෙන එන්න කියලා චිත්‍රාට මනාලියක් වගේ එන්න කිව්වා. එදා හැමෝම ගොඩක් සන්තෝෂ වුණා. අපිට තෑගි බෝගත් ගොඩක් ලැබුණා. පුතාගේ සංගීත කණ්ඩායමෙන් හොඳ සංගීතාත්මක වැඩසටහනකුත් එදින ඉදිරිපත් වුණා. හොඳට සින්දු කියලා නැටුවා.
ආයෙත් පෝරුවට නඟින්නත් වුණා නේද?
ඔව්. ඔව්. අපි දෙන්නව පෝරුවට නග්ගලා පෝරුවේ චාරිත්‍ර සියල්ලක්ම කළා. දෑඟිලි බැඳලා, අතපැන් වත්කළා. අෂ්ටක, ජයමංගල ගාථා කිව්වා. අපි දැනගෙන හිටියේ නැහැ ඔච්චර හරියක් කරයි කියලා. දරුවෝ අපිව ආපහු කසාද බැන්දෙව්වා.
මුනුපුරාත් පුදුම කිරීමක් කළා නේද?
ඔව්. මගේ මුනුපුරයි තවත් ළමයි දෙන්නෙකුයි එක්කාසු වෙලා හොඳ බෙර වාදනයක් කළා. එයට බොහෝ අය පුදුමයට පත් වුණා.
මීට වසර පනහකට උඩදී මංගල ඡායාරූපයේ හිටපු සෑම කෙනෙක්ම එදා එකතු වුණා නේද?
1970 ජනවාරි 28 තමයි මමයි චිත්‍රයි විවාහ වුණේ. එදා අපේ මංගල ඡායාරූපයට පෙනී හිටපු සියලු දෙනා අපේ 50 වැනි විවාහ සැමරුමටත් ආවා. මල් කුමාරයාට හිටියේ මහේන් දසනායක. මල් කුමරියට හිටියේ මගේ නෝනගේ අක්කගේ දුව. ඒ දෙන්නම ඇමෙරිකාවේ හිටියේ. එයාලා අපේ විවාහ සංවත්සරයට සහභාගි වෙන්න ඇමෙරිකාවේ ඉඳන් ආවා. දෙවැනි මනාලයන් ලෙස හිටියේ ඩග්ලස් රණසිංහ සහ නිමල් ජයසිංහ. දෙවැනි මනාලියන් හතරදෙනෙක් හිටියා. චිත්‍රාගේ නංගිලා වුණු රංජනි සහ අනුලා වගේම චිත්‍රා එක්ක එකට ඉගෙන ගත්ත යෙහෙළියකුයි, චිත්‍රාගේ ගමේ රූපා කියලා යෙහෙළියකුයි තමයි දෙවැනි මනාලියන් වුණේ. 50 වැනි විවාහ සංවත්සරයේදී ගත්ත ඡායාරූපයට ඒ සියලුදෙනාම හිටියා.
වසර පනහක් එපිටට ගිහින් ඔබ සහකාරිය කරගත්ත චිත්‍රාව ඔබට මුණගැහුණු අතීතයත් මතක් කරමු නේද?
අපි 1970 ජනවාරි 28 වැනිදා විවාහ වුණාට ඊටත් වසර හතකට පෙර සිට මම ඇයව ආශ්‍රය කළා. 1963දී අපි දෙන්නටම එකට රඟපාන්න ලැබුණා හෙන්රි ජයසේන මහත්මයාගේ කුවේණි නාට්‍යයේ. ඒ නාට්‍යයේ රඟපාද්දි තමයි අපි හමුවුණේ. නාට්‍යයේ වැඩවලට පිට පළාත්වලට බස් එකේ යද්දි අපි එක ළඟ ඉඳගෙන කතා කර කර යනවා. ඒ යනකොට චිත්‍රා එක්ක අම්මත් එනවා. අම්මා එක්කත් මම හිතවත් වුණා. ඊට පස්සේ චිත්‍රාගේ ගෙදර යන්න එන්න ගත්තම ඇයගේ තාත්තා, සහෝදර, සහෝදරියෝ සියලු දෙනාම හඳුනා ගත්තා. ඊට පස්සේ මම ඇයගේ පවුලේ සාමාජිකයෙක් වගේ වුණා.
චිත්‍රා 1966දී කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණා. එයා විශ්වවිද්‍යාලයට යනවට මගේ නම් කැමැත්තක් තිබුණේ නැහැ. මම ඒ කාලේ ලංකා වාණිජ සංස්ථාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විදිහට වැඩ කළා. මටත් රැකියාවක් තිබෙන නිසා විශ්වවිද්‍යාලයට යන්න ඕනේ නෑනේ කියලා ඇයට කිව්වා. හැබැයි චිත්‍රාගේ තාත්තා එකහෙළාම කිව්වා. 'උපාධිය ලබාගන්න ඇයට ඉඩ දෙන්න ඕනේ' කියලා. පස්සේ මම එයට එකඟ වුණා. ඇය 1966 විශ්වවිද්‍යාලයට ගිහින් 1969 දෙසැම්බර් මාසේදී විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙනකල් මම බලාගෙන හිටියා.
ඇය විශ්වවිද්‍යාලයෙන් එළියට එනකල් ඔබගේ අදහසත් වෙනස් වුණේ නෑ නේද?
එහෙම වෙනස් වෙන චරිතයක් නෙවෙයි මම. වෙනස් වෙන්න අවශ්‍යතාවක් හෝ ඕනෑකමක් තිබුණේ නැහැ. ඇය විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙනකල් බලාගෙන ඉඳලා ඊට පසු වසරේ ජනවාරි 28 මම ඇයව විවාහ කරගත්තා. අපි මුලින්ම විවාහයට යොදාගෙන තිබුණේ ජූලි මාසය. විවාහය ගන්න කොළඹ හෝටල් බලන්න ගියා. ගාලුමුවෙදාර හෝටලයයි, ගල්කිස්ස මහ හෝටලයයි, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයයි තමයි ඒ කාලේ තිබුණේ. නමුත් අපි යොදාගත්ත දිනයට ඒ හෝටල් තුනේම ඉඩ තිබුණේ නැහැ. ඊට පස්සේ ජනවාරි 28 හොඳ දවසක් නිසා එදාට අපි තැප්‍රොබේන් හෝටලය වෙන් කරගත්තා.
එදා මම කලා ලෝකයේ සියලු දෙනාට ආරාධනා කළා. කලා ශිල්පීන් 750කට විතර ආරාධනා කළා. විශ්වාස කරන්න, එදා අපේ විවාහ සැමරුමට දාහකට එහා පිරිසක් සහභාගි වුණා. කෑම මදිවෙලා හෝටලයට කියලා කෑම හදලා දෙන්නත් වුණා. කලා ලෝකයේ එඩී ජයමාන්න, රුක්මනී දේවි ඇතුළු ඒ කාලේ හිටපු සියලුම කලා ශිල්පීන් අපේ විවාහයට ආවා. ඒ ගැන ඇත්තටම සතුටුයි.
ඔබ ආදරය ප්‍රකාශ කරද්දි ඇය එය එකහෙළාම භාරගත්තද?
ඇය මගේ ආදර යෝජනාව එකහෙළාම භාර ගත්තේ නෑ. ඇය කිව්වේ 'මවුපියන්ගෙන් අහලා, ඔවුන්ගේ කැමැත්ත ඇතුව තීරණයක් ගමු කියලා. ඇයගේ අකැමැත්තක් නැහැ කියලත් කිව්වා. අම්මා, තාත්තාගෙන් අහමු කිව්වම මම හා කිව්වා. මම ඒ වෙනකොට පවුලේ අයව දන්න නිසා බයක් තිබුණේ නැහැ. චිත්‍රාගේ තාත්තාගෙන් ඇහුවම ඔහු කිව්වා 'චිත්‍රා ඉගෙන ගෙන ඉවර වුණාට පස්සේ විවාහය කරමු' කියලා.
ඔබේ තෝරා ගැනීම ගැන අද ඔබ එදාටත් වඩා සතුටු වෙනවා ඇති?
මම ඇය ගැන බොහෝදුරට හොයා බලලා තමයි විවාහ වෙන්න තීරණයක් ගත්තේ. මට එදත් තේරුණා ඇය මට ගැළපෙන කෙනෙක් කියලා. මගේ අදහස්වලට ඇගේ අදහස් ගැළපුණා. සමහර වෙලාවට නොගැළපෙන අවස්ථා ආවත් අපි දෙන්නා කතාබහ කරගෙන සමථයකට එනවා. අපි අතර හැලහැප්පිලි තිබුණේ නැහැ. ප්‍රශ්න තිබුණේ නැහැ.
ඔබේ දරුවොත් ඔබයි බිරියයි වගේම කලාවේ ගමනක් තෝරා ගත්තා. ඔවුන් යන ගමන ගැන ඔබට මොකද හිතෙන්නේ?
අපිට දරුවෝ දෙන්නයිනේ ඉන්නේ. අපේ වැඩිමහල් දරුවා දුව වින්ද්‍යා. ඇය නර්තනයට යොමු වුණා. දුව රැජිනි සෙල්වනායගම් මහත්මියගෙන් වගේම චන්න විජේවර්ධන මහත්මයගෙන් නර්තනය ඉගෙන ගෙන ඔවුන් එක්ක තමයි කාලය ගත කළේ. ඇය දක්ෂ නැටුම් ශිල්පිනියක් වුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ඇය උපාධිය ලබාගත්තා. දුව ඇමෙරිකාවේ ඉගෙනගෙන පශ්චාත් උපාධියකුත් ලබා ගත්තා. දුව ලංකාවට ආවට පස්සේ කලා ක්ෂේත්‍රයේ වැඩ කරන්න දුවට හරියට අවස්ථා ලැබුණේ නැහැ. අවස්ථා ලබාගන්න සමහරු ඉඩ දුන්නේ නැහැ. යම් ස්ථාවරයක් හදා ගන්න ඕන නිසා දුව පවුල් උපදේශිකාවක් හැටියට ඩිප්ලෝමා දෙකක් කළා. මනෝවිද්‍යාව සම්බන්ධ උපාධියකුත් කළා. දුව දැන් ජාතික රෝහලේ ප්‍රධාන මානසික වෛද්‍යවරයා වුණු මහේෂ් රාජසූරිය ළඟට යොමුවෙලා එතුමාගේ රෝගීන් බලනවා. දැන් දුවට ඕනකමක් තිබෙනවා ඒ සම්බන්ධ පශ්චාත් උපාධියකුත් කරන්න. ඒ අතරේ චන්න - උපුලි කලායතනයේ සන්දර්ශනවලටත් සම්බන්ධ වෙනවා.
පුතා ජනනාත්. පුතා මූලික අධ්‍යාපනය අශෝක විද්‍යාලයෙන් ලබලා 6 වසරේ ඉඳන් ආනන්ද විද්‍යාලයට ගියා. පුතා සංගීතය ඉගෙන ගත්තා. සංගීතය ඉගෙන ගන්න පුතාව යොමු කළේ ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්මයා ළඟට. බී. වික්ටර් පෙරේරා සංගීත ගුරුවරයා ළඟටත් පුතාව යැව්වා. පුතා බෙර ගහන්නත් ඉගෙන ගත්තා. එයාගේ ඇඟේ තාලය තියෙනවා. පුතා දණගාන කාලෙත් රේඩියෝවේ සින්දුවක් යද්දි ඒ තාලයට යමක් තට්ටු කරනවා. අපිටත් තට්ටුවක් දානවා. බත් කනකොට පිඟානටත් ගහනවා. බෙර වාදනය ඉගෙන ගන්න පුතාව පියසාර ශිල්පාධිපති ගුරුතුමා වෙත යොමු කළා. පණීභාරත සර් ළඟටත් යොමු කළා. නර්තනය, බෙර වාදනය ඉගෙන ගත්තා. පුතා වෙස් නැට්ටුවෙක්. තබ්ලා වාදනය ඉගෙන ගන්න ඩී.ආර්. පීරිස් මහත්මයා ළඟට යොමු කළා. තබ්ලා වාදනයෙන් පුතා විශාරද විභාගය සමත් වුණා. පුතා එයාගෙම ශබ්දාගාරයක් පිහිටුවා ගත්තා. දරුවෝ දෙන්නා යන ගමන ගැන අපිට සතුටුයි.
වර්තමානයේ දික්කසාදය සාමාන්‍යකරණය වෙලා. නමුත් ඔබයි බිරියයි විවාහ වෙලා වසර 50ක් දිගු ගමනක් ඇවිත්. ඒ ජීවිතය තුළින් අලුත් පරම්පරාවට විවාහ ජීවිතය ගැන දෙන්න තිබෙන පණිවුඩය මොකද්ද?
විවාහ ජීවිතය කියන්නේ සාමූහික ජීවිතයක්නේ. දෙන්නෙක් විවාහ වුණාම දෙන්නා එකට ජීවත් වෙන්න ඕන. ප්‍රශ්න මතු වුණත් සුහදව විසඳගන්න ඕන. විවාහ ජීවිතයෙදී තමන්ගේම අදහසේ එල්බගෙන ඉන්න නරකයි. තමන් හරිය, අනිත් කෙනා වැරැදිය කියලා හිතුවොත් ඒක හරියන්නේ නැහැ. දෙන්නම මධ්‍යම තැනකට එන්න ඕන. අපි දෙන්නා නම් ජීවත් වුණේ එහෙම. අපි දෙන්නා අතර කිසිම ප්‍රශ්නයක් නෑ.
කලා ක්ෂේත්‍රයෙම ජීවත් වෙද්දි ගැටලු ඇති වෙනවා කියලා සමහරු කියනවා. ඒත් ඔබ දෙපළත් කලා ක්ෂේත්‍රයේ කටයුතු කළා. කවදාවත් එය ඔබලාට ගැටලුවක් වුණේ නැද්ද?
නැහැ. අපිට අනේයාන්‍ය අවබෝධයක් තිබුණා. මම කොහේ ගියත් මගේ වැඩේ කරගෙන බේරිලා ගෙදර එනවා. චිත්‍රත් එහෙමයි. මමත් එයා ගැන දන්නවා. එයත් මං ගැන දන්නවා. ඒ නිසා අපි අතර ප්‍රශ්න ඇති වුණේ නැහැ. කාගෙන්වත් අපිට බලපෑම් ආවෙත් නැහැ. අවබෝධයෙන් ජීවත් වෙනවා දැක්කම අනෙක් අයටත් අපි ගැන පැහැදීමක්, ගරුත්වයක් තියෙනවා.
අපි දිගටම කලාවේ පවතිනවා. මෑත කාලයේ කලාවේ කටයුතු ටිකක් පසුබැහැලා තියෙන්නේ. චිත්‍රපට කිහිපයක රඟපෑවා. ඒවා කවදා එයිද දන්නේ නෑ. මෑතකදී බැක්ටු ස්කූල් කියලා චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා.
මේ කතාබහට චිත්‍ර වරකාගොඩ මහත්මියවත් සම්බන්ධ කර ගත්තා. ඇය අතීත සැමරුම් වර්තමානය ඉදිරියේ හෙළි කළේ සුන්දර සිනහවකින් මුව සරසාගෙනමයි.
ඔබ දෙපළගේ ආදර කතාව ගැන ඔබටත් සුන්දර මතක ඇති?
1963දී කුවේණි නාට්‍යයෙන් තමයි අපි දෙන්නා මුණගැහුණේ. අපේ දැන හඳුනා ගැනීම ආදරයකට පෙරළුණා. එයා මට ආදරය ප්‍රකාශ කරද්දී කාලයාගෙන් ඒක විසඳෙයි කියලා මම එයාට කැමැතිත් නැති අකැමැතිත් නැති උත්තරයක් දුන්නා. එතකොට මගේ හිත යටින් එයාට කැමැත්තක් තිබුණා. නමුත් මම ඒක කෙළින්ම කිව්වේ නෑ. එයාගේ අදහස ලිපියකින් තමයි මට කියලා තිබ්බේ. මමත් එයාට ලිපියකින් පිළිතුරක් දුන්නා. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණු ගමන් අපි විවාහ වුණා. හෙන්රි ජයසේන මහත්මයා තමයි මගේ පැත්තෙන් විවාහයට අස්සන් කළේ. මෛත්‍රිපාල සේනානායක මහත්තයා විජේරත්නගේ පැත්තෙන් විවාහයට අස්සන් කළා.
විජේරත්න මහත්මයා ඔබේ පවුලේ අයව ඉක්මනින් අල්ලා ගත්තා කියලා දැනගන්න ලැබුණා?
ඔව්. ගෙදරින් නම් එයාට හොඳටම කැමැත්ත ලැබුණා. මම පුහුණුවීම්වලට යද්දී තාත්තත් අයියත් අම්මත් මාත් එක්ක ඇවිත් තියෙනවා. මෙයාට මගේ පවුලේ හැමෝම කැමැත්ත දුන්නා. මගේ නංගිලා දෙන්නත් විජේරත්නට ආදරෙයි.
ඔබ විශ්වවිද්‍යාලයට යනවට විජේරත්න මහත්මයා අකැමැති වුණාලු නේද?
එයා හිතුවා විශ්වවිද්‍යාලයට ගියාම මාව නැතිවෙයි කියලා. මම එහෙම වෙනස් වුණේ නැහැ. විශ්වවිද්‍යාලයට යන්න කලින් මාව විවාහ කරගන්න එයාට ඕන වෙලා තිබුණා. නමුත් තාත්තා කිව්වා දුව විශ්වවිද්‍යාලයට යන්න ඕන කියලා. විජේරත්නත් තාත්තාගේ අදහසට එකඟ වුණා. ඒ කාලෙත් දේශන නැති වෙලාවට එයා මාව බලන්න විශ්වවිද්‍යාලයට එනවා. ඇවිත් මාව රැකගෙන ඉන්නවා. ඒ කාලේ “ගමේ වැල අයිති ගමේ කපුටන්ට. අපි මේකාට ගහමුද” කියලා ඩබ්ලිව්. ජයසිරි කතා වුණාලු. පස්සේ කාලෙක තමයි මම ඒක දැනගත්තේ. විශ්වවිද්‍යාලයේ කා වෙනුවෙන්වත් මගේ හිත නැවතුණේ නැහැ.
ඒ කාලයේ විජේරත්න මහත්මයා කඩවසම් තරුණයෙක් වෙන්න ඇති නේද?
විජේරත්න 'හුණුවටයේ' කතාවේ පොතේ ගුරුගේ චරිතය රඟපාන්න වේදිකාවට එද්දි මට එයාව පේන්නේ රාජ කුමාරයෙක් වගේ. එයත් වේදිකාවේ ඉඳන් ප්‍රේක්ෂකාගාරයේ මම කොතැනද ඉන්නේ කියලා හොයනවා. ඊට පස්සේ හෙන්රි ජයසේන මහත්මයා තහනම් කළා මම ප්‍රේක්ෂකාගාරයට එන එක. එතකොට මම හුණුවටය කතාවේ හිටියේ නැහැ. ඒත් මම එයාලට උදවු කරන්න ගියා. මම දිසාලා චරිතය කරන කාලේ විජේරත්න කර්ට්න් අස්සෙන් බලලා හිතනවලු 'කවදා හරි මේ කෙල්ල මට බඳින්න තියෙනවා නම්' කියලා. පස්සේ කාලෙක එයා ඒක කා එක්කද කියනවා මට ඇහිලා තියෙනවා.
ඔබේ තෝරා ගැනීම එක්ක පනස් වසරක ගමනක් ඔහු සමඟ ඇවිත්, 50 වැනි විවාහ සැමරුම ගැන ඔබත් සතුටින් ඇත්තේ?
50 වැනි විවාහ සැමරුම වෙනුවෙන් සංවිධානය කළ සාදය ඇතුළේ වුණු සමහර දේවල් අපි දැනගෙන හිටියේ නැහැ. අපේ මංගල ඡායාරූපයේ හිටපු හැමෝම අපේ 50 වැනි විවාහ සැමරුමටත් ආවා. අපිව පෝරුවේ නැග්ගෙව්වා. නෑදෑයන්ට බුලත් හුරුලු දුන්නා. පෝරුවෙන් බැහැලා ගිහින් කේක් කැපුවා. ෂැම්පේන් බිව්වා. ඉතින් හරිම සතුටුයි ඒ සැමරුම ගැන.
ඔබ දෙපළ ආපු ගමනේ සොඳුරු තැන් විතරමද තිබ්බේ? මේ ගමනේදී කටුක අවස්ථාවන්ටත් මුහුණ දෙන්න වුණාද?
විවාහ වෙලා වසර පනහක් ආපු ගමනේ කටුක තැන් තිබුණා. අපේ ගේ හදාගෙන යද්දි විජේරත්න කිව්වා අවුරුදු දෙකකටවත් රට ගිහින් එන්නම් කියලා. එයා රට ගිය දවසේ මම හොඳටම ඇඬුවා. කවුරුහරි අපේ ගෙදරට ඇවිත් විජේරත්න ගැන අහද්දිත් මම අඬනවා. ඒ නිසා අපේ පුතා එයාලට හිමින් කියනවා අම්මා ඉස්සරහා තාත්තා ගැන අහන්න එපා කියලා. දරුවෝ දෙන්නා ළඟ හිටපු එක තමයි මට සැනසීමකට තිබ්බේ. විජේරත්න මාවත් බලාගත්තේ දරුවෙක් වගේ. එයා කියන්නේ මොනවද? සුවච කීකරු භාර්යාව වගේ මම එයා කියන දේ අහනවා.
ඒ කියන්නේ ඔබ ඔහුගේ අදහස්වලට ගරු කළා?
ඔව්. මට ගුරු පත්වීමක් ලැබුණා ඇහැළියගොඩ පැත්තේ. දවසකටවත් දුර අරින්න බෑ කියලා එයා කිව්වා. ඊට පස්සේ මම සංස්කෘතික නිලධාරිනියක් විදිහට වැඩ කළා. ඒකෙ ක්ෂේත්‍ර වැඩ තියෙනවා. ඒකත් මට හරියන්නේ නෑ කියලා විජේරත්න කිව්වා. චිත්‍රපට සංස්ථාවේ රැකියාවට ගියාම නම් ඒක කරගෙන ඉන්න කිව්වා. අවුරුදු විසිපහක් මම චිත්‍රපට සංස්ථාවේ වැඩ කළා. එයා කියන හැමදෙයටම මම එකඟ වුණා.
විවාහ වෙන්න කලින් තිබ්බ ආදරය, සැලකිල්ල, රැකවරණය විවාහයෙන් පස්සෙත් තිබුණද?
ඔව්. අපි එකිනෙකා ගැන නිතරම හොයලා බැලුවා. අපි කොච්චර එළියේ වැඩ කළත් අපේ හිත් හීනෙකින්වත් වෙනතකට ගෙනිච්චේ නැහැ. මාව කෙනෙක් අල්ලනවටවත් මම කැමැති වුණේ නැහැ. මගේ හිත විජේරත්නට හැරෙන්න වෙන කා වෙනුවෙන්වත් ගියේ නැහැ. එයත් එහෙම තමයි.
විජේරත්න මහත්මයා ඔබේ කලා කටයුතුවලට සීමා පැනෙව්වේ නැද්ද?
මුලින් නම් සීමා පැනෙව්වා. විවාහ වුණු අලුත චිත්‍රපටවලට කතා කළාම යන්න දුන්නේ නැහැ. මට චිත්‍රපටවලට ආරාධනා කරන්න එද්දී මට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා බොරු කියලත් තියෙනවා. චිත්‍රපටවල රඟපාන්නත් බෑ, ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන්වලට යන්නත් බෑ කියලා මට තහංචි දැම්මා. දරුවෝ ලැබිලා එයාලත් ටිකක් ලොකු වුණාම 'ඔයා කැමැති නම් රඟපාන්න යන්න' කියලා කිව්වා. එතකල් මම ඉවසගෙන හිටියා. මම මට ඒ දේවල් ඕනේ කියලා කටගහගෙන ගියා නම් පවුල් ජීවිතය ඉවරයි.
විවාහ ජීවිතයක් සාර්ථක වෙන්න ඔබ දකින විදිහට වැදගත් වෙන්න ඕනේ මොන වගේ කාරණාද?
දික්කසාදය කියන්නේ මොන ලැජ්ජාවක්ද කියලා මට නම් හිතෙනවා. දැන් දික්කසාදය සාමාන්‍යකරණය වෙලා. කලා ලෝකේ ඉන්න ජෝඩු අතරින් අපි කාගෙන්වත් වචනයක් අහන්නේ නැතුව ජීවත් වුණේ. ගැහැනු කෙනෙක්නම් තමන්ට ලැජ්ජ බය තියෙන්න ඕන. ලැජ්ජ බය නැත්නම් ඕන දෙයක් කරන්න පුළුවන්නේ. තමන්ගේ ආත්ම ගෞරවය ගැන හිතලා වැඩ කරන්න ඕන. මම එය ඉහළින්ම සලකනවා. අපේ මවුපියෝ අපිව හරි විදිහට හැදුවා. අපි නරකට පෙලඹුණේ නැහැ. අපි අතර මොකක් හරි අදහස් නොගැළපීමක් ආවත් අපි ඒවා විසඳාගන්නවා.