ඔබ ගැන මේ දිනවල බොහෝ දෙනෙක් කතාබහ කරනවා. ඒ නිසා අපි මුලින්ම කතා කරමු ඔබ ගැන තොරතුරු ටිකක්..?
මම ඉපදුණේ ලංකාවේ. නමුත් මම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබුවේ අට ශ්‍රේණිය දක්වා විතරයි. ඊට පස්සේ ස්ව්ස්ටර්ලන්තයට ගියා. මම නැවත ලංකාවට එන්නේ 1992 වර්ෂයේ. පසුව ලංකාවේ ගුවන් නියමු පාසලකින් අධ්‍යාපනය හදාරලා වැඩිදුරටත් ඒ ගැන ඒගෙන ගන්න ඕස්ට්‍රේලියාවට ගියා. අධ්‍යාපන කටයුතුවලින් පසුව මෙල්බන් ගුවන් නියමු පුහුණුකරුවෙක් විදිහට වැඩකරලා 2001 වර්ෂයේදී මම ලංකාවට ඇවිත් ශ්‍රී ලංකා එයාර් ලයින් එකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. මේ වෙද්දී මගේ සේවා කාලය අවුරුදු 19ක් වෙනවා.
මගේ බිරිඳත් ගුවන්සේවා කාර්ය මණ්ඩලයේ සේවය කළේ. දැන් ඇය බිරිඳක් මවක් විදිහට ඒ රාජකාරිය කරගෙන ලස්සනට පවුල් ජීවිතය ගෙවන්න උදව් කරනවා. මට දුවලා දෙන්නෙක් ඉන්නවා.
එතකොට දුවලා දෙන්නා කවදාවත් කියලා නැද්ද තාත්තා වගේ ගුවන් නියමුවෙක් වෙන්න ඕන කියලා..?
එයාලටත් ගුවන් නියමුවරියන් විදිහට රැකියාව කරන්න ආසාවක් තියෙනවා කියලා කියනවා. නමුත් තව කල් යද්දී ඔය අදහස් වෙනස් වෙලා වෙන මාවතක් තෝරාගන්න ඉඩ තියෙනවා. ඒක හරියටම කියන්න දන්නේ නැහැ.
දූවරු ගුවන් නියමුවරියන් වෙන්න හීන දකිනවා වගේ ඔබත් කුඩා කල එවැනි හිනයක ජිවත් වෙන්න ඇති..?
ඔව්. මම පුංචි කාලේ ඉදලා හිතුවේ ගුවන් නියමුවෙක් වෙන්නයි. ඒ නිසයි ඒ සදහා ඉගෙන ගෙන ඒ පැත්තට යොමු වුණේ.
මේ දවස්වල මුළු ලෝකයම කතා කරන්නේ චීනයේ දරුණුවට පැතිර යන කොරෝනා වෛරසය ගැනයි. චීනයේ වුහාන් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට ගෙන ඒමේ උදාර කර්තව්‍යට ඔබ ඇතුළු කණ්ඩායමක් එකතු වුණු නිසා අපේ රටේ සියලුම දෙනා ඔබ ගැනත් කතා කරනවා...?
ශ්‍රී ලංකා එයාර් ලයින් එකේ ගුවන් නියමුවන් ඉන්නේ මා යටතේ වැඩ කරන්නේ. මගේ බොස් කැප්ටන් ප්‍රවීන් වෙත්තමුණි, ඊට උඩින් ඉන්නේ කැප්ටන් රංජිත් රණතුංග. රජයෙන් වුහාන් යන්න නියෝගයක් ආවහම ඒ දෙදෙනාම මාත් එක්ක කතා කළා. මේ ගමන සැලසුම් කරන්න ඕන ඒ සදහා රැගෙන යන කණ්ඩායම කවුද කියලා. මුලින්ම මම කැමැත්ත ප්‍රකාශ කළා මම යන්නම් කියලා. මොකද මම නොයා මේ වගේ ගමනකට වෙන අයට යන්න කියන්න බැරි නිසා. පසුව අපිත් එක්ක එකතු වෙන්න කැමති පිරිසට කතා කළා. කැප්ටන් අනුෂ්ක ජීවන්ත ඇතුළු කණ්ඩායම කිසිම අකමැත්තකින් තොරව එන්න කැමති වුනා.
තෙල් රැගෙන යන්නේ කොහොමද, කොහොමද යන්නේ, මාර්ගය මොකක්ද මේ සියල්ල අපි සැලසුම් කළා. මොකද චීනයට එකවර යන්න බැහැ ඒ සදහා චීන තානාපති කාර්යාලය හරහා අවසර අරගෙන යායුතු ගමන් පථය සැලසුම් කළා. ඒ වගේම පොඩි ගුවන් යානයක් අරගෙන ගියොත් මගදී තෙල් ගහන්න ඕන. මේ ගමනේදී එවැනි තත්ත්වයක් නැහැ. ඒ නිසා ලොකු ගුවන් යානයක් ගත්තා ගිහින් එන්න අවශ්‍ය පරිදි තෙල් ගහන්න පුළුවන් එකක්. ඒ වගේම අපට ගුවන් හමුදාව ලොකු සහයෝගයක් දුන්නා. එබෝලා එක කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි පැළදගෙන ගිය ආවරණ කට්ටිටලය ගැන.
ඒ අනුව අපේ කණ්ඩායමට 16 දෙනෙක් එකතු වුණා මේ ගමන යන්න. අපි මෙහෙන් පිටත් වෙන්න කලින් ගුවන් තොටුපොළෙන් අපිට උපදෙස් ලබා දුන්නා. අපි ගෙනියන සියල්ල එහෙ දාලා එන්න ඕන. ඒ නිසා හදිස්සියේ හරි සම්බන්ධ කරගන්න අවශ්‍ය වුනොත් කියලා මගේ දුරකථනය මගේ පාස්පෝට් එක, ලයිසන් එක විතරයි රැගෙන ගියේ. අපි කණ්ඩායම ගියේ එයාර් ලයින් ටී ෂර්ට් එක ඇදලා. අපේ නිල ඇඳුමවත් භාවිතා කළේ නැහැ. එහෙ ලෑන්ඩ් කරන්න පැයයි විනාඩි පහළොවක් තියෙද්දී තමයි අපි එබෝලා ඇඳුම ඇඳගත්තේ.
පැය පහයි විනාඩි 10ක් ගත වුණා ලෑන්ඩ් කරන්න. වෙනදට අපි ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරද්දී හරිම ඝෝශාකාරියි ලෑන්ඩ් කරන ගුවන්තොටුපළේ. තවත් ගුවන් යානා තියෙනවා. කාර්යමණ්ඩලය එහෙ මෙහෙ දුවනවා. නමුත් ජිවිතේ පළමු වතාවට තමයි නිහඩ පරිසරයක ගුවන් යානය ලෑන්ඩ් කළේ. වුහාන් නගරය වහලා තිබුණු නිසා අපේ සහයට චීන රජය ගුවන් තොටුපොළට ඒවා තිබුණේ පුද්ගලයින් දෙදෙනෙක් විතරයි. මිට පෙර අපි වුහාන් ගුවන්තොටුපළේ යානයක් ලෑන්ඩ් කරලා තිබුනේ නැති නිසා එකත් අලුත් අත්දැකීමක් වුනා. කොහොම හරි අපි අපේ මගින් 33 දෙනා ගුවන්යානයට ගත්තා. ඒ වැඩේටත් අපි හිතුවටත් වඩා වැඩි කාලයක් ගත වුනා. පැය 4යි විනාඩි 15 විතර.
ඒ වගේම දවල් ඒ ගමන ගිය නිසා අපි සැලසුම් කල කාලයට වඩා පැයක පමණ කාලයක් වැඩිපුර ගත වුනා. ගුවන් කාලයට වැඩියෙන් ගන්න බැහැ ඒක නීති විරෝධියි. ඒ වගේ ප්‍රශ්න එන නිසා අපි කලින් ඒවාට ලෑස්ති වුනා.
අපි සාර්ථකව මගින් රැගෙන පැය 6ක ගමනාන්තය නිම කරමින් මත්තල ගුවන්තොටුපොළට ආවා.
ජීවිතයත් මරණයත් අතර සිරව සිටි මගින් තිස්තුන්දෙනා ලංකාවට ගොඩ බැහැපු මොහොතේ ඔවුන්ගේ ප්‍රතිචාරය කොහොමද..?
මම පයිලට් සීට් එකේ හිටපු නිසා ඔවුන් කී දේ මට ඇහෙන්නේ නැහැ. නමුත් කාර්යමණ්ඩලය කිව්වා ගුවන් තොටුපොළට ආ මොහොතේ ඔවුන් සතුටින් අත්පොළසන් දුන්නා කියලා. එයාලා හරියට සතුටු වෙලා තියෙනවා තමන්ගේ රටට නැවත ඒම ගැන.
ඔබ ප්‍රධාන ගුවන් නියමුවා. මේ අවස්ථාව වෙනත් අවස්ථාවකට වඩා බැරෑරුම්. සංවේදී අවස්ථාවක්. මෙහිදී ඔබේ හා කණ්ඩායමේ වගකීම වැඩියි. අවධානම වැඩියි. එහෙම නේද..?
ඔව්. මේ ගමනේ අවධානම මම ගත්තා. ලොකුම අවධානම තමයි හදිස්සියේ හරි ගුවන් යානය කාර්මික දෝෂයකට ලක් වෙලා වෙනත් ගුවන් තොටුපොළක ගොඩබස්වන්න වුනොත් ඒ අවස්ථාව අපට ගන්න වෙන්නේ නැහැ. හේතුව වුහාන් ඉදලා ආවේ කියලා දැනගත්තොත් අපට ගුවන් යානයෙන් එළියට එන්න දෙන්නේ නැහැ. මොනවම හරි වුනොත් අපේ 16 දෙනාගෙන් යුත් කණ්ඩායම හිර වෙනවා. කවුරුත් උදව් කරන එකක් නැහැ . ඒ අවධානම හා සියළුම අහියෝගවලට අපි මුහුණ දුන්නා. ගමන සාර්ථකව නිම කළා. ඒ ගමන අවධානමක් නැහැ කියලා කියන්න බැහැ. වගකීම් සහිත එකක්.
අවධානම් ගමන නිමකරමින් මත්තල ගුවන්තොටුපොලට ආ මොහොතේ කණ්ඩායමේ පිරිසට ගුවන් හමුදාවෙන් සහයෝගය ලැබුනා. සියලුම දෙනා පිරිසිදු කර ආරක්ෂා කිරීමට. ඒ ගැන කිව්වොත්..?
මත්තල ලෑන්ඩ් කලාට පස්සේ CBRN යුනිට් එකෙන්. ඒ කියන්නේ Chemical, biological, radiological and nuclear. අපේ සියලු බඩු අයින් කරලා සම්පුර්ණයෙන්ම අපිව පිරිසිදු කළා. මම මිට කලින් ඒ වගේ සහයෝගයක් දැකලා තිබ්බේ නැහැ. ගුවන් හමුදාවෙන් ඒ ලැබුණු සහයෝගය ඇත්තටම අගය කරන්න ඕන. පසුව තමයි මත්තලින් අපිව කොළඹට එව්වේ.
වෛරසයක් එක්ක සටන් කරන නගරයකට ගොස් ආ නිසා ඔබට ඇත්තටම බයක් දැනුනේ නැද්ද..?
කොහෙත්ම නැහැ. බය වෙන්න කිසිම හේතුවක් තිබුනේ නැහැ. නමුත් විශාල ආඩම්බරයක් දැණුනා. මොකද චීනයේ ප්‍රශ්නයේදී එරටට ගොස් තම තමන්ගේ රටවල්වල ජනතාව රැගෙන ආවේ රටවල් හතරකින් පමණ විතරයි. ඒ අතරට අපේ රටත් එකතු වීම ආඩම්බරයි. පොඩි රටක් වෙලා රජය තමන්ගේ ජනතාව ආරක්ෂා කිරීම ගැන සතුටක් තියෙනවා. ඒ වගේම කියන්න ඕන මගේ කණ්ඩායම ගැන. ගමනට සියල්ල ලෑස්ති කරගත් පසුව මම ඇහුවා කාට හෝ මේ ගමන ගැන සැකයක් තියනවා නවතින්න, එන්න එපා මට ඔයාලට මේ වෛරසය බෝ වෙන්නේ නැහැ කියලා සියයට සීයක්ම ගැරන්ට් කරන්න බැහැ කියලා. නමුත් කණ්ඩායමේ සියලුමදෙනා එක හෙලා කිව්වා මේ ගමන යනවා කියලා. මා ගැන තැබූ විශ්වාසයට ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.
ඔබ ඇතුළු කණ්ඩායම ලංකාව දැන් හඳුන්වන්නේ වීරයින් ලෙස. ලැබෙන ප්‍රතිචාර එක්ක මොකද හිතෙන්නේ..?
ප්‍රතිචාර ගැන සතුටක් තියෙනවා. සමාජ මාධ්‍යවල අපි ගැන හොද කියලා පොස්ට් යනවා. කට්ටිය ඒවාට කමෙන්ට් ලයික් කරනවා. ඒවා හුවමාරු කරගන්නවා. ඒවා දකිද්දී හරිම සතුටුයි. මාධ්‍යයෙන් පවා අපි ගැන කතා කළා. නමුත් කියන්න ඕන අපි ඒ කිසිදෙයක් බලාගෙන නෙමෙයි මේ ගමන ගියේ. මේ ගමන ගියේ අපේ රාජකාරිය කියලා හිතලා. ඇත්තටම කිව්වොත් අපේ එයාර් ලයින් එක ගැන හිතලාවත් නෙමෙයි. රට ගැන හිතලා .කොහොම නමුත් අහම්බෙන් ලැබුණු ප්‍රශංසා ගැන සතුටු වෙනවා. නමුත් මම නම් මම වීරයෙක් කියලා හිතන්නේ නැහැ.
මේ ගමන යද්දී ඔබේ ආදරණිය බිරිඳ කිව්වේ නැද්ද මේ ගමනට සම්බන්ධ වෙන්න එපා කියලා..?
එයා මගෙන් මුලින්ම ඇහුවේ ඇයි මේ ගමන ඔයා යන්නේ කියලා. මම මගේ බිරිඳට කිව්වා මගේ දුවලා දෙන්නා ඒ වගේ තත්ත්වයක හිටියොත් ඔයා මොකද කරන්නේ කියලා. එයා දුන්න උත්තරය තමයි හරි ඔයා මේ ගමන යන්න කියන එක. මගේ බිරිඳ විතරයි දැනගෙන හිටියේ මම වුහාන් ෆ්ලයි කළා කියලා. මගේ සහෝදරයින් හෝ පවුලේ කිසිකෙනෙක් දැනගෙන හිටියේ නැහැ. මාධ්‍ය මගින් තමයි ඒ අයත් දැනගෙන තිබ්බේ.
ඔබේ රාජකාරියේ කාලය වසර 19ක් වෙනවා. වෙනස්ම රාජකාරියක්. වෙනස්ම කාලසටහනක්. මේ කාලය තුල ඔබට පවුල මඟ හැරුනේ නැද්ද..?
මගේ බිරිඳ රාජකාරිය කලෙත් එයාර් ලයින් නිසා එයා දන්නවා රාජකාරියේ වපසරිය හා වෙන දේවල්. ඒ තේරුම් ගැනීම මත මගේ බිරිඳගෙන් මට පවුල් ජිවිතයට ලොකු සහයෝගයක් ලැබුනා. මඟ හැරුණු දවස් තිබ්බා. නමුත් ලැබෙන හැම නිවාඩු දවසක්ම මම ගත කලේ පවුල එක්ක මගේ දරුවෝ එක්ක. අපි නිවාඩුවට ට්‍රිප් යනවා. විනෝද වෙනවා. මට මගේ පවුල ඒ නිසා ලොකුවට මිස් වුනේ නැහැ.
අවසන් ප්‍රශ්නය ලෙස මම ඔබෙන් මෙසේ අසනවා. වුහාන් ගමනට ඔබට විශේෂ දීමනාවක් ලැබුනා. එය ඔබේ කණ්ඩායම ප්‍රතික්ෂේප කළා කියලා. ඒ කතාව ඇත්තද..?
ඒ දීමනාව සාමාන්‍යයෙන් හැමෝටම හිමි වෙන දීමනාවක්. අපි ෆ්ලයි කරන හැම ගමනකටම හැමෝටම හිමි වෙන දීමනාවක්. එහෙම නැතුව මේ ගමන සඳහාම ලබා දුන් විශේෂිත දීමනාවක් නෙමෙයි. අපිට දුන්නු ඒ දීමනාව තමයි අපි ප්‍රතික්ෂේප කළේ. ඒ මුදල් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා අවශ්‍ය දෙයකට යොමු කරන්න කිව්වා. නැත්තම් ආධාර කටයුත්තක් සදහා භාවිතා කරන්න කිව්වා. ඒ වගේම කියන්න ඕන ශ්‍රී ලංකන් එයාර් ලයින් ගැන විවිධ මත තිබුණා. බොහෝ දෙනා විවේචන කළා. මේ වගේ කටයුත්තක් සදහා අපේම ගුවන් යානයක් තිබුණු එක ගැන අපි සතුටු වෙන්න ඕන. එහෙම නොතිබුණා නම් මේ වගේ දෙයකදී වෙනත් එයාර් ලයින් වලින් උදව් ඉල්ලා ඉල්ලා වෙන්න සිද්ධ වෙනවා. ඇතැම් විට ඔවුන් ගුවන් යානයක් නොදෙන්නත් ඉඩ තියෙනවා. ඒ ගැනත් විශේෂයෙන්ම මම මතක් කරනවා.