ආප්ප පුච්චා මුදල් එකතු කරගෙන දඹදිව වන්දනාවේ යන අනූ හැවිරිදි මවක් පිළිබඳව දඹුල්ලෙන් වාර්තා වෙනවා.
දඹුල්ලේ නව පාදෙණිය ගම්මානයේ ජිවත්වනකිරි මැණිකා නැමති ඇය, ආප්පයක් ශත හතරට විකිණෙන කාලයේ සිට උපයාගෙන ඇති මුදලින් මේවන විට දෙවරක් දඹදිව වන්දනාවේ ගොස් තිබෙනවා.
1989-1990 භිෂණය කාලයේ සැමියා අතුරුදහන් වීමෙන් පසුව තම දරුවන් හය දෙනා ජිවත් කරවීමේ කටයුත්තට කර ගැසූ ඇය මේවන විට ජිවත් වන්නේ තනිවූ නිවසකයි.
"මගේ සම්බුදු රජාණන් වහන්සේ ඉන්දියාවේ ඉපදුණේ. තුන් පාරක් බුදු හිමියන් ලංකාවට ආවා. බුදු හිමියන් ඉපදුණු, බුදුවුණු, පිරිනිවන් පෑම සිදුවුණු තැන දඹදිව වන්දනාවේ ගිහිල්ලා දැකගන්න මට පුළුවන් වුණා. මම දැන් බුදුන් දැක්කා. මම තුන්වැනි පාරත් දඹදිව ගිහිල්ලා මගේ අධිෂ්ඨානය බුදුන් දැක්කට පස්සේ ලංකාවට ඇවිල්ලා මැරුණත් කමක් නෑ කියලා. හැබැයි ලංකාවට ඇවිල්ලා තමයි මට මැරෙන්න ඕනේ" ඇය පවසනවා.