කොබෙයිගනේ, හෙන්ගමුව ප්‍රදේශයේ කුකුල් ගොවිපොළක කූඩුවක සිටි සුනඛයෙකු වෙඩි තබා, පහර දී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි මුරකරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීම පුද්ගලයෙකු විසින් ජංගම දුරකතනයෙන් පටිගත කර සමාජ මාධ්‍යයට මුදා හැර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂගේ ද අවධානය යොමුවූණා. පසුව මෙම සිදුවීම පිළිබඳව විමර්ශණයක් සිදු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා පොලිසියට උපදෙස් ලබා දුන්නේ.
ඒ අනුව වායු රයිෆලයකින් අදාල වෙඩි තැබීම සිදුකළ කුකුළු ගොවිපොළේ මුරකරු ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු කොබෙයිගනේ නබඩවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සත්ව හිංසනය සිදු කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් එම පුද්ගලයා අද නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර වැල්ලවාය, දිඹුලාමුරය ප්‍රදේශයේ නිවසක තිබූ වාහනයක අතිරේක රෝද සොරකම් කිරීම සඳහා නිවසේ සිටින සුනඛයින් දෙදෙනෙකු වස මිශ්‍ර ආහාර ලබාදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
අවට පිහිටි සීසීටීවි කැමරා උපයෝගි කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණයක් සිදු කරන බවයි පොලිසිය කියා සිටියේ.
මෙම වස මිශ්‍ර ආහාර අනුභව කිරීමෙන් නිවසට දිනපතා පැමිණෙන බළලුන් තුන්දෙනෙකු සහ කුකුළන් දෙදෙනෙකු ද පසුව මිය ගියා.
අදාල නිවසේ නවතා තිබෙන වාහනයක අතිරේක රෝද සොරකම් කිරීම සඳහා සැකකරුවන් මීට දින කිහිපයකට පෙර නිවසට පැමිණ ඇති නමුත් සුනඛයින් බිරීම හේතුවෙන් ඔවුන් අදාල දිනයේ සොරකම සිදු කර නැහැ.
ඉන් අනතුරුවයි ආහාරවලට වස මිශ්‍ර කර සුනඛයින් ඝාතනය කිරීම සඳහා උත්සාහ කර ඇත්තේ.