හාස්‍ය දනවමින් රඟපෑම සිතන තරම් පහසු නැත. නමුත් ඒ අපහසු කාර්යය අභියෝගාත්මකව ජයගත් ඔහු අද වන විට රූපවාහිනියෙන්, සිනමාවෙන් පමණක් නොව වේදිකාවේන්ද රඟමින් ප්‍රේක්‍ෂක ආදරය නොඅඩුව ලබන රොඞ්නි වර්ණකුලය. මේ ඔහු කියන කතාවයි.
පියෙකු ලෙසින් අභිෂේක ලැබූ ඒ මතකය අවදි කරන්න අපි අවුරුදු කීයක් පස්සට යා යුතුද?
අවුරුදු 29 ක්. මීට අවුරුදු විසි නවයකට කලින් තමයි අපේ පුංචි කැදැල්ලට අලූතින්ම අමුත්තියක් එකතු වුණේ. ඒ තමයි මගේ ලොකු දුව. පළමු වරට දුවෙක් ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් මට තිබුණා. මොකද මගේ පවුලෙත් වැඩිමලා අක්කා නිසා. කොහොම හරි ඉතිං දුවක් මුලින්ම ලැබුණා.
දුවක් කියන්නේ ඇත්තටම පවුලට දෙවැනි අම්මෙක් වගේ කෙනෙක්. ඊට පසුව පවුලට දියණියකුයි. පුතෙකුයි ලැබුණා. පුතෙක් ලැබුණා කියලා මුලින්ම ආරංචිය ආපු වෙලාවේ නම් මට හිතුණේම මට මගේ හිසේ කිරුලක් පැළැන්දුව වාගේ හැඟීමක්. පුතා ඉපදෙනකොට මම හිටියේ ප්‍රංශයේ පැරිසියේ.
අපගේ පරම්පරාවේ නාමය ඉස්සරහට අරං යන්න පුතෙකුගේ සම්ප්‍රාප්තිය මහා සතුට දනවන කරුණක් වුණා. පුතාව මම ඇස්දෙකෙන්ම දැක්කේ ඉපදිලා මාස තුනකට පසු. රාජකාරි කටයුත්තෙන් පස්සේ.
පුතෙකු ඉපදීම දැනුණේ කොහොමද?
පුතෙක් කියන්නේ පවුලකට ඇතෙක්. ලොවක් හැදෙන්නෙ මවගේ කිරෙනුයි, හිරුගේ රශ්මියෙනුයි කියනවානේ.
මම පුංචි කාලේ මගේ අම්මාගෙන් අවුරුදු 5 ක් කිරි බිව්වා. මගේ පුතා මව්කිරි අවුරුදු 8 ක් බිව්වා. ඇත්තම කියනවා නම් ඒ ශක්තියයි. අද අපිට තිියෙන්නේ. දෙමාපියන්ගෙන් ලැබුණ ආදරේ, සෙනෙහස, මානුෂික ගුණධර්ම සියල්ලම එකට එකතු වෙලයි යහගුණයෙන් සපිරුණු දරුවෙකු ලොවට බිහිවන්නේ. එවන් දරුවන් තිදෙනෙකු මා ලෝකයට දායාද කළ බවට අප්‍රමාණ සතුටක් ලබනවා.
පුතා ඔබට වඩා දුරක් යා යුතු බවට සිහින දකිනවාද?
ඔව් ඇත්තටම. මගේ තාත්තා ටීටර් නළුවෙක්. මම ඔහුට වඩා දුරක් අද ඇවිත් තියෙනවා. මගේ පුතා මට වඩා දුරක් යයි කියා නිරතුරුවම හිතනවා. ඒ වගේම අද වන විට ඔහු දීප්තිමත් ලකුණු පෙන්වා තිබෙනවා. පුතාට ගායනය, වාදනය වගේම රඟපෑමත් පිහිටලා තියෙනවා.
දරුවෝ කියන්නේ ඇත්ටම කවුරු කියලා ද ඔබට හිතෙන්නේ?
බිරිඳයි සැමියයි ලෙසින් හිටපු දෙනේනෙකුට මවයි, පියයි ලෙසින් පූජනීය තනතුරු දෙකක් ලැබෙන්නේ දරුවන් නිසා. දරුවන් කියන්නේ ඇත්තටම දෙවියන්ගෙන් ලැබුණු උතුම් දායාදයක්. තාත්තාගේ ලෙයිනුයි. අම්මාගේ කිරෙනුයි ලොවට දායාද වන දරුවන් දෙවියන් වහන්සේගේ මහඟු දායාදයක්.
පිය සෙනෙහස ඔබට දැනෙන්නේ කොහොමද?
මගේ ලෙයින් මේ ලෝකයට බිහිවෙලා ආත්මීය බැඳීමකින් ජීවිත කාලය පුරාවටම ගනුදෙනු කරන හදවතට වඩාත් සමීප පිරිසක් තමයි දරුවෝ. ඒ දරුවෝ නිසා ඉපදුන ආදරේ. ඔබ කියන ඔය පිය සෙනෙහස ජීවිතයේ කවරදාවත් නිම වෙන් නෑ. අද වෙන විට දරුවන් වෙනුවෙන් පමණක් තිබූ පිය සෙනෙහස මුනුබුරු මිනිබිරියන් අතරත් බෙදී ගිහින්.
සීයා කෙනෙක් වීමේ අත්දැකීම?
මට හිතෙන්නේ දරුවන්ට වඩා ආදරයක් දරුවන්ගේ දරුවන්ට දෙමාපියන්ගේ හිතේ උපදිනවා. ඒක තමයි ඇත්ත. සමහර වෙලාවට දරුවෝ වෙනුවෙන් එදා අපිට කරන්න බැරිවුණ යුතුකම්, වගකීම් පවා ඒ අඩුව වහගන්න අපි දරුවන්ගේ දරුවන්ට කරනවා.දංවැළක පුරුක් වගේ එකකට එකක් සම්බන්ධ මේ බැඳීම් කවදාවත් නිමාවෙන් නෑ.
සොදුරු මිනිසෙකු ලොවට නිර්මාණය වෙන්නේ කෙලෙසද?.
සොඳුරු මිනිසෙකු නිර්මාණය කිරීමේ ප්‍රධානම අඩිතාලම වැටෙන්නේ නිවසෙන්. දෙමාපියන්ගේ මහඟු බලයක් තියෙන ආදරය, සෙනෙහස, රැකවරණය කියන ඒ සියලූ ගුණාංග සොඳුරු මිනිසෙකු නිර්මාණය කිරීමේ කාර්යය තුළ ඉන්නවා. අද වන විට තාක්‍ෂණය කිියන දෙයට දරුවෝ බොහෝ සෙයින් ඇබ්බැහි වෙලා. එහි වරදක් නෑ. සෑම විටම සෞන්දර්යට දරුවෙකු ළං කිරීම ඉතාම ඕනෑකමින් කළ යුත්තක්. සෑම දරුවෙකුගේම මනසේ රුදුරු මිනිසෙක් සහ සොඳුරු මිනිසෙක් ඉන්නවා. අපි සෑම විටම උත්සාහ ගත යුත්තේ රුදුරු මිනිසාට අඟුලූ දමා හිරකර එළියට එන්න නොදී සොඳුරු මිනිසාට පූදින්නට මඟ විවර කිරීම.
දරුවන් කවුරුන් විය යුතුයි කියා ඔබ විශ්වාස කළාද?
ලෝකයේ තියෙන ලොකු ලොකු රස්සාවල් නොකළාට මනුස්සකම උපරිමයෙන්ම තියෙන කෙනෙක් වෙන්න කියන එක තමයි මම දරුවන්ට නිතර කිව්වේ.
අසුන්තා එදිරිසූරිය