එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ කුමන තීරණයකට එළඹුණ ද, මහ මැතිවරණය සදහා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතුව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.
ඒ, ඊයේ දිනයේදී එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙන්ම විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් කළ විමසීමකදියි.
එම සාකච්ඡාවේදී එකඟතාවට පැමිණ ඇත්තේ ඉදිරි මහමැතිවරණයට සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ තරඟ කිරීමටයි.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ කියා සිටියේ සිය පක්ෂය තවමත් එවැනි තීරණයකට පැමිණ නොමැති බවයි.
සුළු පක්ෂවලට එක්සත් ජාතික පක්ෂය පාලනය කිරීමට ඉඩ නොදෙන බව ද ඔහු සඳහන් කළා.
මේ අතර, පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පෙරේදා පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම විසඳුමකින් තොරව අවසන් වුණා.
එසේම, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කථානායක කරූ ජයසූරිය අතර හමුවක් පැවැත්වීමටද එහිදී තීරණය වූ බවයි වාර්තා වන්නේ.
මෙම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා පස්වරුවේ ආරම්භ වුණා.
පැය 03 කට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාවේදී නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට හැකි වී නොමැති අතර, බොහෝ මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් පළ නොකරම පිටව යාම විශේෂත්වයක්.