ආන්දෝලනාත්මක සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇපමත මුදා හැරීමට ගත් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබුණා.
ඒ අනුව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ද අද පෙරවරු 10.00ට පමණ අධිකරණයට පැමිණියා.
මෙම නඩුවේ වගඋත්තරකරු වන රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක සිටියදී මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එහි සාක්ෂි ලබාදීමට ගොස් ඇති බැවින් ඔහු ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීමට විරෝධතා පවතින්නේ ද යන්න පළමුව සොයා බැලීමට අංක 1 මහාධිකරණය වෙත යොමු කෙරුණා.
විනිසුරු වික්‍රම් කලුආරච්චි මහතා ඉදිරියේ එහිදී දෙපාර්ශ්වයම සඳහන් කළේ මංජුල තිලකරත්න විනිසුරුවරයා ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීමට විරෝධතාවක් නොමැති බවයි.
ඒ අනුව නඩුව මහාධිකරණ අංක 7 හි විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ පෙත්සම සලකා බැලුණා.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ වගඋත්තරකරු වන රාජිත සේනාරත්න ජනාධිපතිවරණ සමයේදී අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනු ලැබූවේ ප්‍රචාරක කටයුතු අවසන්වීමට දින 3ක් තිබියදී එනම් ප්‍රතිවාදී අපේක්ෂකයාට ඊට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වන පරිදි බවයි.
මෙම නඩුවේ පළමු සහ දෙවන වගඋත්තරකරුවන් වන සරත් කුමාර සහ අතුල සංජීව මදනායක දෙදෙනා ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගිවීමට ප්‍රථම එවක අමාත්‍යවරයෙකු වූ රාජිත සේනාරත්නගේ නිල නිවසේදී පුහුණු වී ඇති බවටද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට සඳහන් කළා.
ඔහු අධිකරණය හමුවේ අවධාරණය කර කියා සිටියේ ලංකා ඉතිහාසයේ බන්ධනාගාර භාරයට පත් වූ පුද්ගලයෙකු රෝහල් ගතවීමකදී අධිකරණ වෛද්‍ය වාර්තාවක් නොමැතිව ඇප හිමි වූ පළමු නඩුව මෙය විය හැකි බවයි.
මෙම නඩුවට අදාළව ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන් 2016-3-6 වන දින නිකුත් කරන ලද සායනික වාර්තාවක් පමණක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු අධිකරණය හමුවේ කියා සිටියා.
බන්ධනාගාර අධිකාරීවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට අවස්ථා කිහිපයකදී අධිකරණයෙන් ඉල්ලීම් කළ ද ඇප ලබාදීමේදී ඒ කිසිවක් මහේස්ත්‍රාත්වරියගේ අවධානයට යොමුවී නොමැති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළා.
අවම වශයෙන් වෙදමහත්මයෙකුගේ තුණ්ඩු කැබැල්ලක්වත් මෙම නඩුවට අදාළව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉදිරිපත් වී නොමැති පසුබිමක ලංකා රෝහලේ වෛද්‍යවරුන් අධිකරණයට ඉහළින් සිටින ආකාරයට කටයුතු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.
ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා දින 18ක් රෝහල් ගතව සිට ඉන් පිටවූවාට පසුවවත් ඔහු පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය කටයුතු කර නොමැති බවයි.
ඒ අනුව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරිය ගත් නියෝගය අවලංගු කරමින් මෙම නඩුව මඟින් අනෙකුත් මහේස්ත්‍රාත්වරුන්ටද නෛතික පණිවිඩයක් ලබාදෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
වගඋත්තරකාර රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මහේස්ත්‍රාත්වරියට ඇප ලබාදීමේ බලයක් ඇති බැවින් නඩුවේ සිද්ධිමය කරුණු වැදගත් නොවන බවයි.
ඒ අනුව ඇප පනතේ 14 වන වගන්තිය උල්ලංඝනය වූවාද යන්න පිළිබඳව පමණක් අවධානය යොමුකළ යුතු බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
එහිදී විනිසුරු මංජුල තිලකරත්න මහතා ප්‍රශ්න කළේ මෙම නඩුවට අදාළව ඇප පනතේ 14 වන වගන්තිය පිළිබඳව පමණක් සලකා බැලීම ප්‍රමාණවත් ද යන්නයි.
කෙසේ වෙතත්, වගඋත්තරකාර රාජිත සේනාරත්න අවස්ථා කිහිපයකදී අධිකරණය හමුවේ පෙනී සිට ඇති බැවින් ඔහුට අධිකරණය මඟහැරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
කරුණු සලකා බැලූ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප්‍රකාශ කළේ ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 21 වැනිදා ප්‍රකාශ කරන බවයි. VIDEO