එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියවුවෙන් දක්ෂතා දක්වන ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් (Ben Stokes) වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තේරී පත් වී තිබේ.
ඔහු එසේ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානයෙන් පිදුම් ලබන්නේ අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන වසරේ දක්ෂතම ක්‍රීඩකයන්ට වාර්ෂික සම්මාන පිදෙන උළෙලේදීය.
වසරේ දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් (Pat Cummins) සම්මාන ලබන අතර, දක්ෂතම එක් දින ක්‍රීඩකයා ලෙස තේරී තිබෙන්නේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු රෝහිත් ශර්මාය. (Rohit Sharma)
ඉන්දීය කණ්ඩායමේ දීපක් චහාර් (Deepak Chahar) වසරේ දක්ෂතම විස්සයි විස්ස ක්‍රීඩකයාය.
අයිසීසී සම්මාන මඬුල්ලේ (ICC Voting Academy) තීරණය ප්‍රකාර, ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මානුස් ලබුශේන් (Marnus Labuschagne) පසුගිය වසරේ දක්ෂතම නැගී එන ක්‍රීඩකයා වන අතර, ස්කොට්ලන්ත කණ්ඩායමේ කයිල් කර්ට්සර් (Kyle Coetzer) පූර්ණ සාමාජිකත්වය අහිමි සාමාජික රටවල දක්ෂතම ක්‍රීඩකයාය.
මෙම ක්‍රීඩකයන් තෝරාගනු ලබන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන සියලු රටවල් සහ ආශ්‍රිත සාමාජිකත්වය දරන රටවල් ද නියෝජනය වන පරිදි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රීඩා විචාරකයන් සහ ක්‍රීඩා මාධ්‍යවේදීන් හතලිහකට ආසන්න පිරිසකගෙන් සමන්විත අයිසීසී සම්මාන මඬුල්ලේ බහුතර ඡන්දයෙනි.
වසරේ දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම:
මයන්ක් අගර්වාල් (ඉන්දියාව)
ටොම් ලැතම් (නවසීලන්තය)
මානුස් ලබුශේන් (ඔස්ට්‍රේලියාව)
විරාත් කෝලි (නායක - ඉන්දියාව)
ස්ටීව් ස්මිත් (ඔස්ට්‍රේලියාව)
බෙන් ස්ටෝක්ස් (එංගලන්තය)
බ්‍රඩ්ලි ජෝන් වොට්ලින් (කඩුලු රකින - නවසීලන්තය)
පැට් කමින්ස් (ඔස්ට්‍රේලියාව)
මිෂෙල් ස්ටාක් (ඔස්ට්‍රේලියාව)
නීල් වාග්නර් (නවසීලන්තය)
නේතන් ලියොන් (ඔස්ට්‍රේලියාව)
වසරේ දක්ෂතම එක් දින කණ්ඩායම
රෝහිත් ශර්මා (ඉන්දියාව)
ශායි හෝප් (බටහිර ඉන්දීය කොදෙවු)
විරාත් කෝලි (නායක - ඉන්දියාව)
බාබර් අසාම් (පාකිස්තානය)
කේන් විලියම්සන් (නවසීලන්තය)
බෙන් ස්ටෝක්ස් (එංගලන්තය)
ජොස් බට්ලර් (කඩුලු රකින - එංගලන්තය)
මිෂෙල් ස්ටාක් (ඔස්ට්‍රේලියාව)
ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය)
මොහමඩ් ශාමි (ඉන්දියාව)
කුල්දීප් යාදව් (ඉන්දියාව)
මේ වසරේ තෝරා ගනු ලැබූ කිසිදු කණ්ඩායමකට, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු තේරී නොමැත.