අපි තුන් ඉරියව්වෙන්ම අසාර්ථක වුණා......
කොහොම වුණත් අපේ ප්‍රේක්ෂකයන් සන්සුන්ව සිටිය යුතුයි......
මුම්බායි හි පැවැති පළමු එක්දින තරගයෙන් සත්කාරක ඉන්දියානුවන් ලබාගත් ලකුණු 255 ක ඉලක්කය කිසිවකු නොදැවී ලබාගත් ඔස්ට්‍රේලියානුවන් තරගාවලිය ආරම්භයේදීම 1-0 ක් වශයෙන් පෙරමුණ ගත්තේය. ‘අපි හොඳට ක්‍රීඩා කළේ නැති නිසා ඔවුන් අපිව රිදෙව්වා. ’’ යැයි ඉන්දියානු නායක විරාට් කෝලි තරගයෙන් පසුව පැවසීය.
‘‘අපි තුන් ඉරියව්වෙන්ම අසාර්ථක වුණා. ඕස්ට්‍රේලියාව ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක්. ඔවුන් අපිව හැම අංශයකින්ම අභිබවා ගියා. අපි ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට ඉතාමත් ගෞරවයෙන් යුතුව ක්‍රීඩා කළත් ජාත්‍යන්තර ක්‍රීඩාව සැම විටම එකම තත්ත්වයේ තිබෙන්නේ නැහැ.
ඕනෑම තරග ආකෘතියක පළපුරුද්ද සහ අවස්ථාව අනුව හැඩ ගැසිය යුතුයි. අපේ මැද පෙළ පිතිකරුවන් ජයග්‍රාහී පිතිකරණයක නිරත විය යුතුයි. කොහොම වුණත් අපේ ප්‍රේක්ෂකයන් සන්සුන්ව සිටිය යුතුයි. නමුත් මෙම තරගයේදී මම එහෙම දෙයක් දැක්කෙ නැහැ. ’’ යැයි කෝලි වැඩිදුරටත් පවසයි.
ශතකයක් (128) ලබා ගත් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පවසන්නේ තමන් ඉතාමත් වෙහෙස මහන්සි වී ශරීර යෝග්‍යතාව වෙනුවෙන් කැපවන බැවින් හැම විටම ලකුණු ලබා ගැනීමේ පිපාසයකින් පෙළෙන බවයි. ‘‘මම පොඩි කාලයේ පන්දු රැකීමට සහ පිහිනීමට කැමැත්තක් දැක්වුවා. දැන් මගේ ශක්තිය ගැන වගබලා ගැනීමට මගේ බිරිඳට විශාල කාර්යභාරයක් තියෙනවා. කොහොම වුණත් අපේ වේග පන්දු යවන්නන් ඉන්දියානු කණ්ඩායම ලකුණු 255 කට සීමා කරපු වෙලාවේ පවර් ප්ලේ අවස්ථාව ආරක්ෂා කර ගැනීම තමයි මට තිබුණ වගකීම. ඒත් මම දැනගෙන හිටියා ඉවර වෙනකම් ක්‍රීඩා කළොත් අපි දිනන බව. ’’
ඕස්ට්‍රේලියානු නායක ඒරොන් ෆින්ච් පවසා සිටියේ ඉන්දියානුවන්ගෙ මව්බිමේදී ඔවුන්ව පරාජය කිරීම ඉතාමත් විශිෂ්ට දෙයක් බවත් තම ආරම්භක පිතිකරු සඟයා වන ඬේවිඞ් වෝනර් ඉතාමත් හොඳින් සිය පිතිකරණ හැකියාව දිගින් දිගටම පවත්වාගෙන යන බවයි.