රටේ මිනිසුන් එක් පැත්තකින් අලි ඇතුන්ගෙන් පීඩා විඳින විට මාතර මිනිස්සු එලෙසින්ම කිඹුල් උවදුරෙන් පීඩා විඳිති. එයද මාතරට විශාල ප්‍රශ්නයකි. කිඹුල් ප්‍රශ්නයටද මෙතෙක් විසඳුම් නැත.
මාතර නිල්වලා ගඟ මාතර මිනිසුන්ගේ ජීවිත පෝෂණය කළේ වසර දහස් ගණනක සිටය. ඒ කෘෂි කර්මාන්තය හා ධීවර කර්මාන්තය පෙරදැරි කරගෙනය. මේ වනවිට කුඹුරට ගිය ගොවියාද මසුන් මරන්නට ගිය ධීවරයාද නිවෙසින් පිටත්ව ගිය පසු නැවත ආපසු නිවෙසට පැමිණීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.
ඒ කුඹුරට ගිය ගොවියා මෙන්ම ධීවර කටයුතුවලට නිල්වලා ගඟ හෝ අතු ගංගා හෝ වගුරු ප්‍රදේශවලට ගිය පසු ඔහු එනතෙක් දෑස නොපියා බලා සිටින කිඹුලාගේ ගොදුර වූ හෙයිනි. මේ තත්ත්වය බොහෝ අතීතයේ මෙතරම් නොවූ බව එම ප්‍රදේශවල ජීවත් වන වැඩිහිටියෝ පවසති.
දිනෙන් දින කිඹුල් ගහනය වර්ධනය වීමත් සමඟ මෙම තත්ත්වය උග්‍ර වී පවතී. මාතර කද්දුව, වැල්ලෙතොට, තොටමුණ, බණ්ඩත්තර, තිහගොඩ, කඹුරුපිටිය, බලකාවල, අත්තුඩාව වැනි ප්‍රදේශ මේ වනවිට කිඹුල් උවදුරෙන් අනාරක්ෂිතය.
මේ වනවිට ජීවිත 11ක් පමණ මෑත කාලයේ කිඹුලන් විසින් ඩැහැගෙන යනු ලැබ හමාරය.
ඒ කිඹුලාට හසුවීමෙන් නැවත ජීවත්වීමේ අයිතිය ඔහුට සදහටම අහිමි වන බැවිනි.
එහෙත් ජීවිත හයක් ජීවත් කරවන්නට ජීවන අරගලය කිඹුල් අරගලයට යට නොවී ජය ගන්නට වෙර දැරූ මිනිසකුගේ කතාන්දරයක් කිඹුල් උවදුරත් සමඟ ඇසෙන්නට වූයේ මාලිම්බඩ ප්‍රදේශයෙනි.
ජීවන අරගලය ජය ගැනීමට ධීවර රැකියාවේ නිරත මෙම පුද්ගලයා පුරා පැයකට අධික කාලයක් කිඹුලකු සමඟ ජීවිතයේ අවසන් හුස්ම රැකගැනීමට සටන් වැදුණු අයුරුයි මේ.
ඔහු නමින් ධර්මදාස අබේසේකරය. වයස අවුරුදු 39ක් වූ සිවු දරු පියෙකි. ඔහුගේ පදිංචිය මාලිම්බඩ, පාලටුව, අලවත්තහේන පදිංචිකරුවෙකි. රැකියාව ලෙස කුඩා කල සිටම තම ප්‍රදේශයේ මිරිදිය මසුන් අල්ලා ජීවත් වූ ධීවරයෙකි.
ඔහු තමා අත්දුටු බිහිසුණු කතාව මෙසේ දිග හැරියේය.
"මම ධර්මදාස අබේසේකර. මට දරුවන් හතරදෙනෙක් ඉන්නවා. මම පුංචි කාලේ ඉඳලම මේ ප්‍රදේශයේම ධීවර කටයුතු තමයි කළේ..."
"පසුගිය දවසක මම ධීවර කටයුතු සඳහා මේ ප්‍රදේශයේම ඉඟුරුගහ පන්සල ප්‍රදේශයට ගියා. එය නිමවී මම සවස 5ට විතර වැටකේ මලක් කඩාගන්න වැටකේ පඳුරක් ළඟට ගියා. ඒ නිල්වලා ගඟෙන් යන අත්තක්. එම ප්‍රදේශයේ තියෙනවා තල්ගහගොඩ කියලා තැනක්. එතැන තමයි වැටකේ පඳුර තියෙන්නේ. මම වැටකේ මලක් කඩන්න පඳුරේ අත්තක එල්ලුණා. ඒ එක්කම එක පාරටම වතුර දෙබෑ වන ශබ්දයක් ඇසුණා..."
"එතකොට මම එක පාරටම පිටිපස්ස හැරිලා බැලුවා. එක පාරටම ලොකු කටක් එනවා විතරයි මම දැක්කේ. මට කිඹුලා කියලා එක වරටම මතක් වුණා. මගේ බඩ ප්‍රදේශයෙන් තමයි කිඹුලා අල්ලා ගත්තේ. එක පාරටම කරණමක් ගහලා වතුරට පැන්නා. වතුරට පැනලා වතුර යටින් මාව අෑතට අරගෙන ගියා. මීටර් 500ක් විතර වතුර යටින් අරගෙන ගිහින් එක වරම වතුර මතුපිටට මතුවුණා. මට වතුර හොඳට පුරුදුයි. ඉස්සර වැලි ගොඩ දාන කාලේ විනාඩි 20ක් විතර වතුර යට ඉන්නවා. ඊට පස්සේ කිඹුලා එක වරම මම උඩට විසි කළා..."
"එතකොට මම එකවරම කිඹුලා බදාගත්තා. බාදා ගත්තට පස්සේ කිඹුලාගේ බෙල්ලෙන් අල්ලාගෙන කට ඇදගෙන මම පොර කෑවා. එකවරම මගේ අත කිඹුලාගේ කටට අහුවුණා. අනෙක් අතින් කිඹුලාගේ බෙල්ලට දාලා බදා ගත්තා. උගේ ඉස්සරහ තියෙනවා ලොකු මොල්ලියක් වගේ එකක්. මම ඒක කටින් විකුවා. එතකොට කිඹුලා රවුම් හත අටක්ම පෙරළෙන්න පටන් ගත්තා මාවත් එක්ක. ඌ ගස ගස ගඟම දෙවනත් වෙනකම් දැඟලුවා. උෟ ගසලා ගසලා උෟට මගෙන් අතෑරවගන්න තමයි ඕන වුණේ..."
"එක පාරටම මාව විසික් වුණා. ඉවුරට පැනලා මම දිව්වා ඒ එක්කම. මට හරියට දුවන්න බෑ. අත් දෙකත් බිම ගහගෙන කකුල් දෙකත් බිම ගහගෙන සතෙක් දුවනවා වගේ තමයි දිව්වේ. ඒ එක්කම කිඹුලා ආයෙත් මගේ පසුපස හඹා ආවා. ඒ වනවිට වාහනයක ආපු පිරිසක් කෑ ගැහුවා, අන්න මිනිහකුගේ පස්සෙන් කිඹුලෙක් එළවනවා කියලා. මිනිස්සු කෑ ගහන කොට කිඹුලා ආපහු හැරිලා වතුරට පැන්නා..."
"මගේ සරම ගැලවිලා ගඟේදීම. නිරුවත්ව තමයි මම මෙහෙම දිව්වේ. පස්සේ ඒ වාහනය වෑන් එකක්. ඒකේ තිබුණු බෙඩ් සීට් එකක් ගෙනැල්ලා මට අන්දලා වෑන් එකෙන් මාතර මහ රෝහලට ගෙනාවා. මට විටින් විට සිහිය මඳ ගතියක් ආවත් සිහිය නැති වුණේ නෑ. මාතර මහ රෝහලේ 5 වාට්ටුවේ ප්‍රතිකාර ලැබුවා..."
"මට සැත්කමක් කළා. මගේ බඩ ප්‍රදේශය තමයි කිඹුලාගේ කටට අහුවුණේ. මෙන්න බලන්න මහත්තයෝ තුවාල තවම හොඳ නෑ. ඉණෙන් යට ප්‍රදේශයේ විශාල ලෙස තුවාල වෙලා. රෝහලෙන් මැහුම් 40කට වැඩිය ගහලා..."
"මගේ අත කිඹුලාගේ කටට දාගෙන හිටියේ. අත බේරගන්න මම සෑහෙන දැඟලිල්ලක් කළා. එකවරම අත කටින් නිදහස් වුණේ කිඹුලාගේ දතකුත් ගලවාගෙන. මගේ අත ඇතුළේ කිඹුලාගේ අඟල් දෙකක් විතර විශාල දතක් තිබුණා. ඒක ඔපරේෂන් කරලා දවස් තුනකට පස්සේ තමයි ගත්තේ. මෙන්න බලන්න මහත්තයෝ මේ X - Ray කොපිවල දත තියෙනවා හොඳට පේනවා..."
ඔහු පෙන්වූ X - Ray කොපියේ එවැන්නක් ඉතා පැහැදිලිව පෙනෙන අතර වෛද්‍ය වාර්තාවලද සඳහන් වේ.
මේ වනවිට ඔහු සදාකාලික ආබාධිතයකු වී හමාරය. ඔහුගේ ජීවිත කතාවේ වේදනාත්මක කතාව ආරම්භ වන්නේ ඉන්පසුවය. ඒ වේදනාව ඔහුගේ බිරිය මෙසේ පැවැසුවාය.
"මම කාන්ති වර්ණකුලසූරිය. මගේ වයස අවුරුදු 38යි. මහත්තයටත් මටත් පොඩි දරුවෝ හතරදෙනෙක් ඉන්නවා. මේ දරුවෝ කාලා ඇඳලා හිටියේ මගේ මහත්තයා කරන සුළු ධීවර රැකියාවෙන්. අපි ඉතාමත් සතුටින් හිටියා. දවසට රුපියල් 1000ක පමණ මාළු අල්ලාගෙන විකුණලා ඒ මුදලින් තමයි අපි කෑවේ බිව්වේ, දරුවන්ට ඉගැන්නුවේ, ගෙදර වතුර බිල්, ලයිට් බිල් ගෙව්වේ. ඒත් දැන් මහත්තයා ආබාධිතයෙක් වෙලා. එයාට වැඩක් කරන්න බැහැ. මේ දරුවන්ට පාසල් උපකරණ ටික අරන් දෙන්න විතරක් නෙවෙයි, ආහාර පාන පවා මේ වනවිට දෙන්න බැරි තත්ත්වයකට පත්ව අපි අසරණ වෙලා. දරුවන් හතර දෙනෙක් ඉන්නවා. ඉන් තිදෙනෙක් ගැහැනු දරුවන්. මේ දරුවන්ට උගන්වන්න ඕනෑම කාලයේදී දරුවන්ගේ පියා මෙහෙම ආබාධිත වීම අපේ පවුලට සිදුවුණු දරාගත නොහැකි අසරණකමක්..."
"අපේ ගෙදරට ලයිට් බිල් ගේන මහත්තුරු අපිට අනුකම්පා කරනවා. ඒත් ඉතින් අද වෙනකොට එකතුවෙලා තියෙන ලයිට් බිල්වල හිඟ මුදල රුපියල් 9000කට වැඩියි. අපේ අසරණකම නිසාම ඒ මහත්වරුත් ලයිට් කපන්නේ නැතුව යනවා..."
"මේ ගැන වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පොරොන්දු වූ පරිදි වන්දි මුදල ලබාදෙන්න කියලා. එහෙම වුණොත් මේ දරුවන්ට නොකා නොබී හරි උගන්වන්න පුළුවන්. අපිට තියෙන එකම සරණ තමයි මේ දරුවන්ට උගන්වලා දරුවන්ගේ ජීවිත මේ අඳුරෙන් බේරාගන්න එක..." වනජීවී ආයතනයෙන් එවා ඇති ලිපි ඇය ඉදිරිපත් කළාය.
මේ පිළිබඳ ගම්මුන් පැවැසුවේ දැනට බොහෝ කාලයක සිට මේ ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන බරපතළ ගැටලුවක් වී ඇත්තේ කිඹුල් උවදුරය.
"දරුවන් අලුයම පාසල් යවන්න බයයි. ඒ වගේම මෙම ප්‍රදේශයේ ජීවත් වන බොහෝදෙනකු කිරි ගොවියන්. ගවයන් අරගෙන ගං ඉවුර දෙසට යන්න බෑ. කිඹුල්ලු මොන වෙලාවේ ඩැහැගනීද දන්නේ නෑ. ඒ වගේම මේ ප්‍රදේශයේ සුනඛයන් දවසින් දවස අතුරුදන් වෙනවා. ඊට හේතුව කිඹුලන් ගොඩට පැමිණ උන් රැගෙන යනවා. ඒ වගේම දිය නාන්න හදපු නාන කොටු ඔක්කොම වගේ යටින් ඒ දැල් දිරලා. මිනිස්සු විශ්වාසයෙන් ඒ තැන්වල නානවා. දන්නෙම නැතුව කිඹුල්ලු ඒවා ඇතුළට එනවා. මේ ගැන බලධාරීන් කාලයෙන් කාලයට විසඳුම් කියනවා. හැබැයි මේ වනතෙක් ඉටු කරලා නෑ.."