පසුගිය දිනෙක ඇය විසින් දුවා දරුවන් පිරිසක් අමතා කළ සංවේදී කතාවකට මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
මේ ඇය විසින් පැවසූ ඇගේ කතාව ගැනයි.
"ඇත්තටම මම මෙතන මාව මේ නැටුම් කණ්ඩායමක් එක්ක බෙර ගහලා පිළිගන්නකොටත් මට හිතුණා ඇත්තටම කොහොමද මම මේ ජිවිත ගමන පටන් ගන්නේ? කොහොමද මම මේ දේවල් දුවලා පුතාලට කියන්නේ..? ආදරණීය දෙමව්පියන්ට කොහොමද මම මගේ අම්මයි තාත්තයි ගැන කියන්නේ. ඇත්තටම දුවේ පුතේ. අපි ආවේ මල් ගොඩේ නෙවෙයි, අමාරුවෙන්. ඇත්තටම මම මගේ කතාව ගොනු කරන්න හදනවා දූලා පුතාලට ආදර්ශයක් ලබා දෙන්න..."
"මගේ තාත්තා ඇඳුම් මහන්නෙක්. තාත්තා වැඩ කළේ කොළඹ සමාගමක. අපි නව දෙනෙකුගෙත් යුක්ත පවුලක දරිද්‍රතාවයෙන් අන්ත අසරණ වුණු පවුලක් අපි. අපි ගමේ ඉඳලා කොටහේනේ ගෙවල්වලට ඇවිල්ලා දුක් වින්ඳා. මගේ තාත්තා ඉතා ශක්තිසම්පන්න පියෙක්. එතුමා සුමානේ පඩිය ගත්තේ. ඒක අරන් සුමානෙට දේවල් සැලසුම් කළා. ඒ නිසා මැරෙනකන්ම එයා සතපහක් ණය වුණේ නෑ කොච්චර දුප්පත් වුණත්..."
"අපි ඉගෙන ගත්තේ කොටහේන ගුණානන්ද විද්‍යාලයේ. අපේ දක්ෂතාවයින් අඳුනගන්න අම්මට තාත්තට කාලයක් නැතිවුණා. ඒගොල්ලට තිබුණේ අපිට කන්න බොන්න දෙන්නෙ කොහොමද කියන එක හොයන්න විතරමයි. ඉතින්.. මම කොටහේන ගුණානන්ද විද්‍යාලයේ එක එක දේවල්වල දක්ෂතා පෙන්නුවා. මට මතකයි මගේ පන්තිභාර ගුරුතුමියක් හිටියා, එන්. මාගරට් පෙරේරා ගුරුතුමී. එතුමිය තමයි මාව ගුවන්විදුලි මණ්ඩපයට එක්කන් ගියේ. ඒ 1953 දී..."
"මම දැන් මෙහෙම හිටියට අවුරුදු 76කුත් ඉවරයි වයස. ඒ ටීචම මට ඇඳුම් හදලා දුන්නා. අපිට තිබුණේ නෑ හොඳ සපත්තු. තාත්තට වත්කමක් තිබුණේ නෑ ඒවා අරන් දෙන්න. ඒ කාලේ තිබ්බා කට්ටා සෙරප්පු කියලා ජාතියක්. සත තිහයි. සත පනහයි. සත හැට තමා වැඩිම එක. මම දාගෙන ගියේ කට්ටා සෙරප්පු. මම එනකොට චකස් චකස් ගාලා සද්දෙ ඇහෙනවනේ. ඔන්න කට්ටයා එනවා කියනවා..."
"තාම ඉන්නවා මගේ යාළුවෝ, 'හැලෝ කට්ටයා' කියලා මට කතා කරන අය. ඉතින් ඔහොම ගුවන් විදුලියට ගිහිල්ලා කරුණාරත්න අබේසේකර අයියට මාව භාරදුන්නා. ඒ කාලේ දක්ෂතාවයක් තියන අයව භාර දෙන්න පුළුවන්. වසර 76ක් පහුවුණාට මට මගේ අතීතේ හොඳට මතකයි. ටීච කරූ අයියට කිව්වා, 'සර් මේ ළමයා අපේ ඉස්කෝලේ බොහෝම දක්ෂ ළමයෙක්. හරි දුප්පත්. මෙයාට පුළුවන් නම් උදව් කරන්න... කිව්වා. එක දවසක් අවස්ථාවක් දුන්නා.
'ඔබගේ පාමුල සඳුන් ගසක් වී
බුදු සාදු.. බුදු සාදු....
මම සමන් වැලක් වෙන්නම්..' කියලා කිව්වා.
"එතකොට මට අවුරුදු දහයයි. අවුරුදු හතරක් ළමා මණ්ඩපේ මම හිටියා. ඔහොම ඉන්නකොට අමරදේව සර් ගුවන්විදුලියේ වැඩ. එතුමා අපි සිංදු කියනවා බලන්න එනවා. ඔහොම ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවැනි වර්ණ චිත්‍රපටිය. 1962, 1964 චිත්‍රපටිය ආවට අපි 62 තමයි සිංදු කිව්වේ. එතුමාට හම්බුණ පළවැනි චිත්‍රපටියට කිසිම කෙනෙක් දන් නැති මාව ගීත ගායනා කරන්න තෝරගත්තා..."
"අදත් ගුවන් විදුලියේ තියෙන්නෙ එදා පටිගත කිරීම. ඔහොම ඉන්නකොට, ගුවන් විදුලියට එකතු වුණා අද කාලේ වගේ රියැලිටි ෂෝ එකක්. තරඟයක් තිබුණා. ඒ තරඟයට වට දෙක තුනකින්ම ඉදිරිපත් වෙලා අන්තිමට තරඟ කළා මමයි වික්ටර් රත්නායකයි. මම දින්නා. මම එක. වික්ටර් රත්නායක දෙක. දිනුවට පස්සෙ පළවැනියාට බොම්බායට යන්න අවස්ථාවක් ලැබෙනවා..."
"ඉතින් එතකොට මට ටිකක් මොළේ තිබ්බා. මම තාත්තට කිව්වා, 'අපිට මොන බොම්බායක්ද අපිට යන්න දන්නෙත් නෑ. අපි ගිහිල්ලා යන වියදම ඒ මහත්වරුන්ගේ ඉල්ලමු' කියලා. මමයි තාත්තයි ඒ ආයතනයට ගියා. කොටුවේ ඔරලෝසු කණුව ළඟට. ගිහිල්ලා ඉතින් මමම තමයි පැනලා කිව්වේ. 'මහත්තයා අපිට බොම්බායට යන්න අපි දන්නෑ. අපි හරිම දුප්පත්, පුළුවන් නම් සල්ලි දෙන්න' කියලා. ඉතින් අපිට සල්ලි ලැබුණා. කීයක්ද කියලා නම් මතක නැහැ. ඉතින් මම තාත්තට කිව්වා, 'අපි හොඳට කමු' කියලා. ඉතින් අපි කඩයකින් කෑවා. මට හොඳට මතකයි, එළවළු රොටියක් කාලා සරුවත් බිව්වා. මාර ආසයි. අයිස් දාලා හදපු සරුවත්..."
"තාත්තා ටේලර් කෙනෙක්නේ. තාත්තා මහන ඇඳුම් මදින්නේ අඟුරු ඉස්තිරික්කෙන්. දැන් කාලේ නම් ඒවාත් නෑ. අඟුරු අරන් එනවා සල්ලිවලට. තාත්තා ඕකට පිඹිනවා ගින්දර එන්න. තාත්තාගේ ඇඟ හැමතැනම කුඩු යනවා. හරි දුකයි ඒක බලන්න. මම කිව්වා තාත්තට ඉස්තිරික්කයක් ගමු කියලා. තාත්තා කිව්වා උඹට පිස්සුද ගේ ලයිටුත් නෑ කියලා. මම කිව්වා, ලයිටුත් ගමු. ඉතින් ඒ සල්ලිවලින් ලයිටුත් ගත්තා. තාත්තට ඉස්තිරික්කයකුත් ගත්තා. සුමාන දෙකකට කන්න ගෙනාවා කෑම. පස්සෙ තාත්තට උණුවතුර බෝතලයක් ගත්තා. තාත්තා රෑ වෙනකන් වැඩනේ. ඔහොමයි අපේ ජිවිතේ ගෙවුණේ. හරිම දුක්ඛදායකයි..."
"තාත්තා කෝට් මහලා ඉතිරි සමහර කෑලි වලින් මහලා මට තමයි කියන්නේ කාට හරි පොඩි එකෙක්ට දීලා විකුණගෙන එන්න කියලා. එහෙම ගෙවල් ගානේ ගියාට අපිව ගෙටවත් ගත්තේ නෑ ඒ අය. 'මහත්තයා, මේක තමයි හොඳම රෙද්ද. හොඳම බොත්තම්' කියලා අපි ඒවා විකුණනවා. අපේ පවුලේ සේරම ඉගෙන ගත්තා. මට අද බොහෝම අමාරුයි ඉංග්‍රීසි. මගේ අයියා නම් හොඳ ඉංග්‍රීසිකාරයා. මමයි අක්කායි තව නංගි කෙනෙකුයි ගුණානන්ද විද්‍යාලයේ. අපිට අපේ ගුරුවරු හොඳ සිරිත් විරිත් ඉගැන්නුවා. අපිට සැලකුවා..."
"ඇත්තටම හුඟක් අය අහනවා, මගේ ගීත කලාව මෙහෙම වෙනස් වුණේ කොහොමද කියලා. ඇඳුම මෙහෙම වෙනස් වුණේ ඇයි අහනවා. සරල වුණේ ඇයි අහනවා. අපි දැක්කා පන්ති පරතරයක්. උස් පහත් බේද දැක්කා. කන්න නැති මිනිස්සු දැක්කා. එයාලට සලකන විදිහ දැක්කා. උගත්කමට රැකියාවක් නැති හැටි දැක්කා. මේ හුඟක් දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා මගේ සරල ගී වැඩසටහන්වලට පවා මම කිව්වේ ඒ දේවල්. මම අත්දැකපු දේ තමයි හුඟක් ගෙනිච්චේ. සත්‍යයේ ගීතයෙන් කළේ ආදරයේ පැති ගොඩක් ගැන කතා කරපු එක..."
"මිනිත්තු දෙකේ තුනේ ගීතයකින් පුළුවන් හුඟක් දේවල් කියන්න. අපි වේලක් ඇර වේලක් කෑවේ. අපේ යාළුවෝ, පන්සලේ හාමුදුරුවෝ අපිට උදව් කළා. අපේ ජිවිතේ විශ්වවිද්‍යාල නොගියාට හුඟක් දේ ලබාගත්තා..."