"කවදාවත් නළුවකුගේ ඇඟෙන් ඔබගේ ජීවිතයට පෙලඹවීමක් ගන්න එපා. ඔහුගේ ඇත්ත ජීවන රටාවෙන් පෙලඹවීමක් ගන්න. ජෝන් ඒබ්‍රහම්ගේ වගේ ඇඟක් හදාගන්න උත්සාහ කරන්න. එහෙත් ඔයා ඔයාගේම කතාවේ වීරයා වෙන්න." සාමාන්‍යයෙන් නළුවෙක් නොකියන ඒ කතාව තාරුණයට කිව්වේ ජෝන් ඒබ්‍රහම්. ඔහු මෙලෙස කියන්නේ ඉන්දියානු සඟරාවකට තම ජීවිත කතාව පිළිබඳ පිටු ගණනක් පුරා ලීවේ ඔහුගේ වචනයෙන් ඔහුම ලියමින්.
බොහෝ අවස්ථාවල තාරුණ්‍යය ජනප්‍රිය පුද්ගලයන් අනුකරණය කරනවා වගේම අනුගමනය කරන්න ගොඩක් කැමැතියි. ඔවුන්ගේ විලාසිතා ගමන බිමන අනුකරණය කළත් ජනප්‍රියතාවට පත්වුණු පුද්ගලයන්ගේ සැබෑ සිතුම් පැතුම් සහ ජීවන දර්ශනයන් නියම තැනින් සමාජයේ බොහෝ දෙනකු අල්ලා නොගන්නා බවක් නම් පෙනෙනවා. එහෙත් ඕනෑම ක්ෂේත්‍රයක අංක එකේ චරිතයක් බවට පත්වුණු සෑම කෙනකුගේ ජීවිතයක් තුළම අපි පුදුම කරන වෙනස් කතාවක් තියෙනවා. ඉතිං අද කියන්නෙත් අන්න එහෙම කතාවක්. 2014 වසරේ දී "වසරේ නිර්මාණශිලීම ව්‍යවසායකයා" නම් සම්මානය සිනමා කර්මාන්තය වෙනුවෙන් දිනාගන්න ජෝන් ඒබ්‍රහම් සමත් වුණා. එහෙත් කිසිම මුද්‍රිත මාධ්‍යයක හෝ විද්‍යුත් මාධ්‍යයක ඕපාදූපයක් බවට එය පත් වුණේ නෑ.
ජෝන් ඒ තරම් දක්ෂ ව්‍යාපාරිකයකු වුණේ කොහොමද? එය පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ඔහුගේ සමස්ත ජීවන ගමන තුළම ව්‍යාපාරික ඥානය මනාව පිළිබිඹු කරනවා. එසේම අමිතාබ් බච්චන් වගේම ඔහුද බොලිවුඩයේ දැනට සිටින ඉහළ අධ්‍යාපන සුදුසුකම්වලින් පරිපූර්ණ නළුවකු බව සලකනවා. රිදී තිරයේ දකින ජෝන්ටත ඕපාදූප වැඩසටහන්වලට අදහස් දක්වන සීනි බෝල ජෝන් ඒබ්‍රහම්ටත් වඩා ඇත්ත ජොන් ඒබ්‍රහම් අංශක 180කින් වෙනස් බව ඔබ අද දැනගනියි. සැබැවින්ම ඔහු තුළ සමාජයේ කාටත් ගන්න පුළුවන් යමක් තියෙනවා.
"මමත් ගමෙන් ආව කෙනෙක්. ඒත් කවුරුත් දැන් මේවා විශ්වාස කරන්නේ නෑ. මගේ තාත්තා මලයානු ජාතිකයෙක්. මගේ මව පර්සියානු ජාතික කාන්තාවක්. මට මේ ලෝකයේ හමුවුණු අවංකම පුද්ගලයා තමයි මගේ තාත්තා. ඔහු අතිශයින්ම අවංකයි. මම සහ මගේ සහෝදරයා ඉතාම හොඳින් ඉගෙන ගත යුතුයි කියන මතයේ ඔහු දැඩිව හිටියා. ඒ වගේම අපි විනයවත් දරුවන් ලෙස හදන්න ඔහුට අවශ්‍ය වුණා. ඇත්තටම විනය ජීවිතයට පුරුදු කළේ මගේ අවංක තාත්තා. මම පොඩි පොඩි දේවල්වලදී පවා විනය රකිනවා. උදාහරණයක් ලෙස මම කවදාවත් පීට්සා වගේ ක්ෂණික ආහාර කන්නේ නෑ. ඒ වගේම මම හිතනවා පීට්සා කියන්නේ ශරීරයට අහිතකර කෑමක් කියලා. මම කන්නේ නැති නිසාම මගේ කණ්ඩායමත් දැන් පීට්සා කන්නේ නෑ. කය සහ මනස සියුම්ව පාලනය කරන්න විනය අවශ්‍යයි.
මම පාසල් ගියේ බස් එකෙන්. අපේ ගෙදරට කාර් එකක් තිබුණේ නෑ. එහෙත් මගේ පාසලේ බොහොමයක් යහළුවන් පාසල් ආවේ කාර්වලින්. ඒක නිසා මමත් මුරණ්ඩුකමට තාත්තාගෙන් කාර් එකක් ඉල්ලුවා. පුතේ අපිට දැන් කාර් ගන්න තරම් සල්ලි නෑ. ඔයා අනිත් මිනිසුන් වගේ සමාන්‍ය විදියට ජීවත් වෙන්න පුරුදු වෙන්න. එහෙත් මම ඔයාට කාර් එකක් ගන්න පුළුවන් වෙන විදියට උගන්වන්නම් කියලා ඔහු එදා කිව්වා. ප්‍රායෝගිකව ඕන කෙනකු කැමැතියි ලස්සනට ඇඳලා සැප පහසුවට ඉන්න. ඉතිං මමත් එහෙම හීන දැක්කා. සාමාන්‍ය පවුලක හීන රැසක් තියෙන ළමා කාලයක් ගත කරන්න ලැබීම සතුටක්. සෑම දෙයක්ම ලබාගන්න ඉගෙනීම වැදගත් බව මට වැටහුණා.
ඒ වගේම ඉගෙනීම ඉතාම අවශ්‍ය දෙයක් ලෙස තාත්තා සැලකුව නිසා ඉතා හොඳින් ඉගෙන ගත්තා. මම මගේ ප්‍රථම උපාධිය ආර්ථික විද්‍යාව සඳහා ගෞරව සාමාර්ථයක් සහිතව ලබාගත්තා. ඊට පස්සේ මම අලෙවිකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියක් කළා. ඒ වගේම පශ්චාත් කළමනාකරණ උපාධියක්ද ලබාගෙන තියෙනවා. මම පාසල් කාලයේ ඉඳන්ම පන්තියේ දක්ෂම 15 දෙනා අතර හිටියා. මම තවමත් නිරන්තරව බොහෝ දේවල් අධ්‍යයනය කරනවා. පොත් කියනවා.
මම පාසල් කාලයේදී ගොඩක් කෙට්ටුයි. ඒ වගේම මගේ බරත් අඩුයි. උසත් අඩුයි. අනිත් අතට මගේ මූණේ කුරුලෑ පිරිලා තිබුණා. මට තිබුණ ලොකුම මානසික වධය ඒක. නව යෞවනයේදී මුහුණ පුරා තැන් තැන්වල පිරුණු කුරුලෑ සුළු දෙයක් වුණත් ඒක මානසික වධයක් එක්කරනවා. ඔයාගේ මූණේ තියෙන කුරුලෑ ඔක්කොටම වඩා මම ඔයාට ආදරෙයි කියලා ගැහැනු ළමයෙක් දවසක් මට කිව්වා. මට එම වචනය දැඩිව බලපෑවා. ඔබ විශ්වාස නොකරයි මගේ මුහුණේ තිබුණු කුරුලෑ නිසා මම අඬලා තියෙනවා. මම ක්‍රිස්තියානි කෙනෙක්. ඒක නිසා මට මේ වගේ මූණක් දුන්නේ ඇයි කියලා මම දෙවියන්ගෙන් නිතරම අහපු අවස්ථා තියෙනවා.
මම ලස්සනයි කියලා මට හිතුණේම නෑ. එහෙත් මට ප්‍රසිද්ධ වීමේ සිහිනයක් සහ ජයග්‍රහණය කිරීමේ ගැඹුරු සිතිවිල්ලක් තිබුණා. ඉතිං මම හිතුවා මගේ පෙනුම තුළ මම නොදකින විශේෂ දෙයක් තියෙනවා කියලා. මම එම නිසා ශරීරය ගැන වඩ වඩාත් සැලැකිලිමත් වුණා. ඇඟ ලස්සනට හදා ගැනීම ඇත්තටම ලෙහෙසි දෙයක් නෙවෙයි. දවසක් මම කණ්ණාඩියෙන් මූණ බල බලා ඉද්දී තාත්තා ඇවිත් මොකද්ද ඔය කරන දේ කියලා ඇහුවා. තාත්තේ මම කවදාහරි මේ මූණ කෝටි ගණනකට විකුණනවා කියලා විහිළුවට කිව්වා. එම සිදුවීම මට අද වගේ මතකයි.
මම තරුණ කාලේ රැකියා කිහිපයක් කළා. මම වැඩ කළේ ඉගෙන ගන්න ගමන්. මුලින්ම කළේ විකුණුම් රස්සාවක්. ඊට පස්සේ මම දොරින් දොරට ගිහින් ඉලෙක්ට්‍රොනික් ටයිප් රයිටර්ස් විකුණුවා. ඊට පස්සේ මම මාධ්‍ය සැලැසුම්කරුවෙක් වශයෙන් දිගු කලක් වෙළෙඳ දැන්වීම් ආයතනයේ වැඩ කළා. ඔය කාලේදී තමයි මම නිරූපණ ශිල්පියෙක් වශයෙන් වැඩකරන්න පටන් ගත්තේ. මම නිරූපණ ක්ෂේත්‍රයේ දිගු ගමනක් ආවා. එහි ප්‍රතිඵලයක් ලෙස මට වයස 29දී තමයි ජීස්ම් කියන සිනමා පටයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ. එය මගේ ජීවිතය වෙනස් කළා. මාව මුලින්ම ක්ෂේත්‍රය දැනගත්තේ බිපාෂාගේ පෙම්වතා කියලා. එහෙත් කාලයක් යද්දී බිපාෂා කියන්නේ ජෝන්ගේ පෙම්වතිය ලෙස එය වෙනස් වුණා. මගේ සැබෑ නම ෆර්හාන් ඒබ්‍රහම්, ක්‍රිස්තියානි නිසා ජෝන් කියන නම අමතරව භාවිත කළා. මම ජෝන් කියන නම දිගටම යොදා ගන්න හිතුවා. සමහරු මට ෆර්හාන් ඛාන් කියන නම යොදන්න කිව්වා. මොකද අපේ රටේ ඛාන්ලා ප්‍රසිද්ධනේ. එහෙත් මම අර නම යොදා ගත්තා.
මට බොලිවුඩ් සිනමාව කියන නම වෙනස් කරන්න ඕන. එයට ඉන්දියානු සිනමා කර්මාන්තය කියන පුළුල් අරුත දෙන්න අවශ්‍යයි. අපි කොපි කරන්නේ නැතිව අපේම දේවල් නිර්මාණය කරන්න ඕන. හොලිවුඩයේ සිනමා තාක්ෂණය අපිට වඩා අලෝක වර්ෂ කිහිපයක් ඉදිරියේ තියෙන්නේ. තිත්ත වුණත් ඇත්ත ඒකයි. අපි අඩු මිලකට ගොඩක් ටිකට් විකුණනවා. අපි බිලියන 4.5ක අදායමක් ලබද්දී හොලිවුඩය ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක අදායමක් ලබනවා. අපේ රටේ නිර්මාණ තවත් නිර්මාණාත්මක වෙන්න ඕන. හැමදාම දකින බොළඳ සිනමාපට රැල්ලෙන් මිදෙන්න අවශ්‍යයි. ඒක නිසා තමයි මම නිෂ්පාදන සමාගමක් පටන් ගත්තේ. එමගින් තරමක් වෙනස් සිනමා නිර්මාණ කරන්න හැකියාව ලැබුණා. එසේම ජිම් සහ බ්ඒ නමින් ඩෙනිම් පෙළක් මගේ සමාගම හඳුන්වා දීලා තියෙනවා.
මට ලෝකයේ බොහෝ තැන්වල වටිනා ඉඩම් සහ නිවාස තියෙනවා. මම හිතනවා එවැනි වත්කම් රැස් කිරීම ඉතාම වැදගත්. මම නිවාඩුවකට කොහේ හරි ගියත් එම තැන මට ගන්න පුළුවන් නම් මම ගන්නවා. මම ආයෝජන අවස්ථා මඟහරින කෙනෙක් නෙවෙයි.
බොරු කියන්න ඕන නැහැ. මට සල්ලි ගොඩක් වැදගත්. මම ගැන වැරැදිවට හිතන්න එපා. මට මතකයි මගේ පශ්චාත් උපාධිය කරන සරසවියේදී මට ගැහැනු ළමයෙක් එක්ක ලොකු ප්‍රේම සම්බන්ධතාවක් ඒ කාලේ තිබුණා. එය විවාහය දක්වාම ගෙනියන්න මට අවශ්‍ය වුණා. ඔබ විශ්වාස නොකරයි. ඒ කාලේ මගේ බැංකු ගිණුමේ තිබුණේ රුපියල් 550ක් වගේ ඉතා සුළු මුදලක්. විවාහ වෙන්න ටිකක් කල් ඉන්න කියලා මම එයාට කිව්වා. ඇත්තටම ඇය හිටපු තත්ත්වය අනුව එයාට එහෙම ඉන්න බැරිවුණා. ඇය සාධාරණයි. මගේ සිහින සහ විවාහය අතර මම අතරමං වුණා. මට විවාහයක් කරගන්න සල්ලි තිබුණා නම් මම හිතනවා එහෙම වෙන්වීමක් සිද්ධ වෙන්නෙ නෑ කියලා. ඒක නිසා මට අදත් රුපියලක මුදල රුපියල් 1,000ක් වටිනවා. ඒ වගේම මම ඉතා අභිමානයෙන් කියනවා මම සත පහක වංචාවක් හෝ මූල්‍යය පාඩුවක් කාටවත් කරලා නෑ. මම කරන්න ඉඩ දෙන්නෙත් නැහැ.
මම කවදාවත් මවුපියන්ගෙන් ගත්ත මුදල්වලින් මට අවශ්‍ය කිසිම දෙයක් ගත්තේ නෑ. ඒ සියල්ල වියදම් කළේ අධ්‍යාපනයට. මම සල්ලිවලට බොහොම ගෞරව කරනවා. ඒක නිසා නාස්තිකාර වියදම් නම් කරන්නේ නෑ. ඒක ලෝභකම නෙවෙයි. මගේ අවශ්‍යතා සරලෙ. අද ගොඩක් තරුණ පිරිස මුදල්වල තියෙන වටිනාකම ගැන හිතන්නේ නෑ. ඔවුන් මවුපියන්ගේ මුදල් නිකරුණේ නාස්ති කරන බව පෙනෙනවා. මේකට මවුපියන් වග කියන්න අවශ්‍යයි.මම මේ වන විට ඉතා වටිනා වාහන භාවිත කරනවා. එහෙත් මම මුලින්ම ගත්ත පරණ ටාටා කාර් එක මගේ ළඟ තාමත් තියෙනවා. ඒ වගේම මම ඉතා වැදගත් අවස්ථාවකට යන්න රුපියල් 500කට ගත්ත සෙරෙප්පු දෙකත් තාම මගේ ළඟ තියෙනවා. ඒ දේවල් දිහා බලලා හරි මම ආව තැන අමතක නොකරන්න මම කැමැතියි.
මම බැන්දේ ටිකක් පරක්කු වෙලා, වයස 42දී. මට ස්ථාවර වෙන්න කාලයක් ගියා. එය ඉතාම සරල විවාහයක්. ඇත්තටම එහෙම ලොකු උත්සවයක් ගත්තෙත් නැහැ. ඇගේ නම ප්‍රියා රන්චොල්. ඇය මාව ගොඩක් තේරුම් ගත්ත සරල ආදරණීය බුද්ධිමත් තරුණියක්. ඇය වෘත්තීයෙන් ආයෝජන බැංකු කළමනාකාරිනියක් ඉස්සර බොහෝ දෙනා මාව දැක්කේ ස්ත්‍රී ලෝලියකු ලෙසයි. ඒක ඇත්තටම වැරැදියි. මම ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. මම ගැහැනු ළමයි සමඟ කතාබහ කරනවා තමයි. නමුත් මම එහෙම අනවශ්‍ය දේවල්වලට යොමුවෙලා නැහැ. ජනප්‍රිය බවට ස්ත්‍රීන් ගොඩක් කැමැතියි. ඔවුන් මම දැක්කාම හායි, හායි, ඊයි කියලා කෑ ගහනවා. ඔවුන් දක්වන ඒ ප්‍රතිචාර ආදරණීයයි. මම ඒවාට ගොඩක් කැමැතියි. එහෙත් වරක් ගැහැනු පිරිසක් මගේ ෂර්ට් එක ඉරලා මගේ ඇඟ දරුණු ලෙස හීරුවා. ඒවාට නම් මම හරිම අකැමැතියි.
එක එක දේවල් දහස් ගාණක් ඔළුවේ තියෙන ගැහැනු අයට මම කොහොමත් කැමැති නෑ. මට ඔවුන් තේරුම් ගන්න අවශ්‍යයත් නැහැ. මම කැමැතියි සරල ස්ත්‍රීන්ට. මේ ලෝකය තුළ ස්ත්‍රීන් ඉතාම සුවිශේෂයි. එහෙත් ඩොලර් ට්‍රිලියනයටවත් මම මගේ ලිංගිකත්වය මාරු කරන්නේ නම් නැහැ. බැරිවෙලාවත් මම රාජ්‍ය නායකයකු වුණොත් ගඩාෆි වගේ ස්ත්‍රී ආරක්ෂයන් තමයි තියාගන්නේ. මොකද ගැහැනු ඇත්තටම පිරිමින්ට වඩා ගොඩක් විශ්වාසවන්තයි
මම ක්ෂේත්‍රයට ආව කාලේ මාව වැටුණොත් අල්ලා ගන්න කවුරුවත් ඒ කාලයේ හිටියේ නැහැ. මගේ සාමාන්‍ය මවුපියන්ට මම වැටුණොත් එය දරාගත නොහැකියි. ඒක නිසා මම මේ ගමන ආවේ ඉතා ක්‍රමානුකුලව. ජනප්‍රියතාව සහ ධනය ඕනෑම මොහොතක නැතිවෙලා සාමාන්‍ය ලෙස ජීවත් වෙන්න වෙයි කියන මානසිකත්වයක් කෙනෙක්ට දියුණු වෙද්දී තියෙන්න අවශ්‍යයි. එතකොට කුමන ප්‍රශ්නයක් ආවත් වැටෙන්නේ නැතිව ඉන්න පුළුවන්. ඔබ කරන කියන හැම දෙයම ඉහළින් අගය කරන මෝඩයන් හතරක් පහක් ඔබ වටේට හිටියොත් ඔබ විනාශ වෙන්න පුළුවන්. දියුණු වෙද්දී බුද්ධිමත් අයට කන්දීම නතර කරලා, ඒ වෙනුවට බොරුවට අගය කරන මෝඩයන් වටකරගන්න පුද්ගලයන් විනාශ වෙනවා. මට අද ආඩම්බර වෙන්න දෙයක් නැහැ. ඒක නිසා මම සරලව ඉන්න උත්සාහ කරනවා.
මම කෙහොමත් මත්පැන් පානය කරන්නේ නෑ. ඒක ප්‍රසිද්ධ කාරණයක්. ඒ වගේම මම සම්පූර්ණයෙන්ම නිර්මාංශයි. සත්ත්ව ඝාතනයට සහ සත්ත්වයන් කූඩුකර ඇති කිරීමට මම දැඩිව විරුද්ධයි. ඒ වගේම මම සුරතල් සතුන් ඇති කරන්නේ නෑ. මම ඇතිකරපු බල්ලා පොඩි කාලේ හදිසි අනතුරකින් මිය ගිය ශෝකය තාමත් මගේ හිතේ තියෙනවා.
සාමාන්‍යයෙන් මම පාටිවලට යන්නේ නෑ. බොහෝ අය මම පාටිවලට නොයෑම නිසා මට චෝදනා කරනවා. අනික ඔය තියෙන තියෙන හැම පාටිකටම ගිහින් කාලය නාස්ති කරන්න මම කැමැති නෑ. මට පාටිවලට ගිහින් කෘත්‍රිමව හැසිරෙන්න අමාරුයි. මට හිතන්න නිදහස අවශ්‍යයි. මම සම්මාන ප්‍රදානෝත්සවවලට පවා යන්නේ බොහොම කලාතුරකින්. අනිත් එක ඔය ගෙඩාක් සම්මාන දෙන්නේ එක එක ඩීල්වලට මිසක සැබෑ දක්ෂතාවට නෙවෙයි. මටත් සම්මාන ලැබිලා තියෙනවා. එත් ඇත්ත තත්ත්වය ඕකයි. සම්මාන ප්‍රදානෝත්සව හරියට සත්තු නටවන සර්කස් වගෙයි. එවැනි සර්කස් එකක සතකු වෙන්න මට අවශ්‍ය නැහැ. ඇත්තටම මම අද මෙතැන ඉන්නේ මම හිතන විදිය වෙනස් නිසයි. සරලවම ඒක තමයි මගේ ජයග්‍රහණයේ රහස. "වේදනාව තාවකාලිකයි, අභිමානය සදාකාලිකයි"