UPDATE:
ස්විස් නිලධාරිණිය තුන්වැනි දිනටත් CIDයට
පැහැර ගැනීමට ලක්වූ බව කියන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට බඳවා ගත් දේශීය නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුන්වන දිනටත් මේ වනවිට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා.
ඒ සඳහා ඇය ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට අයත් රථයකින් අද (10) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමි‚ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඇය ඊයේ (09) දෙවන දිනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී පැය 5කට අධික කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබුණා.
පෙරේදා මුල්වරට ඇය මෙම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුවයි.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කරුණු වාර්තා කරනු ලැබූ අතර එහිදී ඔවුන් කියා සිටියේ පළමු දිනයේදී මෙම කාන්තාවගෙන් පැය 9කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.
ඒ අනුව අධිකරණයේ අවසරයකින් තොරව ඇයට විදෙස්ගතවීමට පනවා තිබූ තහනමද අනිද්දා දක්වා දීර්ඝ කර තිබෙනවා.
මේ අතර, තමන් ස්විට්සර්ලන්ත තානාපති කාර්ය මණ්ඩල සාමාජිකාවගේ නියෝජිතයෙකු බවට අදාළ කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මුල් දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදුන් මංජුල පෙරේරා නැමැත්තා තම පුත්‍රයෙකු බව එක්සත් ජාතික පක්ෂයේ කැළණිය හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරා ප්‍රකාශ කළා.
කෙසේ නමුත්, තමන් මෙම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරු නොදන්නා බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
මංජුල පෙරේරා නැමැත්තා බාන්ස් පෙදෙසේ ලිපිනයක් සඳහන් කරමින් මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේ මෙම කාන්තාව මාධ්‍ය හමුවක් පවත්වන බැවින් ඊට සහභාගිවීමට පැමිණෙන ලෙසයි.
කෙසේ වෙතත්, ඊයේ දිනයේදී මාධ්‍යවේදීන් අදාළ නිවස වෙත ගිය ද පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්ය මණ්ඩල සාමාජිකාව හෝ මංජුල පෙරේරා නැමැත්තා එහි රැදී සිටියේ නැහැ.