පහම්මි සසෙන්යා විජයබාහු.....මේ ඇයගේ නම වයස අවුරුදු පහයි. තාමත් මොන්ටිසෝරි යන වයසේ. පදිංචිවෙලා හිටියේ හබරණ ත්‍රිකුණාමලය පාරේ සිංහගම ග්‍රාම නිලධාරි වසමේ අළුත්ඔය කියන ගම්මානයේ.
පහම්මිගේ තාත්තා ජයන්ත. ඔහු සිවිල් ආරක්‍ෂකයෙක්. අම්මා නදීශානි රැකියාවක් කළේ නැහැ. පහම්මිට තවත් වැඩිමල් අක්කලා දෙන්නෙකුත් හිටියා.
මේ මල් කැකුළ මොන්ටිසෝරියේ අවසාන අවුරුද්දේ හිටියේ. ඇයගේ නැටුම් ගැයුම් ඇතුළත් වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගිය සෙනසුරාදාට යෙදිලා තිබුණා. පහම්මි බොහෝම ආසාවෙන් බලාගෙන හිටියා මොන්ටිසෝරියේ නටන්න, ගයන්න. ඒවා ඔක්කෝම ඉවර වුණා. පස්සේ ලබන ජනවාරියේ අක්කලා දෙන්නාගේ අතේ එල්ලිලා ලොකු ඉස්කෝලෙට යන්න ඇය සිහින මවන්නත් ඇති.
ඒත් දෛව්‍ය අපි කියන දේවල් ඒ විදියට කරන්න ඉඩ දෙන්නේ නැහැ. නොසිතු දේවල් ක්‍ෂණයකින් අපේ ජීවිතවලට උදාකරලා දෙනවා. දීප්තිමත් ඇස් මොහොතකින් කඳුළු ගංගා බවට පත් කරනවා. ඒ මේ ලෝකයේ හැටි.
අපේ කතාවේ එන පහම්මිටත් සිද්ධ වුණේ එහෙම දෙයක්. තමන් මේ ලෝකයට දායාද කළ ආදරණීය තාත්තා ක්‍රියාත්මක කරපු යකඩ ගොඩකට අහුවෙලා පුංචි පහම්මි කියන මල් කැකුළ පසුගිය 07 දා හවස තැලිලා පොඩිවෙලා ගියා.
පහම්මි සසෙන්යා මේ ලෝකය අත්හැරලා ගිය අමිහිරි කථාව ඇයගේ පියා වෙව්ලන දෙතොල් හඬවමින් දිග හැරියේ මෙහෙමයි.
"පහම්මි කියන්නේ මගේ බාලම දුව. එයා මොන්ටිසෝරි ගියේ. එදා හවස කට්ටියම ලෑස්ති වුණා නාන්න යන්න. අපි නාන වැව තියෙන්නේ ගෙදර ඉඳලා ටිකක් දුරකින්. මමත්, බිරිඳත් දුවලා තුන්දෙනාත් අපේ මහ ට්‍රැක්ටරේ නැගලා වැවට නාන්න ගියා. ඒ වෙලාව හතරට විතර ඇති. අපි පස් දෙනා බොහෝම සතුටින් නෑවා. පහට විතර අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. මම ට්‍රැක්ටරේ එලෝගෙන ආවා බිරිඳත් දරුවෝ තුන්දෙනත් ටේලරයේ ආවේ..."
"අපේ ගේ ළඟ ට්‍රැක්ටරේ නරත කරලා මම කිව්වා කට්ටියටම බහින්න කියලා. බිරිඳ බැස්සා අපේ ට්‍රැක්ටරේට නතර කරන්නේ මගේ තාත්තාගේ ගෙදර වත්තේ තියෙන මඩුවක අපේ ගේ ළඟ ඉඳලා එතනට මීටර් හැත්තෑවක් අසුවක් විතර ඇති. දුවලා තුන් දෙනා ට්‍රැක්ටරයෙන් බහින්නේ නැතිව කිව්වා එයාලත් සීයලගේ ගේ ළඟට එනවා කියලා. පස්සේ මම තාත්තගේ ගේ ළඟට ගිහින් ට්‍රැක්ටරේ මඩුවට දාන්න රිවර්ස් කළා. එකපාරටම ටේලරයේ හිටපු ලොකු දුවලා දෙන්න කෑ ගහලා කිව්වා තාත්තේ නංගී ටේලරයෙන් බිමට වැටුණා කියලා. මටත් කෑ ගැහුණා. ට්‍රැක්ටරේ නතර කරලා මම බිමට බැහැලා බලනකොට මගේ පුංචි කෙල්ල රෝදයකට අහුවෙලා මම දුව අතට අරගෙන පාරට දුවලා ත්‍රීවීල් එකක දාගෙන එයාව කන්තලේ ඉස්පිරිතාලෙට අරගෙන ගියා. ඒත් දොස්තර මහත්තුරු කිව්වා වැඩක් නැහැ තාත්තේ දුව නැතිවෙලා හිත හදාගන්න කියලා..."
කන්තලේ කොට්ඨාසයේ හදිසි මරණ පරීක්‍ෂක ඒ. එස්. මොහොමඞ් රූමි මහතාගේ පොතේ ජයන්තගේ වදන සටහන් වෙලා තිබුණේ ඒ විදිහට. පහම්මි යසෙන්යාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළ කන්තලේ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය ඞී. පී. එම්. කොස්තා මහතාගේ නිගමනය වී තිබුණේ ඇය මියගොස් තිබුණේ හිසට හා මොළයට සිදුව ඇති බරපතළ හානි හේතුවෙන් බවයි.
මෙම සිදුවීම පිළිබඳව සැකපිට පහම්මි සසෙන්යා විජයබාහු දැරියගේ පියාවන ජයන්ත කුමාර විජයබාහු ගල්ඔය හංදිය පොලිසිය මගින අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහැර තිබිණි.
කොහොම හරි හෙට දවසේ ගමත් රටත් එළිය කරන්න හිටිය පුංචි මල් කැකුළ පහම්මි සසෙන්යා දැන් අපි අත්හැරලා ගිහින්. ඇයගේ පියා ජයන්ත අම්මා නදිශානි ඇතුළු මුළු ගමම ගංගා පිරෙන්න තරම් කඳුළු වැගුරුවා. ඒත් අර පුංචි පෙට්ටියේ නිදාගෙන හිටිය ඇය ඇස් ඇරලා ලෝකය දිහා බැලූවේ නැහැ. තාත්තේ ඔයා අතින් එහෙම වුණාට මම තරහා නැහැ. පහම්මි සුරංගනා ලෝකයේ ඉඳලා ඇවිත් තාත්තට හීනෙන් එහෙම කියාවි.
අතුල සූරිය බංඩාර, සුජිත් කරුණාතිලක