බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරු කළද, එලෙස නඩු පැවරීමට බ්‍රිතාන්‍යයේ මහේස්ත්‍රාත් අධිකරණයට නීතිමය හැකියාවක් නොමැති බව මෙරට විදේශ සබඳතා අමාත්‍යංශය පවසනවා.
2018 වසරේ පෙබරවාරි 4 වැනිදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ LTTE හිතවාදීන් පිරිසකට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා කළ හස්ත සංඥාවක් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවුණා.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ එවකට ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් අතර ශ්‍රී ලංකා යුධ හමුදාව පරීක්ෂණයක්ද ආරම්භ කළා.
පසුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා නැවතත් සේවයේ පිහිටුවූ නමුත් බ්‍රිතාන්‍යයේ සිටින LTTE ඩයස්පෝරාවේ බලපෑම් හේතුවෙන් ඔහු මෙරටට කැඳවනු ලැබුවා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිගේඩියර්වරයාට එරෙහිව එංගලන්තයේ ලන්ඩන්හි වෙස්මිනිස්ටර් අධිකරණයේ LTTE හිතවාදීන් නඩුවක් ගොනුකළ අතර අදාළ නඩුව ඉවත දැමුවේ සාධාරණ පදනමකින් තොරව නඩුව ගොණුකර ඇති බව පවසමින්.
කෙසේ වෙතත්, LTTE හිතවාදීන් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නොවන සංවිධානයක සහය ඇතිව දිගින් දිගටම කළ බලපෑම් මත එම නඩු කටයුත්ත යලි සළකා බැලීමට අධිකරණය තීරණය කළා.
අදාළ නඩුවේ තීන්දුව ඊයේ පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඒ අවස්ථාවේදී LTTE හිතවාදීන් අධිකරණය ඉදිරිපිටට රැස්ව සිටි ආකාරය දක්නට ලැබුණා.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් එමා අර්බත්නෝට් මහත්මිය බ්‍රිගේඩියර්වරයා වරදකරු කරමින් ඔහුට ස්ටර්ලිං පවුම් 2400ක දඩයක් නියම කර තිබෙනවා.
මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් මෙරට විදේශ සබඳතා අමාත්‍යංශය පවසන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට තවදුරටත් තානාපති විනිර්මුක්තිය හිමි බව රජයේ ස්ථාවරය වන බවයි.
ප්‍රියංක ප්‍රනාන්දු මහතගේ තානාපති වරප්‍රසාද පිලිගැනිමට අපොහොසත් වීම, ඔහුට එරෙහිව පුද්ගලිකව නඩු පැවරීම, නඩුව විමසන අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශ්වයේ නොහික්මුණු හැසිරීම සහ මේ වනවිට බ්‍රිතාන්‍යය මැතිවරණයක් ආසන්නයේ සිටීම අනුව මෙම ක්‍රියාවලිය දේශපාලන හේතු මත සිදු කළ එකක් බවට පැහැදිලි වන බව එම නිවේදනයේ සඳහන්.
මේ අතර, මෙම නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් දඩ මුදල නොගෙවා අභියාචනයක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
කෙසේවෙතත්, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ලැබුණු මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. VIDEO