විශේෂයෙන් උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වලට එළඹෙන 11 වන දා පමණ වනතෙක් තද වැසි බලාපොරොත්තු වනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ත්, 200ත් අතර ඉතා තද වැසි ඇති විය හැකියි.
දැනට පවතින තද වර්ෂාව හේතුවෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ උතුරු පළාතටයි.
ඒ අනුව කිලිනොච්චියේ ආනන්දපුරම් ඇතුළු ගම්මාන කිහිපයක ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් 200 කට ආසන්න පිරිසක් අවතැන් වී තිබෙනවා.
එමෙන්ම, උතුර පළාතේ මාර්ග රැසක්ද ජලයෙන් යට වී ඇති අතර, පුදුකුඩිඉරිප්පු - පරන්තන් මාර්ගයේ ඉදිකර තිබූ පාලමද බිඳී යාමෙන් එහි ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත්, යුද හමුදාවේ මැදිහත්වීමෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සිදුකරන බවයි කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය කියා සිටියේ.
පවතින අධික වැසි හේතුවෙන් දිවයින පුරා පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 30 ක් පමණ වාන් දමමින් තිබෙනවා. මල්වතු ඔය සහ යාන් ඔය පිටාර මට්ටමට පැමිණ ඇති අතර, ඒ හේතුවෙන් පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න කියා සිටියේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ අධික වැසි හේතුවෙන් කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ඉදිරි දින කිහිපයේදීද දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි.