කොයි හැටි වුවත් ඔවුන් අතින් හැදෙන සොසේජ් බෙහෙවින් රසවත් විය. ඉතින් ඔවුන්ගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක විය. ඔවුන්ගේ ව්‍යාපාරය සාර්ථක වෙන්නට හේතු වූයේ ඔවුන් හැදූ සොසේජ් වල රසවත් බව පමණක් නොවේ. එලිසා මුලර්ගේ කැපවීමත් එයට හේතුවක් වීය..
හැමදාමත් හිමිදිරි පාන්දරම වැඩ අරඹන එලිසා, මහ රෑ මැදියමත් පසුවන තුරු එක දිගට වැඩ කළාය.. වසර ගණනක් මෙසේ ඕනෑවට වඩා වෙහෙස වෙමින් වැඩ කරන විට එලිසාගේ සුන්දර පෙනුම කෙමෙන් වියැකී යන්නට විය. වියපත් වෙන්නටත් කලින් ඇගේ පිරිපුන්ව තිබුණු ගත කෙමෙන් වැහැරී ගියේය. මුහුණ ටිකෙන් ටික දීප්තිය වියැකී රැලි වැටෙන්නට පටන් ගත්තේය. ඉතින් හාන්ස් මුලර්ට කෙමෙන් ඇයව එපා වෙන්නට විය.
ඒ වන විට යම් තරමක ධනවතෙකුව උන් හාන්ස් රුවැති ළාබාල යුවතියක සමග හාද වූයේය. ඔහු දිනෙන් දිනම තම අලූත් තරුණ අනියම් බිරිඳට බැඳෙන්නට වූයේය. ඒ තරමටම ඔහු තමන්ගේ නීත්‍යනුකූල බිරිඳව නුරුස්සන්නටද, ඇයට වෙනස්කම් කරන්නටද පටන් ගත්තේය. ඔහුට වුවමනා වූයේ තමන්ගේ රූමත් අනියම් බිරිඳව විවාහ කරගන්නටය.
”ඉතින් එහෙනම් එලිසාව දික්කසාද කරන්න..” අනියම් බිරිඳ හාන්ස්ගෙන් ඉල්ලා සිටියාය.
”අපොයි බෑ.. මේ ව්‍යාපාරය අයිති අපි දෙන්නටම.. දික්කසාද කළොත් මේ හැම දෙයක්ම දෙකට බෙදන්න වෙනවා. මට එයාට වන්දියකුත් දෙන්න සිද්ධ වෙයි..” හාන්ස් ඒ අදහසට එකඟ වූයේ නැත.
එහෙත් ඔහුට තම බිරිඳගෙන් ගැලවෙන්නට නම් වුවමනා විය. ඒ සඳහා සැලැස්මක් ඔහුගේ සිතේ තිබිණ. කිසිවෙකුට ඒ ගැන නොකිව්වත්, ඒ අමානුෂික සැලැස්ම ක්‍රියාත්මක කරන්නට සුදුසු මොහොතක් එන තුරු හාන්ස් ඉව අල්ලමින් උන්නේය.
ඒ බියකරු රාත්‍රිය උදාවිය.
වෙලාව රෑ දහයත් පසුව තිබිණ. වෙළෙඳසල වසා පැයක් හමාරක් ගත වී ගොසිනි. එදාත් වෙනදා මෙන්ම එලිසා රෑ වන තුරුම වැඩ කරමින් උන්නාය. හාන්ස් හෙමින් සීරුවේ ඇයට පිටුපසින් ඇය සිටි තැනට කිට්ටු වූයේය. ඔහු අත ඝණකම් වයරයක් තිබිණ. එලිසාට හොඳටෝම කිට්ටු වූ හාන්ස් ඒ වයරය ඇගේ ගෙල වටා දමා ගෙල සිරකළේය. එලිසාද ශක්තිමත් ගැහැනියකි. ඇය තමන්ගේ ගෙල සිර කරන්නේ කවුරුන්දැයි නොදැන මඳක් වේලා අතපය ගසමින් ගැලවෙන්නට දැගලූවාය. ඉන්පසු වෑයමින් ආපස්සට හැරුණාය. තමන්ගේ ගෙල සිරකරමින් සිටින්නේ නාඳුනන මිනීමරුවෙකු නොව, තමන්ගේ ආදරණීය සැමියාම බව දුටු එලිසා මඳකට තුෂ්ණිම්භූත වූවාය. සටන් කරන්නට තිබුණු ශක්තිය ඇගෙන් ගිලිහී ගියේය. ඇගේ සිරුරම අප්‍රාණික විය.
ඒ ලද අවසරයෙන් ප්‍රයෝජන ගත් හාන්ස් වයරය තවත් වට දෙක තුනක් ඇගේ ගෙල වට ඔතමින් තද කළේය. එලිසාගේ මුව ඇරී ගියේය. දෙනෙත් විශාල විය. හුස්මක් ගන්නට අසීරුවෙන් උත්සාහ කළ ඇය ඊළඟ මොහොතේ නිහඬ වූවාය. ඇගේ ගෙල පැත්තකට කඩා වැටිණ. හාන්ස් තම ග්‍රහණය බුරුල් කළේය. එලිසාගේ පණසුන් සිරුර සීතල සිමෙන්ති පොළව මත ඇද වැටිණ.
”ඇති යන්තම්.. දැන් ඒ කරදරේ ඉවරයි..!” හාන්ස් සැනසුම් සුසුමක් හෙළුවේය.
දැන් ඉතින් ඉතිරිව ඇත්තේ සැලසුමේ දෙවැනි අදියරයි.
මළ සිරුර අතුරුදන් කළ යුතුය. එහෙත් නිව් ඕර්ලින්ස්හිදී එය ලේසි වැඩක් නොවේ. මේ වීදියේ නිවාස පිහිටා ඇත්තේ එකිනෙකට හොඳටම සමීපවය. අනෙක් නිවෙස් වල සිටින අයගේ ඇහැ නොගැටී මේ නිවසෙන් මළ සිරුරක් පිටමං කරගැනීම පහසු වැඩක් නොවේ.
එහෙත් හාන්ස්ට එයටත් විසඳුමක් තිබිණ. එය ඔබට අදහා ගන්නටවත් බැරි තරමේ අති බිහිසුණු විසඳුමකි.
තමන්ගේ බිරිඳගේ මළ සිරුර ඔසවා ගත් හාන්ස් එය එහෙමම ගෙන ගොස් සොසේජස් හදන්නට මස් අඹරන යෝධ යන්ත්‍රයට දැමුවේය.
මුලර් සොසේජ් කම්හලේ වෙනදා හදන ප්‍රණීත සොසේජ් මෙන් නොව දැන් දැන් හදන සොසේජ් වල රසයේ වෙනසක් ඇති බව ගනුදෙනු කරුවන්ට වැටහිණ.
”මේ සොසේජ් වල මොකක්දෝ අමුතු රහක් එනවනේ මිස්ටර් මුලර්..?”
ගනුදෙනුකරුවෙකු දෙන්නෙකු සොසේජස් ගන්නට පැමිණි විටකදී විමසූහ.
”මේ දවස් වල නෝනා එයාගෙ අම්මලා ගාවට ගිහින්නේ.. එයා තමයි හොඳටම සොසේජස් හදන්නේ.. ඒ රස ගන්න ඉතින් මට බෑනෙ..” හාන්ස් මුලර් කිසි අමුත්තක් නැතිව කීවේය. එහෙත් ඒ වන විටත් ඔහු තම අනියම් බිරිඳ සමග සතුටින් කාලය ගෙවන්නට පටන් ගෙන තිබිණ. ටික කලක් යනතුරු එය අවට ලෝකයට රහසක් සේ තබා ගන්නට ඔහු තීරණය කරගෙන උන්නේය.
දින කිහිපයක් ගෙවී ගියේය. මුලර් වෙනදාට වඩා අමුතු බව ගනුදෙනුකරුවන්ටත් අසල්වාසීන්ටත් වැටහෙන්නට විය.
දිනක්.. මුලර් උන්නේ තමන්ගේ වෙළෙඳ සලේය. ගනුදෙනුකරුවන් කිහිප දෙනකුද එහි උන්හ. සොසේජ් කම්හලට හෙවත් වෙළෙඳසලේ ඇතුල් කාමරයට යන දොර වසා තිබිණ. එක්වරම, ඒ ඇතුල් කාමරයෙන් ඇසුණු හඬකින් හාන්ස් මුලර් තිගැස්සී ගියේය.
”ඩම්ප්.. ඩම්ප්..”
ඒ සොසේජ් වලට මස් අඹරන යන්ත්‍රය ක්‍රියාත්මක වෙන හඩය.
මුලර් පැකිලෙමින් ගොස් දොර ඇරියේය. කාමරයට එබිකම් කළේය.
ඔහු දුටුවේ සොසේජ් අඹරන යන්ත්‍රයේ කටින් උඩට නැගගෙන එන තම බිරිඳවය. ඇගේ ඒ ප්‍රණය පුරාත්, මුහුණේත් ලේ තැවරී තිබිණ. අමාරුවෙන් සොසේජ් අඹරන යන්ත්‍රයෙන් එලියට ආ ඇය අත් දෙකත් විහිදාගෙන තම සැමියා දෙසට ඇවිද ආවාය.
මඳක් වෙලා ගල් ගැසී එදෙස බලාගෙන උන් හාන්ස් මුලර්, ඊළඟ තත්පරයේදී ආපසු හැරී කෑ ගසමින් දුවන්නට පටන් ගත්තේය. මේ කලබැගෑනිය ඇසුණු අසල්වැසියෝ එතැනට රොක් වූහ. මඳ දුරක් දිව ගිය හාන්ස් සිහිසුන්ව පාර මැදම ඇද වැටුණේය. අසල්වැසි කිහිප දෙනකු එක්වී ඔහුව වෛද්‍යවරයෙකු වෙත ගෙන ගියහ.
නැවතත් සිහිය ලද හාන්ස් අමාරුවෙන් හුස්ම ගනිමින් කතා කළේය.
”මං පහුගිය දවස් ටිකේම ගොඩක් මහන්සි වුණා.. නෝනත් නැති හින්දා ටිකක් වැඩිපුර වැඩ කරන්නත් සිද්ධ වුණා.. ඒ හින්දා වෙන්න ඇති මේ දවස් ටිකේ නරක හීන වගයකුත් දැක්කා.. ඒකකට බය වෙන්න ඇති..” හාන්ස් කීවේය. ”ඔයගොල්ලෝ හිටපු එක කොච්චර දෙයක්ද. මට උදව් කළාට ස්තුතියි..”
ඉන්පසු රැයක් රැයක් ගාණේ කෑගසා බෙරිහන් දෙමින් පාර දිගේ දුවන හාන්ස්ගේ දසුන අසල්වැසියන්ට අලූත් දෙයක් නොවීය.
”මේ මනුස්සයාට මෙච්චර අසනීපයක් තියෙද්දි එයාගෙ නෝනා ආපහු එන්නෙ නැත්තෙ මොකද..?” අසල්වැසියෝ සැක පහල කරන්නට වූහ. ඇය ගියේ කොහිදැයි ඇතැමෙක් විමසන්නට වූහ. එහෙත් ඒ කිසිවෙකුට හරිහමන් පිළිතුරක් ලැබුණේ නැත. අසල්වැසියන්ගේ සැකය වඩාත් තීව‍්‍ර වෙන්නට පටන් ගත්තේය. ඒ ගැන බියකරු කට කතා පැතිරෙන්නට විය.
මේ මිනිසා තමන්ගේ බිරිඳව මරා දැමුවාද.? එහෙම නම් ඇගේ සිරුර හැංගුවේ කොතැනකද.?
වැඩි කල් යන්නට කලියෙන් ඊට පිළිතුර ලැබිණ.
අසල්වැසි කාන්තාවක් තම උදෑසන ආහාරයට හාන්ස් මුලර්ගෙන් මිලදී ගත් සොසේජස් වගයක් කමින් සිටියදී, ඒ සොසේජ් කරලක මැද තිබී ඇයට රන් මුදුවක් හමුවිය.. එය වටිනා මංගල මුදුවකි. එලිසා මුලර් මේ අසල්වැසි කාන්තාවගේ සමීප මිතුරියකි. එලිසාගේ අතේ තිබුණු මංගල මුදුවත් මේ හා සමානම එකක් නොවේදැයි ඇයට මතක් විය.
ඇය ඒ මුදුවත් ගෙන පොලිසියට ගියාය.
පොලිස් නිලධාරීන් පැමිණෙන විට හාන්ස් මුලර් පෙනෙන්නට උන්නේ නැත. බොහෝ වෙලා දොරට තට්ටු කරමින් කතා කළ නමුත් කිසිවෙකු නිවසේ දොර හැරියේ නැත. එහෙත් මඳ වෙලාවක් යන විට කවුරුන් හෝ නිවස ඇතුළත හීන් හඬින් කතා කරමින් සිටිනු පොලිස් නිලධාරීන්ට ඇසිණ.
තවත් මොහොතක්වත් පමා නොවී ඔවුහු දොර කඩා නිවසට ඇතුළු වූහ.
සොසේජස් හදන කාමරය තුළ හාන්ස් මුලර් සිටියේය. ඔහු උන්නේ කාමරයේ මුල්ලකට ගුලිවී මොනවාදෝ මුමුණමිනි. පොලිස් නිලධාරීහු ඒ වෙත ගියහ.
”එන්න එපා..! එන්න එපා..! අන්න එයා එනවා.. එයා එනවා.. මූණෙන් ලේ පෙරි පෙරී එයා එනවා..” හාන්ස් මුලර් කෑ ගැසුවේය. ”එලිසා.. එපා එලිසා.. අනේ මට සමාවෙන්න..”
ඔහු සිටින්නේ පියවි සිහියෙන් නොවන බව පොලිස් නිලධාරීන්ට වැටහිණ. ඔවුහු හාන්ස් ළඟට ගොස් ඔහුගේ දෑත් වලින් අල්ලා නැගිටුවා ගත්හ.
”එලිසා.. ඔව්.. අන්න එයා එනවා.. මස් අඹරන මැෂින් එක ඇතුළෙන් නැගිටලා එයා එනවා... එයාව මරපු එකේ පලිය ගන්න එනවා..!” හාන්ස් මුලර් එක දිගටම කෑ ගැසුවේය.
පොලිස් නිලධාරීන්ට හාන්ස්ව ගෙන යන්නට සිදුවූයේ සිරමැදිරියට නොවේ, නගරයේ තිබුණු උන්මත්තකාගාරය වෙතටය. එහෙත් ඒ උන්මත්තකාගාරයද, හාන්ස්ට ආරක්ෂිත තැනක් වූයේ නැත.
හැමදාමත් තම බිරිඳ එලිසා එහි පැමිණෙන බව ඔහු දිගින් දිගටම කීවේය. ඔහු නැවතත් පියවි සිහියට ආවේ නැත. අවසිහියෙන්ම උන්මත්තකාගාරයේ කාමරයකදී සියදිවි නසාගෙන තිබිණ. හාන්ස් මුලර්ගේ මරණින් පසුව ඒ නගරයේ කිසිවෙකු එලිසාගේ අවතාරය දැක තිබුණේ නැත. මුලර්ලාගේ සොසේජ් කම්හල තිබුණු ගොඩනැගිල්ලද කලෙකට පසුව විකුණා දැමිණ. අද ඒ ගොඩනැගිල්ලද එතැන නැත.
එහෙත් ”සොසේජ් අවතාරය” ගැන කතාව නිව් ඕර්ලීන්ස් වැසියන් අතර අදටත් ඉතිරිව ඇත. එලිසාගේ මස් වලින් හැදුණු සොසේජ් කරලක් නොදැනුවත්ව කා තිබුණු කෙනෙකුගේ මුණුපුරෙකු හෝ මිණිපිරියක නිව් ඕර්ලින්ස් වලින් සොයා ගැනීම දැනටත් අපහසු නැත.
"දිවයින"
නිම්මි මුදිතා හේරත්