තානාපති කාර්යාලයට අදාළ ඇතැම් තොරතුරු හෙළි කරන ලෙස ඇයට බල කර ඇති බව ද ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් වෙත වහා නිළ පැමිණිල්ලක් ගොනු කළ බවත්, පරීක්ෂණ සඳහා ලක් රජයේ බලධාරීන්ට පූර්ණ සහය ලබාදී ඇති බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.
එමෙන්ම, සිද්ධියට මුහුණ දුන් තම කාර්ය මණ්ඩල සාමාජිකාවගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම නිසා ඇයට මේ අවස්ථාවේ ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි එමගින් සඳහන් කර ඇත්තේ.
ඊට අමතරව ස්විට්සර්ලන්තයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ ඔහුගේ පවුලේ අය මෙරටට පිටුවහල් කරන ලෙස සිදුකළ ඉල්ලීමක් ස්විස් රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි කියන චෝදනාව ද තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළා.
එමගින් කියා සිටියේ ලක් රජය එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.
කෙසේ නමුත්, පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් රඳවාගෙන ප්‍රශ්න කළ බව කියන සිද්ධිය රහස් පොලීසිය සමඟ එක්ව කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
ඒ සඳහා පොලිස් සමීප රූප අවේශන කැමරා කොට්ඨාශය හෙවත් සී.සී.ටී.වී. අංශයේ සහය ද ලබා ගැනෙන බවත් එමගින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අදාළ තර්ජනය කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකර ඇති බවට මෙම නිලධාරිනිය ප්‍රකාශ කර ඇති නමුත්, එය විමර්ශකයින් නොමඟ යැවීම සඳහා සැකකරුවන් විසින් සිදුකරන ලද අසත්‍ය ප්‍රකාශයක් බවයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව ද ඔහු අවධාරණය කළා.
පසුගිය සඳුදා, මෙරට ස්විට්සර්ලන්ත කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවුණා.
ඉන් අනතුරුවයි අදාළ වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේ.
ඒ අනුව මෙලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය සිද්ධිය පිළිබඳ විමර්ශනයක් පවත්වන බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කළා.
මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සම්බන්ධයෙන් පසුගිය සතිය වනවිට කථාබහක් ඇතිවූයේ දේශපාලන වුවමනා මත, මතභේදාත්මක ලෙස පරීක්ෂණ මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යකෂ ශානි අබේසේකර සමඟ සේවය කළ, එම දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට පලායාමත් සමඟයි.
එහිදී ඔහුට වීසා ලබාදීම සහ ස්විට්සර්ලන්තයට පලායාමට අනෙකුත් පහසුකම් සැළසීම සම්බන්ධයෙන් එම තානාපති කාර්යාලයේද නම සම්බන්ධ කරගනිමින් මාධ්‍ය වාර්තා පළවුණා.
බොහෝ වාර්තාවල සඳහන් වූයේ නිශාන්ත සිල්වාට මෙරටින් පලායාමට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ඇතැම් නිලධාරීන්ගේ සහය ලැබී ඇති බවටයි.