Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
21
"මම පුදුම වුණා. බලපත්‍රය ආපහු දුන්නා. සමාවෙන්න කීවා. ඒත් එතුමා කියනවා ඩියුටිය කරන්නම කියලා..." - විජේරත්න වරකාගොඩ

- "මම පුදුම වුණා. බලපත්‍රය ආපහු දුන්නා. සමාවෙන්න කීවා. ඒත් එතුමා කියනවා ඩියුටිය කරන්නම කියලා..." - විජේරත්න වරකාගොඩHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,398 Views
"ඊළඟට මාව දැම්මේ අපරාධ අංශයට. මම කැමැති වුණෙත් නැහැ.."

"කසාදෙට 50යි කලාවට 60යි, මට 86යි.."

"හිරු පායනවා මල් පිබිදෙනවා.." මේ මුවන්පැළැස්සේ කෝරළේ මහත්තයා මැණිකෙට ගැයූ ගීයක් නොවුණට, කෝරළේ මහත්තයා වෙන්න ටික දවසකට කලින් විජේරත්න වරකාගොඩ නම් ඒ ශ්‍රේණියේ ගුවන්විදුලි ගායකයා 1963 ගුවන්විදුලියට ගැයූ පළමුවැනි ගීතය. හරිම දෛවෝපගතයි නේද? එතකොට ඔහුට අවුරුදු තිහක්. ඒ කියන්නේ හරියටම අද ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ නම් ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨයාට අවුරුදු 86ක් සම්පූර්ණ වෙනවා.

"මට ඔය ෂුගර්, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් මුකුත් නැහැ. මේ ක්ෂේත්‍රයේ මට වඩා වයසින් වැඩි දෙන්නයි ඉන්නේ අයිරාංගනී සේරසිංහයි, සිරිල් වික්‍රමගේයි." ඔහු නිහතමානී සිනාවක් සමඟ සිය කුඩා කලට යයි.

"මම කිසිම කලා පවුලකට අයිති කෙනෙක් නෙවෙයි. අපේ ගම වරකාගොඩ. නුවර හාරිස්පත්තුවේ තියෙන්නේ. ගමේ නම ' වාසගම' ලැබුණේ ප්‍රභූවරුන්ට විතරයි. මගේ නම රාජකරුණා නවරත්න අතපත්තු මුදියන්සෙලාගේ විජේරත්න බණ්ඩා වරකාගොඩ. අපි බණ්ඩලා. ඒ කියන්නේ නිලමෙලා. අස්ගිරියේ මහනායක හාමුදුරුවෝ වරකාගොඩ ඥානරතන හිමියන් මගේ බාප්පගේ පුතා, මගේ ඥාති සොහොයුරා වෙන්නේ. අම්මා කුරුණෑගල වැල්ලව රංගම ගමේ. ඒගොල්ලේ බස්නායක මුදියන්සේලාගේ රන්මැණිකා. අම්මගේ අප්පච්චිත් කෝරළේ මහත්තයෙක්. ඉතින් අපේ තාත්තා පොලීසියේ රස්සාව කළ නිසා මම පාසල් හතකට ගියා. මාරවිල, පුත්තලම, කුලියාපිටිය, ගලගෙදර අපේ ගමේ ඉස්කෝලෙ, කොළඹ ආනන්ද, කුරුණෑගල මලියදේව, ශාන්ත ආනා. ඒ අතරින් වැඩිහරියක් ඒ කියන්නේ අවුරුදු 9ක් මම හිටියේ කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ. හැබැයි පුංචි කාලේ ඉඳන් මට ගායන හැකියාව තිබුණ නිසා මාව ඒකේ ගායන කණ්ඩායමට ගත්තා. මම ගැයුවේ සුප්‍රානෝ හඬින්. ඒ කියන්නේ ඉහළ ස්වරයෙන්. ඒවාට මට ත්‍යාග ප්‍රදානෝත්සවයේ තෑගිත් දිනලා තියෙනවා. ඒ වගේම මම හොඳ මලල ක්‍රීඩකයෙක්. මගේ ඉසව් හැතැප්මයි, හැතැප්ම භාගයයි. පස්සේ මීටර් වුණාම මම 1500යි 800යිත් දිව්වා. එච් එස් සී වලට මම කළේ කලා විෂයයන්. තාත්තා විශ්‍රාම ගියාම අපි නතර වුණේ අම්මලෑ ගෙදර."

ළමා කාලය එසේ ගෙවා ඔහු තුරුණු වියට එයි.
"ඔන්න ඉතින් අපි විභාග ප්‍රතිඵල එන්නත් කලින් රැකියාවල් කරනවා. ඒ් කාලේ රැකියා සුලබයි. මම කියන්නේ 50දශකයේ. මම ආණ්ඩුවේ ගැසට් පත්‍රය බලලා රැකියා පහකට ඉල්ලුම්පත්‍ර දැම්ම. මුලින්ම ලැබුණේ බැංකුවේ රස්සාවක්. අපි ඉගෙන ගත්තේ ඉංග්‍රීසියෙන්නේ. සම්මුඛ පරීක්ෂණය සෙනසුරාදා කොළඹ යෝක්වීදියෙ තියලා මට කීවා සඳුදා ඉඳන් කුරුණෑගල ශාඛාවේ බැංකු ඒජන්තට ගිහින් රපෝර්තු කරන්න කියල. ඒ කාලේ මැනේජර්ලා නෑනේ. ඒජන්ට් තමයි හිටියේ. බොහොම ගම්භීරයි. මම මුලින්ම කළේ චෙක් මාරු කළ එක. කණිෂ්ඨ ලිපිකරු හැටියට. ඒ අතර මම ආණ්ඩුවේ ලිපිකරු විභාගෙට ඉල්ලලා තිබුණනේ. ලිව්වා. මම ලංකාවෙන්ම දෙවැනියා. ප්‍රතිඵල ඇවිත් මාසෙන් මට කච්චේරියේ රස්සාව ලැබුණා. තාත්තලාත් කැමති වුණා ආණ්ඩුවේ රස්සාවක් නිසා. ඒ අතර මම පොලීසියටත් ඉල්ලුම් කරලා තිබුණනේ. නුවර ලිඛිත පරීක්ෂණය කරලා, කළුතර කටුකුරන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයට ගිහින් 1956 ජූනි මාසේ මම පොලිස් පරීක්ෂකවරයෙක් වුණා. බණ්ඩාරනායක මහත්තයා ගත්ත පළමුවැනි බැච් එක අපි 39 දෙනෙක්. පුහුණුවීම්වලින් පස්සේ මාව මුලින්ම දැම්මේ පිටකොටුවට. ඒ කාලෙ පොලිසීයේ අන්තිම එපාකරපු තැන. ඒත් මට හොඳ ස්ථානාධිපතිකෙනෙක් ලැබුණා ඒ. සී. ලෝරන්ස් කියලා. එතුමා උසස්වීම් ලබලා ගියාම මමත් ඉන්න බෑ කියලා කොටුව පොලීසියට ඉල්ලලා ගියා.

එතනින් රථවාහන අංශයේ පුහුණුවකට ප්‍රවාහන අංශයට යැව්වා. එතැනදි තමයි මමත් ඩ්‍රයිවින් ලයිසන්ස් ගත්තේ. මට දීලා තිබුණ වැයික්කිය මැද කොළඹ කුරුඳුවත්ත, කොල්ලු පිටිය, කොම්ඤ්ඤවීදිය. දවසක් මම රාත්‍රී සංචාරයක් ඉවරවෙලා ආපහු එද්දි ගෝල්ෆේස් එකේ ෆොක්ස්වැගන් කාර් එකක් හිමින් හිමින් යනවා. පිටිපස්සේත් ලයිට් නෑ, ඉස්සර කරලා බැලුවාම ඉස්සරහ ලයිටුත් නැහැ. මට දාලා යන්නත් බැහැ. මම ඒ කාලේ ජෙන්ට්ල්මන් කොප් - මහත්මාගති ඇති පොලිස් නිලධාරියා කියලයි ප්‍රසිද්ධ. ඉතින් වාහනය නතර කරන්න කීවාම ඒ කාලේ ගෝල්ෆේස් පිට්ටනියනේ. හිමීට පිට්ටනියට දාලා වාහනේ නතර කළා. මම ජනේලේ ගාවට එබුණා. හීන්දෑරි ගුරුවරයෙක් වගේ තරමක් වයසක කෙනෙක්. මමත් ඉස්කෝලෙ මහත්තයෙක් වෙන්නැති කියලා හිතලා ඉංග්‍රීසියෙන් නැතුව සිංහලෙන්ම ඇහුවා 'මහත්මයා රාත්‍රී කාලේ ලයිට් නැතුව වාහනයක් පදින එක හරි නෑනේ නේද? කියලා' ඒ හීන්දෑරි මනුස්සයා ඇහුවා 'ආ හැබෑද ඉන්සපෙක්ටර්?" "හැබෑ නේන්නං බැහැලා බලන්නකෝ" මම කීවා. පස්සේ 'කරුණාකරලා බලපත්‍රය දෙන්න කීවා. 'ආ බලපත්‍රය නම් තිබුණා...' කියලා හොයලා හොයලා කබිහෝල් එකෙන් අරන් දුන්නා. අපි පොඩි පොතක සටහන් කරගෙන පස්සේ තමයි පොලිසියට ගිහින් ලියන්නේ. ඉතින් සටහන් කරගන්න මම නම කියෙව්වා. ඩොක්ටර් ඊ. ආර්. සරච්චන්ද්‍ර (ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර) යුනිවර්සිටි ඔෆ් සිලෝන්, පේරාදෙණිය කියලා (එකල පේරාදෙණිය සරසවිය) ලියලා තිබුණා. මම පුදුම වුණා. බලපත්‍රය ආපහු දුන්නා. සමාවෙන්න කීවා. ඒත් එතුමා කියනවා ඩියුටිය කරන්නම කියලා. පස්සේ මම කීවා ඔබතුමා දැකලා නොතිබුණාට නමින් දන්නවා, ඔබතුමාගේ පොත් කියවලා තියෙනවා, ඉස්කෝලේ ඒවා හදාරලා තියෙනවා, ඔබතුමාව උසාවි ගෙනිච්චොත් නඩුකාරයාගෙන් මට බැනුම් අහන්නත් වෙයි, ඒ නිසා මම අවවාද කළා කියලා හිතාගන්නකෝ, කරුණාකරලා ලයිට් හදාගන්න පරෙස්සමින් යන්න කියලා." ඔහු අපේ ප්‍රතිචාරය දෙස සිනාසෙමින් බලා හිඳී.

"මම ඒ වෙද්දි ගුවන්විදුලි ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයෙක්. 1960 තමයි හාහා පුරා කියලා ගුවන්විදුලියට සම්බන්ධ වුණේ. පී එල් ඒ සෝමපාල එහෙම අඳුනන නිසා ආධුනික පැයට ගීත එහෙම ගැයුවා. මුලින්ම මම ගැයුවේ සිසිර සේනාරත්නගේ 'යනවද මා දමා කියන්න සුන්දරී' ගීතය. ඒ නිසාම කොටුව පොලීසියේ වාර්ෂික සංගීත ප්‍රසංගය සංවිධානය කිරීමේ වගකීම මට පැවරුණා. ඔය ඇඳුණුම්කම් නිසා 1962 ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ රොබින් තම්පො එයාගේ 'සුහද දිවි පිදුම' චිත්‍රපටයේ රඟපාන්න කතා කළා. මට ඒක එච්චර අමාරු වුණේ නැහැ. තිබුණේ උසාවි දර්ශනයක්. කච්චෙරියේ හිටපු නිසායි, සතියක් ගාණේ පොලිසියෙන් උසාවි යන නිසයි මම පළමුවෙනි ටේක් එකෙන්ම හරියට කළා. ඒ ගැන මට තම්පො ප්‍රශංසාත් කළා. ඒ වෙද්දි මට කැමරා කෝණ, දුර රූප, ළඟ රූප මුකුත් දන්නේ නෑ. ඒවා දැනගත්තේ හුඟක් පසුකාලෙකයි. ඒත් ඒ කාලෙම තම්පොගෙ චිත්‍රපට කීපයකම රඟපෑවා, සමාජයේ අපි ඔක්කොම සමානයි, සුදු සඳේ කළු වලා වගේ ඒවායේ." ඔහුගේ මුහුණ වෙනස් විය. අපි බලා සිටියෙමු.

"62 අවුරුද්දේ රථවාහන අංශයේ සේවය කරද්දි අපට නියෝගයක් ලැබුණා රෑ 11ට තවත් 40 දෙනෙක් එක්ක මොටර් බයිසිකල් අරගෙන තුවක්කුත් අරගෙන නිදහස්චතුරශ්‍රය පැත්තේ මෑස් පැට්‍රෝල් එකකට යන්න කියලා. මමයි ලීඩ් කරන්නේ. ඒකෙදි පාරෙ රස්තියාදු වෙන උන්, පේව්මන්ට්වල, රේල්වේ ස්ටේෂමේ නිදාගෙන ඉන්න උන් අරුන්මුන් ඔක්කොම ඇදගෙන ඇවිත් ඇඟිලි සලකුණු අරගෙන අයිආර්සී කාරයොද කියලා බලලා තමයි නිදහස් කරන්නේ. ජෝන් පුල්ලේ ඒඑස්පී අපට අණ දුන්නේ. අපි ලෑස්තිවෙලා බලද්දි දහයාමාරට විතර ඇති. මම කීවා වෙලාව තියෙනවානෙ අපි ඔතන මදුරුවො තලන්න යන්න ඕනෙ නැහැ විනාඩි විස්සක් විතර රිලැක්ස් කරලා වෙලාවට යමු කියලා. මගේ එස්අයි ලැම්බට් පෙරේරා එයාගේ රිවෝලවරය දාන පවුච්එක මෙස් එකේ අමතක වෙලා ඇවිත් නිසා මට කීවා ඕගොල්ලො යන්න මම ඒකත් අරගෙන එතනට එන්නම් කියලා. ඒ අතරෙ අරලියගහ මන්දිරයෙන් සිරිමාවෝ මැතිණිය කෝල් කරනවා. ඒක අපට හුරු දෙයක් නෙවෙයි. බලද්දි ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණයක් කරලා කිසි කෙනෙක් එළියට යන්න එපා ඕගොල්ලො ආපහු බැරැක්කවලට යන්න කීවා. මම බැලුවා ලැම්බට් කොහෙද කියලා. අයිජිට කියලා මම බයික් එකෙන් ටක් ගාලා ගියා. එතකොට ඔය හිල්ටන් ගලදාරි නෑ. කාර් යනවා බෲම් ගගා. හොඳටම තේරෙනවා මොකක් හරි කියලා. මම යද්දි ලැම්බට් එතන තනියම ඉන්නවා. වහාම කතාව කියලා එක්කගෙන ආවා. අපි පස්සේ හොයලා බලද්දි තමයි දන්නේ මම ගුවන්විදුලය අඳුනන නිසා මා ලව්වා ගුවන්විදුලිය ආක්‍රමණය කරගන්න හදලා තියෙන්නේ මටවත් නොකියා. ඒ මෙහෙයුම කරන්න උදව් කරපු ජෝන් පුල්ලෙ කටටම අහුවුණා. (පස්සේ දවසක මගේ හිතවත් මිත්‍ර සිරිවර්ධන මට කීවා එයාගේ සහෝදරයා බුද්ධි සිරිවර්ධනට ගුවන් හමුදාවේ කොඩ්රන් ලීඩර් හැටියට අණ දීලලු තිබුණේ ටොරින්ටන් චතුරශ්‍රයේ බලා‌ගෙන යන්න දැක්ක තැන වෙඩි තියන්න කියලා. අපි ගියානම් හේතුවක් නොදැන වෙඩි කාලා මැරෙනවා. රෑ අඳුනගන්නත් බෑනේ. ඒ සාක්කිය මම දුන්නා නඩුවෙදි.) අපි නූලෙන් බේරුණේ. (කුමන්ත්‍රණය එළි වුණේ අපේ කොළඹ එස් පී ස්ටැන්ලි සේනානායකගේ නෝනා මායා කුලරත්න අතින්. එතුමිය අපේ ආනනදේ පීජීඑස් කුලරත්න මහත්මයාගේ දුව. සේනානායක මහත්මයා කුමන්ත්‍රණයට ගාව ගත්තේ නැහැ. හමුදාවේ ලොක්කො කුමන්ත්‍රණය කරන බව දැනගෙන සේනානායක මහත්තයා ගෙදර තනියෙන් මුමුණ මුමුණ ඇවිදිද්දි නෝනා අහලා තියෙනවා මොකද ඔයාට වෙලා තියෙන්නේ කියලා. ඒ පාර කතාව කීවාම මායා තමයි බණ්ඩාරනායක මැතිණියට කෝල් කරලා තියෙන්නේ මෙහෙම වෙනවා කියලා. එතකොට තමයි පොලීසියට කතා කරලා අපට අර මෑස් පැට්‍රොල් එක නතර කරන්න කියලා තියෙන්නේ.)

1963 තමයි මම හාහා පුරා කියලා වේදිකා නාට්‍යයකත් රඟපෑවේ. අජාසත්ත කියලා නාඩගම් ශෛලියේ නාට්‍යයක මහලු බිම්බිසාර රජුට. ඒකට මාව යොමු කළේ පී වැලිකල මහත්මයා. නාට්‍යය කලාමණ්ඩලයේ නාට්‍ය තරගයට ඉදිරිපත් කළා එහි රචක, අධ්‍යක්ෂ වගේම නිෂ්පාදක විමල් නවගමුව මහත්මයා. ඔහු පරිපාලන නිලධාරියෙක්. ඒ දවස්වල තරගයේ කොටස් දෙකක් තිබුණා ශෛලිගත අංශය සහ තාත්ත්වික අංශය කියලා. මම ශෛලිගත අංශයේ හොඳම නළුවා වුණා. අපිත් එක්ක තරගයට ආවේ හෙන්රි ජයසේනගේ කුවේනි. මානෙල් ජයසේන හොඳම නිළිය වුණා. තාත්ත්වික අංශයේ හොඳම නළුවා සහ නිළිය වුණේ ටෝනි රණසිංහ සහ අනුලා කරුණාතිලක රන්තෝඩු නාට්‍යයේ. කුවේණිගේ දුව, දිසාලාගේ චරිතය රඟපෑවේ චිත්‍රා කියලා ලස්සන ගෑනු ළමයෙක්." ඔහු කතාවට මඳ ඉසිඹුවක් දුන්නේ අපට තේරුම් ගැනීමටය. ඒ, ඒ චිත්‍රා පසුකාලීනව චිත්‍රා වරකාගොඩ වූ බවටය. ඒ කතාවද බොහොම රසවත්ය.

"හෙන්රි ජයසේන ඊට පස්සේ ම‌ට කීවා 'වරක්ස් ඇවිත් කුවේණි නාට්‍යයේ පූරකගේ භූමිකාව කරන්න' කියලා. එතැන ඉඳන් හෙන්රිගේ, අපට පුතේ මඟක් නැතේ, මනරංජන වැඩවර්ජන, හුනුවටයේ කතාව, දිරිය මව සහ ඇගේ දරුවෝ වගේ නාට්‍ය ගණනාවකට සම්බන්ධ වුණා.

"ඊළඟට මාව දැම්මේ අපරාධ අංශයට. මම කැමැති වුණෙත් නැහැ. පස්සේ මගේ ප්‍රධානියා සැර කළා. මොකද තනතුරු උසස් වෙද්දි සෑම අංශයක් ගැනම දැනුම තියෙන්න ඕනෙ නිසා. එතන ම‌ට හොඳ රාලහාමි කෙනෙක් හමුවුණා සාජන්ට් පෙරේරා 1140 කියලා." ඔහුට අපට අංකයද සහිතව කියන්නේ පොලීසියේ අමතන ආකාරයෙනි. අපට සිනා එයි. ඔහුද සිනාසෙයි.

"ක්‍රයිම් ඩිවිෂන් එකෙන් මට කොළඹ පොලිස් මූලස්ථානයේ රථවාහන සහ ප්‍රවෘත්ති අංශයට යන්න වුණාම ඒක පැය අටේ රස්සාවක් වගේ. මට රඟපාන්න යන්න ඕනෙතරම් වෙලාව තිබුණා. දෛවය මට අවස්ථාව දුන්නා. ඒ කාලෙම තමයි 1964දි මට මහාචාර්ය සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍යයේ පූරක වෙන්න කතා කළේ. ඒකත් රස කතාවක්. මෙහෙමයි" ඔහු රැල්බුරුල් හරිමින් සූදානම් වෙයි.

"මම අජාසත් රඟපාන අවදියේ මහාචාර්යතුමා ජපානයේ සංචාරයකට ගිහින්. නාට්‍යයේ අධ්‍යක්ෂ විමල් නවගමුව පේරාදෙණියේ සරච්චන්ද්‍ර මහත්තයාගේ ගෝලයෙක් නිසා නාට්‍යයට සම්මාන ලැබිච්ච එක එහෙට දන්වලා තිබුණා. ඩොක්ටර් සරච්චන්ද්‍ර ආපහු ලංකාවට එද්දි පිළිගන්න ගෝලබාලයන් කටුනායක ගුවන් තොටුපොළට ගියා. එතකොට ඔය වගේ අන්තර්ජාතික එකක් නෙවෙයි හරි වෙනස් ගුවන්තොටුපොළ හරි පොඩියි. විමල් මටත් කීවා රාජකාරියක් නැත්නම් යමු කියලා. මාත් නිකං ගියා. සරච්චන්ද්‍ර මහත්තයා ආපු හැමෝටම කතාකරගෙන එනවා. මට ඉතින් සම්බන්ධයක් නැති නිසා මම පැත්තකට වෙලා හිටියා. ඩොක්ට මගේ ළඟට ඇවිත් අහනවා 'ආ.. මාව ලයිට් නැතුව අල්ලපු ඉන්ස්පෙක්ටර් නේද මේ?' 'ඔව් සර්' 'බොහොම සන්තෝසයි හොඳම නළුවා වුණාට, අපට වැඩක් තියෙනවා කරන්න මම ළඟදිම කතාකරන්නම්කො' කියලා ගිහින් මාසෙකින් විතර තමයි මනමේ එකට කතා කළේ. එතුමා හරිම උපහාසාත්මකයි. අපේ බඩපැලෙන්න හිනායනවා කතාකරද්දි. හොඳ වෙලාවට මට නම් මුකුත් කියලා නැහැ.ඒ නිසා සිංහබාහු, පේමතෝ ජායතී සෝකෝ, කපුවා කපෝති, මහාසාර, ලෝම හංස වගේ නාට්‍ය සියල්ලේම මම රඟපෑවා" ඔහු කියන්නේ අභිමානය මුසු සතුටිනි.

"ඊට අමතරව බොහෝ නාට්‍යකරුවන්ගේ නාට්‍යවල රඟපෑවා. දයානන්ද ගුණවර්ධනගේ නාට්‍ය දෙකකත් රඟපෑවා අපි දෙන්නා ආනන්ද විද්‍යාලයේ එකම පන්තියේ හිටි යාළු කමට. ජසයා ලෙන්චිනා නාට්‍යයේ දෙවැනි වරට ජසයා වුණේ මම. ගුණසිරි හේවගේ පළමුවෙනි ජසයා උසස්වීමක් ලැබිලා නුවර ගිය නිසා මට චරිතය කරන්න කීවා. නන්දා ජයතුංග තමයි ලෙන්චිනා. මම 1982 රට ගියානේ සවුදි අරාබියාවට ගේ හදාගන්න ඕන නිසා. එතකොට තමයි ජයලත් මනෝරත්න ජසයා වුණේ. අනෙක් හැමෝම යාළු කමට මචං, බං, වරක්ස්, වරකේ, වරකයෝ එහෙම කියද්දි මගේ සම්පූර්ණ නම කියලා කතා කළ එකම කෙනා දයානන්ද ගුණවර්ධන. ඉස්කෝලෙ යන කාලෙත් බොහෝම නිශ්ශබ්ද චරිතයක්. මේ ක්ෂේත්‍රයේ කණ්ඩායම් බෙදෙනවානේ. මාව අහුවුණේ හෙන්රි ජයසේනගේ නළු කැලට. ජයලත් මනෝරත්න මාව එක සැරයයි නාට්‍යයකට ගත්තේ ආයේ ගත්තෙම නැහැ." ඔහු යළි සැරසෙන්නේ රස කතාවකටය.

"මහගිරි දඹට මාව අරගෙන අපි දුරපළාත්වල නාට්‍ය අරගෙන ගියා. දවසක් නාඋල පැත්තේ පිටිසර ගම්මානෙකට ගියා නමත් මතක නෑ. නාට්‍යයේ පෝස්ටර් ගහලා තිබුණේ මුවන්පැළැස්සේ කෝරළේ මහත්තයා රඟපාන මහගිරිදඹ කියලා. රඟපාන්න තිබුණේ එළිමහන් වේදිකාවක. මිනිස්සු ඔක්කොම ආවේ රෑ‌ට කාලා බීලා අට නවය විතර වෙලා නාට්‍යය බලන්න. පැදුරු එහෙම එළාගෙන ඉන්නවා. අපි නාට්‍යය පටන්ගත්තා. අපි සින්දු කියනවා මහගිරි දඹේ නඟිනවා.. ගගා. මිනිස්සු විනාඩි දහයක් පහළොවක් බලා හිටියා. කෝරළේ මහත්තයා නෑ. එකා දෙකා කෑගහන්න ගත්තා. ඕයි කෝ කෝරළේ. කෝරළේ මහත්තයා. අපිට ඕවා එපා. අපට කෝරළේ මහත්තයා‌ ඕනේ. ඕ...යි කෝරළේ මහත්තයා... නාට්‍යය පෙන්නගන්න බැරි තත්ත්වෙට ආවා. මනෝ මගෙන් අහනවා වරක්ස් අය්යා අපි දැන් මොකද කරන්නේ? මම කීවා මොනව කරන්නද මම කෝරළේ මහත්තයා කරන්නම් කියලා. මම වේදිකාවට ඇවිත් පටන් ගත්තා" ඔහු කෝරළේ මහත්තයාගේ හඬින් අපට කියයි. "මමද? මම මේක අතාරින්නෑ ලේසියෙන්. මගේ වැයික්කියේ කෑ ගහන්නේ කවුද බොල?' කියලා. මිනිස්සු විසිල් ගහනවා, හුරේ දානවා අප්පුඩි ගහනවා සල්ලි දෙනවා. මරේ මරු. හැබැයි මනෝට මාව එපා වුණා ඒකෙන්ම. ආයෙ නම් කවදාවත් නාට්‍යවලට ගත්තේ නැහැ. හාහ් හාහ් හා... මනෝ හැමදාමත් ඔයකතාව කියලා හිනාවෙනවා." ඔහුට කෝරළේ මහත්තයාගේ හඬ වෙනස් කිරීමට අමතකව ඒ හඬින්ම කියමින් සිනාසෙයි. එය අපේ සිනාව දෙගුණ තෙගුණ කරයි. පසුව ඔහු ආචාර්ය ජයලත් මනෝරත්නගේ රෝගී තත්ත්වය ගැන කණගාටුව අප සමඟ බෙදා ගනී.

මුවන් පැළැස්ස ඔහු රසිකයන් අතරට වඩාත්ම සමීප කළ ගුවන්විදුලි නාටකයයි. ඊට අමතරව දොළේ ලන්ද, කිවුලේ කුඹුර, දඹතැන්න, හන්දියේ ගෙදර, හේන් යාය ආදි නාට්‍ය ගණනාවකට පසුවය ඔහු එයට සම්බන්ධ වූයේ. වසර 55ට අධික කාලයක් විකාශය වූ ගුවන්විදුලි නාට්‍යය ලෙස වාර්තාගත වන එහි එකම චරිතයක් ඒ කාලය පුරාම කළ එකම ශිල්පියා ලෙස විජේරත්න වරකාගොඩයන්ද වාර්තාවකට හිමිකම් කියයි. "අපි මුවන්පැළැස්ස ලෝක වාර්තාවක්ද කියලා බලන කාලේ බීබීසී එක කීවා ද ආචර්ස් ෆැමිලි කියන ඔවුන්ගේ කතාව ඊට වඩා පරණයි කියල. 1950 පටන් ගත් නිසා. දැන් ඒක වෙනස්වෙලාද දන්නේ නැහැ. හැබැයි එකම චරිතය අවුරුදු 55ක් කරපු ලෝකේ එකම ගුවන්විදුලි නාට්‍ය ශිල්පියකු නම් මම ඇරෙන්න තවත් ඉන්න බව වාර්තා වෙලා නැහැ." ඔහුගේ මතකයේ හැටියට මුවන්පැළැස්ස ඇරඹෙන්නේ 1963 අගභාගයේ වුවද ඒ පිළිබඳ කිසිදු සටහනක් ගුවන්විදුලි සංස්ථාව සතුව නැති බැවින් එහි ආරම්භක රචක වෛද්‍ය මුදලිනායක සෝමරත්නගේ ඡායාරූපයක සටහන් කර ඇති පරිදි 1964 මාර්තු 12 ඇරඹූ බව පමණි සාක්ෂියකට ඇත්තේ.

("ඒ කාලේ සජීවීවනේ නාට්‍ය කරන්නේ. වරද්දන්න බෑ. කැස්ස ආවත් ඒකත් ඒ වෙලාව අනුව කතාවට ඈඳා ගන්නවා. මුල් කාලේ ආරච්චිල පස්සේ කෝරලේ වුණේ මුදලිනායක 1971 අප්‍රේල් 5 ජේවීපී කලබල පටන්ගත්ත දාම ඇමෙරිකාවට ගිය නිසා. තේවිස් ගුරුගේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කීපදෙනකුට කතා කරලා කීවා මේක නතර කරන්න බෑ ඒ නිසා මිගෙල්, ගැමුණු, මුණසිංහ ලියන්න බලන්න කීවා. වික්ටර් මිගෙල්ගේ කතාව තමයි තේරුණේ. ටික දවසකින් මුදලිනායක නීතිඥයෙකුගේ මාර්ගයෙන් එන්තරවාසියක් එවනවා නාට්‍යය එයාගේ අයිතියක් කියලා. තේවිස් ගුරුගේ මහත්තයා කීවා ඒක වැරැදියි අපි ඒ වෙනුවෙන් එයාට ගෙවීමක් කරලා තියෙන නිසා අයිතිය ගුවන්විදුලියටයි. ඒත් වඩා හොඳට නම්ගම් ටික මාරු කරමු කියලා. ඒ නිසා තමයි (යළිත් ඒ හඬින්) ගෝනර් උන්නාන්සේ බොහොම පැහැදිලා උසස් වීමක් දීලා මම කෝරළේ මහත්තයා වුණේ, එතනා හාමිත් ඒ නිසා කෝරළේ මැණිකේ වුණා. අපි අදටත් සුමාන දෙකකට සැරයක් ගිහින් රෙකෝඩ් කරනවා මුවන්පැළැස්ස. බලන්න ඒකෙත් හැටි. මම රට ගිය වෙලාවේවත් මුවන්පැළැස්ස නතර වුණේ නැහැ. මම යනවා කීවාම වික්ටර් මිගෙල් ඔළුවේ අත ගහගත්තා කොහොමද කෝරළේ මහත්තයා නැතුව කතාව කරන්නේ කියලා. මම එතකොට චිත්‍රපට සංස්ථාවේ පාලන කළමනාකරු හිටියේ. ඒ කාලේ අපි චිත්‍රපට පිටපත් කියවීමේ මණ්ඩලයක් තිබුණා. ඔක්කොම ප්‍රවීණයන් හිටියේ. මම මුලින්ම ආවේ චිත්‍රපට සංස්ථාවේ ගබඩා කළමනාකරු හැටියට. ඩී. බී. නිහාල්සිංහ මහත්තයා තමයි මාව ගත්තේ. පස්සේ නිෂ්පාදන කළමනාකරු වුණා. ඒ කාලේ මම අපේ සිනමාකරුවන්ට පුළුවන් තරම් උදව් කළා. ඒ අතර රඟපෑමත් කළා. පස්සේ 1982 රට ගියත් මම අවුරුද්දකට කීපවතාවක් එනවානේ. ඒ වෙලාවට ඉදිරියට අවශ්‍ය කොටස් කීපයක් රෙකෝඩ් කරගත්තා. ඉන්න ටිකේ සජීවී කොටසුත් කළා.")

පොලීසියෙන් අස්වීමට හේතුවද ඔහු රස කර කීවේය. "කලාවට නැඹුරු වීම එක හේතුවක්. මගේ පීසී වොලී බැස්ටියන්. අපි දෙන්නා බයිලා කිය කිය තමයි ඉස්කෝලවල ළමයින්ට එහෙම මාර්ග නීති ඉගැන්නුවේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක එකතුවෙලා. (අපි හිනස්සමින් ඔහු කියයි) අපට ආවා තුරෙයිරත්නම් කියලා එස් පී කෙනෙක්. අලුතෙන් උසස් නිලධාරියෙක් ආ ගමන් හොඳ හිත ගන්න කේලාම් කියන අය ගිහින් මා ගැන ගතු කීවා රඟපානවා කියලා. එයා‌ට කලාව ගැන කිසිම හැඟීමක් නෑ. මට එන්න කීවා. මම සැලියුට් එකක් දාලා හිටගත්තා. ඉංග්‍රීසියෙන් ඇහුවා ඔයා පොලිස් නිලධාරියෙක්ද නළුවෙක්ද ඇහුවා. මම කීවා දෙකම කියලා. එහෙම දෙකක් බෑ. පොලිස් නම් මුළු ජීවිතේම පොලිස් විය යුතුයි කීවා. මම තීරණයක් ගත්තා. මම කවදාවත් කලාව ජීවිකාව කරගත්තේ නැහැ. අදටත් මම රඟපාන්න ගාණක් කියන්නේ නැහැ. ඒ නිසා මම ගැසට් එක බලද්දි ඔරුවල වානේ සංස්ථාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී තනතුර තිබුණා. මම ඒකට ඉල්ලුම් කළා. ප්‍රධානියාගෙන් අස්සන ගන්න ගියාම මට හිනා වෙලා ඇහුවා ඔයා මේක ඉල්ලන්නේ ඇමති අඳුනනවද කියලා. මම කීවා ඔව් සර් ඇමති මගේ මාමා කියලා මම කීවා. ඒක ලැබුණාම මම පොලීසියෙන් අස් වුණා. පොලීසියේදී 426 සාජන්ට් පෙරේරා සුජාතා අත්තනායකගේ තාත්තත් මාත් එක්ක වැඩ කළා. මම තාම සුජාතාටවත් නොකියපු රහසක් කියන්නම්. සාජන්ට් පෙරේරා දුව ගැන මට යෝජනා කළා. ගෙදරට කෑම වේලකටත් ආරාධනා කළා. මම මුකුත් එදා කීවෙත් නෑ. සුජාතාට අද වෙනකල් කීවෙත් නැහැ. අද සරසවියට තමයි මුලින්ම කීවේ. ඒ වෙද්දි මම චිත්‍රාව දැකලා තිබුණේ.

චිත්‍රා වරකාගොඩ මහත්මියද තේ රැගෙන අපවෙත ආ මොහොතේ කතාව වඩාත් රසවත් විය.
"කුවේණි කරද්දි මෙයා හරි කෙට්ටුයි. ඉස්කොලෙ යන ගෑනු ළමයෙක්නේ. ඉතින් ලස්සන වුණාට මගේ එච්චර ආලවන්ත හැඟීමක් ඇති වුණේ නැහැ." වරක්ස් මහතා ඇද පැද කියද්දි එය හෙළා දකිමින් විරුද්ධ පක්ෂයේ හඬ නැඟිණි.

"ආ මොකද නැත්තේ. ලුම්බිනියේ කර්ට්න් එකේ එල්ලිලා මම රඟපානවා බලාගෙන ඉඳලා අනේ අර කෙල්ලව මට කවදා හරි කසාද බැඳගන්න තිබුණ නම් හොඳයි කියලා කිව්වලු."
"හා හා හා ඉතින් ඒවා ඉතින් අපේ හිතේ විතරයි." වරක්ස් අංකල් බේරීමට දැඩි උත්සාහයක යෙදෙයි. පසුව කතාව හරවයි. "ඉතින් මාව ගත්තානේ කුවේණි එකේ පොතේ ගුරාට. එතකොට මට අවස්ථාව ලැබුණා මේගොල්ලොත් එක්ක නාට්‍ය කණ්ඩායමේ සම්බන්ධ වෙන්න. අම්ම මෙයාව ගාඩ් කරනවා. ඒත් බෝකුන්දරින් බැහැලා ගෙදරට යන ටික අනෙක් අය මේගොල්ලන්ව බස්සන්න යද්දි මමත් පැනගෙන යනවා. පස්සෙ ගෙදර යන්නත් ගත්තා. 66 අවුරුද්දේ මෙයා යුනිවර්සිටියට පාස් වුණා. මම තාම වටින් ගොඩින්නේ. මට චකිතයක් ආවා කැම්පස් ගියාට පස්සෙ මොනව වෙයිද දන්නෙ නැහැ කියල. කැම්පස් එවුන් විශ්වාස කරන්නත් බෑනේ. මම කීවා බඳිමු කියලා. තාත්තා කීවා දුව ඉස්කෝලෙන් මුලින්ම කැම්පස් පාස්වුණු ළමයා නිසා අධ්‍යාපනය කඩන්න බෑ කියලා. මම ඒකට එකඟ වුණා. ඒත් බයිසිකලේ ගිහින් කොළඹ කැම්පස් එකේ නතර කරගෙන මමත් ඉන්නවා"

රස වැඩි වන්නේ චිත්‍රා මහත්මියගේ ඌන පූරණයෙනි. "ඩබ්ලිව් ජයසිරි මට වඩා අවුරුද්දක් සීනියර්. ගමේ වැල ගමේ කපුටන්‌ට මේ කොහෙවත් යන එකෙක්ට දෙන්න බෑ අපි අරූට ගහමු කියලා. පස්සේ අනෙක් ළමයි කිව්වලු පලයං පුළුවන් නම් ගහපං. පස්සෙ පොලිසීයෙන් බැටෑලියන් එක ආවාම උඹට තේරෙයි කියලා. කොහොම හරි අවුරුදු තුනම මාව ගාඩ් කරලා ඊළඟට ආපු මුල්ම නැකතේ බැන්දා."

ඉතිරිය ඔහු පුරවයි. "මැයි හොඳම නැකත ආවේ. ඒත් හොටල් ඕක්කොම බුක් කරලා. පස්සේ අපි 1970 ජනවාරි 28 ට නැකත පස්සට ගත්තා. තැප්‍රොබේන් එකේ ගත්තේ. ඒ කාලේ බත් දෙන්නේ නැහැ. ෂෝට්ඊට්ස් දෙන්නේ. අපි ආරාධනා කළේ 750ටයි. දාහකට වඩා ආවා ආරාධනා නැතුවත්. ඉස්සල්ලාම අපට සුබ පැතුවේ රුක්මනී දේවීයි එඩී ජයමාන්නයි. විමලදාස පෙරේරා අපේ මඟුල් ගේ ෆිල්ම් කළා. සරසවිය පත්තරෙත් පින්තූර ගියා. හොඳ වෙලාවට අපි කලින් දවස ගත්තේ. මැයිවල චන්දෙ ආපු නිසා ඔක්කොම වෙඩින්ස් කැන්සල් වුණා. අපි බැඳලා නුවර යනවා කියලා කාර් එකේ ගෝල්ෆේස් පැත්තට ගියා. පස්සේ මගේ ස්පීඩ් ට්වින් 500ජජ බයිසිකලේ නැඟලා දවස් 10ක් රට වටේම හනිමූන් ගියා. එතකොට මම වානේ සංස්ථාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හැටයට හොඳ ක්වාටස් එකක් දීලා තිබුණා. අපි එද්දි හොඳටම වහිනවා. ඇඳුම් බයිසිකලේ දෙපැත්තේ දාගෙන තෙමි තෙමි ආවා. පොළොන්නරුවට ආවේ බයිසිකලේ කෝච්චියට දාලා ගාඩ්වෑන් එකේ අපි දෙන්නා නැඟලා. චිත්‍රලෑ අම්මලා බයවෙලා අපි කොහේ ගියාද කියලා. ඒත් හෝම් කමින් එකට අමුත්තො එද්දි අපි කිසිදෙයක් නෑ වෙඩි වගේ හොඳට හිටියා. අපට ඒ මුළු ගමනටම ගියේ රුපියල් 800යි." තව කතා ගොඩකි. සිනා සාගරයකි. ඉන් පසු ඔහු හෙළි කළේ තම බිරියටද වසර 50ක් සඟවාගෙන සිටි රහසකි.

"අවුරුද්දක් පහු කරලා අපි දරුවො හදන්න තීරණය කළා. පුළුවන් තරම් තරුණ කාලේ රස විඳලා තියෙනවා අපි. ඒ අතර මම වැඩට යද්දි දවසක් හර්බට් එම් සෙනෙවිරත්න මාව හමුවෙන්න යනවා. පාරෙදිම මුණ ගැහුණා. "වරකෙ මම මේ අහන්න ආවේ නංගිව (චිත්‍රා) අපේ අලුත් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙට ගන්න" කීවා. මම කල්පනා කළා ඒ කාලෙම ක්ෂේත්‍රයට ගියොත් කවුරු හරි මෙයාව ඩැහැගන්නවා. ඒ කාලේ ගුවන්විදුලියයි, චිත්‍රපටියි කියන්නේ බැඳපු හැම මිනිහෙක්ටම තව ගෑනියෙක්, බැඳපු හැම ගෑනිටම වගේ තව මිනිහෙක් හිටපු ක්ෂේත්‍ර දෙකක්. ඒක වෙන්න දෙන්න බෑ කියලා. මම කීවා 'හරි වැඩේනේ චිත්‍රාට බබෙක් හම්බෙන්න ඉන්නවා චිත්‍රපටය පටන්ගන්න කාලෙ වෙද්දි බඩ ලොකුවටම පෙනෙයි කියලා." මෙය පළමුවරට ඇසුවේ අප පමණක් නොවේ. චිත්‍රා වරකාගොඩ මුව අයාගෙන තම ස්වාමියා අඩසියවසක් සඟවාගෙන සිටි කතාව අසා සිටියාය. ඉන්පසු බොළඳ කෙල්ලක පෙම්වතාට නොරිදෙන්නට පහරක් ගසන්නාක්මෙන් ඔහුගේ බාහුවට ගසා "මෙයා නම් මාර හොරෙක් තමයි අද වෙනකල් මම දන්නේ නැහැ එහෙම දෙයක්." යැයි නෝක්කාඩු කීවාය.

ඔහු මහා හයියෙන් කෝරළේ මහත්තයා මෙන් සිනාසෙන්නට විය. "ඒක තමයි ආදරේ කියන්නේ නේද?" ඔහු අපෙන් විමසුවේය. අපට ද සිනා පාලනය කරගත නොහැකි විය. අවසානයේ ඇයද සිනාසෙන්නට වූවාය. "ඒක ආදරේ නෙවෙයි කෑදරේ නේද?" ඇය සිනාසෙමින්ම අපෙන් විමසුවාය. යළිත් ඔහු කතාව ඇරඹීය.

"ඊට අවුරුද්දකටත් විතර පස්සේ 1972 තමයි දුව ඉපදුණේ. පුතා 1977 ලැබුණා. දැන් අපට මුණුපුරකුයි මිනිබිරයකුයි ඉන්නවා. මම පුංචි කාලේ ඉඳලා ආගම දහමට ලැදි ළමයෙක්. මම ඉස්කෝලෙ යන කාලේ නතර වෙලා හිටියේ උපාසක මහත්මයෙකුගේ ගෙදර. එතුමා පුරුදු කළා රෑ නිදියන්න කලින් පැයක් විතර බණ පොත් කියවනවා. රේඩියෝවේ බණ යනවා නම් ඒක අහන්නේ හිටගෙන දොහොත්මුදුන් දීලා වැඳගෙන. තාත්තා මම අපේ අය්යලා දෙන්නෙක් පොලිසියේ හිටියා කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් කළේ නැහැ. වැරදි වැඩට යොමු වුණේ නැහැ. අනෙක් අවස්ථාවලත් අවංක නිලධාරීන් හැටියට හිටපු පින තමයි දෛවය අපව දරුණු අවස්ථාවලින් බේරන්නේ." වරකාගොඩ යුවළම එයට එකඟතාව පළ කරමින් තවත් රස කතා සයුරක අප ගිල්වා තැබූ බව කිව යුතුමය. එහෙත් දශක අටහමාරකට අධික අත්දැකීම්,‌ තොරතුරු කෙසේ මෙලෙස සටහන් කරන්නද? අපි ඔහුට ස්වයංචරිතාපදානයක් ලියන ලෙස ඉල්ලීමක් කළෙමු. පසුව, උපන්දිනයට, විවාහ සංවත්සරයේ ස්වර්ණ ජයන්තියට මෙන්ම දශක හයක කලා දිවියට සුබ පතමින් ඔය ශක්තියෙන්, ඔය කාර්යශූරත්වයෙන්, ඔය ධනාත්මක සිතිවිල්ලෙන් චිරාත් කාලයක් අපේ කලාකෙත පෝෂණය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි ඒ කැදැල්ලෙන් පිටත් වුණෙමු.

තිලක් පෙරේරා




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  467 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,751 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,779 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,361 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,589 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,601 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,666 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,650 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,739 Downloads



Top 10 Commenters

Latest Comments

Top