ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවති නඩු කටයුතු අවසන් කර එම නඩුවේ චෝදනාවලින් ජනාධිපතිවරයා නිදහස් කිරීමට ස්ථීර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා.
ඒ, එම නඩුව මෝසමක් මගින් අද යළි කැඳවූ අවස්ථාවේදීයි.
වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනුකර තිබුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥ සනත් විජේවර්ධන මහතා විසින් මෙම නඩුව අද කැඳවන ලෙස මෝසමක් මගින් ඉල්ලීමක් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත්‍ර මෙම නඩුවට අදාළව අධිකරණය භාරයේ පැවති බැවින්, එය නිදහස් කර ගැනීම සඳහායි.
ඒ අනුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද දින මෙම නඩුව යළි කැඳවනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 -1 වගන්තිය යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුකරය ඉදිරියට පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවයි.
ඒ අනුව මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවති නඩු කටයුතු අවසන් කර ඒ මහතා මෙම නඩුවෙන් මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළා.
කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපති ගෝඨාභය මහතාට එරෙහි පැවති නඩු කටයුතු අවසන් කර ඔහු මෙම නඩුවෙන් නිදහස් කිරීමට තීරණය කළා.
එසේම මෙම නඩුවට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවති විදෙස් ගමන් තහනම ඉවත් කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අධිකරණ භාරයේ පැවති ජනාධිපතිවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය ද මුදා හැරියා.
මෙම නඩුවට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත්ව සිටි ඇපකරුවන් නිදහස් කිරීමට ද ඇප මුදල් නැවත ලබාදීමට ද නියෝග කළා.