ත්‍රිකුණාමලයේ මුහුදේ දිය රළ සමග වෙරළට ගසාගෙන ආ බෝතලයක් තුළ තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ජා ඇල පමුණුගම සේදවත්ත ප්‍රදේශයේ තිස්හත් හැවිරිදි සංචාරක ධීවරයකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මයිකල් ඇන්ටන් නමැති එක්දරු පියෙක් බවයි සදහන් වන්නේ.
මියගිය අයගේ මව වන තුසිල්වා නානායක්කාර කියන හැටියට සිය පුතා මා දැල් රැකියාව සඳහා පසුගිය අගෝස්තුවේදී තවත් පහළොස් දෙනෙකුගෙන් පමණ පිරිසක් සමග ත්‍රිකුණාමලයට ගොස් තිබෙනවා. මීට පෙරද ඔහු ත්‍රිමලේ මාදැල් රක්ෂාවට ගොස් ඇති පුරුදු පුහුණු අයෙකි. දැනගන්නට ඇති පරිදි මාදැල් රැකියාවේ දැල් කූරු ගැසීමට (කටයුතු අවසන් කිරීමට) දින දෙකක් තිබියදී සවස් වරුවේ හදිසි මුහුදු රළ සමග ගොඩට පාව ආ විස්කි බෝතලයක හැඩ රුව ඇති කදිම බෝතලයක් මෙම පිරිසට හමුව තිබෙනවා.
බෝතලය ලැබීමෙන් අධික සතුටට පත් පිරිසේ සිටි එකොළොස් දෙනෙකු එදින රාත්‍රියේ එම බෝතලයේ තිබූ දියරය පානය කර තිබෙන අතර තිදෙනකු ඊට සම්බන්ධ වී නැහැ. එසේ එම බෝතලයේ තිබූ දියර පානය කිරීමෙන් පැය කීපයක් ගත වෙත්ම එම දියරය පානය කළ සියලුදෙනාම වමනය දමන්නට පටන්ගෙන ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ. තත්ත්වය දරුණු අතට හැරෙත්ම ඉතුරු තිදෙනා තවත් පිරිසකගේ සහය ඇතිව වමනය කරමින් සිටි සිය සගයන් එකොළොස් දෙනා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කොට තිබෙන බවයි පැවසෙන්නේ.
රෝහලට ඇතුළත් කළ එකොළොස් දෙනාගෙන් තිදෙනකු මියගොස් ඇති අතර ඉන් එක් අයෙකු ජා ඇල පමුණුගම සේදවත්තේ මයිකල් ඇන්ටන්ය. මුතුරාජවෙල රක්ෂිතයට ආසන්න කුඩා නිවෙසක දිවි ගෙවන ඇඟලුම් කම්හලක අත්උදව්කාරියක හැටියට සේවයේ යෙදෙන ඇන්ටන්ගේ බිරිඳත් පාසල් යන කුඩා දියණියත් මේ මරණයත් සමග දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි සදහන් වන්නේ. ඇන්ටන්ගේ මව පවසන්නේ මරණයට හේතුව තම පුතුගේ මත්පැන්වලට ඇති ගිජුකම බවයි.