එයට හේතුව නම් දැන් ඇමෙරිකාව යළිත් වරක් සඳ වෙත මිනිසුන් යැවීමට සූදානම් වෙමින් සිටීමයි. මීළඟ සඳ ගමන සිදුවීමට නියමිතව ඇත්තේ 2024 වසරේය. ඒ අතර පැවැසෙන වැදගත් කතාවක් වන්නේ මෙවර සඳ මත පා තබන කණ්ඩායමට ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක ද අයත් වනු ඇති බවයි.
දැන් බොහෝදෙනකු මහත් උනන්දුවෙන් යුතුව බලා සිටින්නේ එම වාසනාව හිමි කරගන්නා අජටාකාශගාමිනිය කවුරුන් වනු ඇත්ද කියාය. ඒ කවුරුන් වුවත් ඇයද නීල් ආම්ස්ට්‍රෝන් මෙන්ම අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ සුවිශේෂී තැනක් හිමි කරගැනීමට සමත් වනු ඇත. ඒ සඳ මත පා තැබූ පළමු කාන්තාව ලෙසිනි.
මෙම වරම හිමිකරගනු ඇතැයි අනුමාන කෙරෙන අජටාකාශගාමිනියන් දෙදෙනකු ගැන මෙයට සති කිහිපයකට පෙර යම් කතාබහක් ඇතිව තිබෙනු දැකිය හැකිවිය. පළමු සඳගාමිනිය වීමේ අවස්ථාව මේ දෙදෙනාගෙන් කෙනකු හිමි කරගැනීමට ඉඩ ඇති බවට හැඟීමක් බොහෝදෙනකු තුළ ඇති වී තිබිණි.
ඔවුන් දෙදෙනා නම් 40 හැවිරිදි ක්‍රිස්ටිනා කොච් සහ 42 හැවිරිදි ජෙසිකා මයර් යන දෙදෙනායි. මේ දෙදෙනාම මේ වනවිට ඇමෙරිකාවේ නාසා ආයතනයට සම්බන්ධව කටයුතු කරන ඇමෙරිකානු ජාතික අජටාකාශගාමිනියන්ය.
ඔවුන් මේ වෙද්දී රැඳී සිටින්නේ පෘථිවියෙහි සිට කි.මී. 400ක් පමණ ඉහළින් ගමන් කරමින් තිබෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නමැති පර්යේෂණාගාරයේයි. දැනට නාසා ආයතනයට සම්බන්ධ අජටාකාශගාමිනියන් කිහිපදෙනා අතරින් මේ දෙදෙනා යම් විශේෂත්වයක් හිමි කර ගනිති. එයට හේතුව නම් ඔවුන් මෙයට ටික දිනකට පෙර තවත් ඓතිහාසික කටයුත්තක නිරත වීමයි.
එම කටයුත්ත අභ්‍යවකාශයේ ඇවිදීම නමින් හැඳින්වෙන කාරණාවට අදාළ වූවකි. මෙහිදී සිදුවන්නේ අජටාකාශගාමීන් සිය යානයෙන් පිටතට පැමිණ අභ්‍යවකාශයේ පාවෙමින් යම් යම් කටයුතුවල නිරත වීමයි.
යානාවල පිට පැත්තේ ඇති නඩත්තු කටයුතු ආදිය බොහෝ විට සිදු කරන්නේ මේ අයුරිනි. යානයක් තුළ සිටිනවාට වඩා මේ ආකාරයෙන් යානයකින් පිටත පැමිණ කටයුතු කිරීම අනතුරුදායක, අභියෝගාත්මක වැඩක් ලෙස සැලකෙන්නකි.
කාන්තාවන්ගෙන් පමණක් සමන්විත කණ්ඩායමක් ඉතිහාසයේ කිසිදු දිනක මේ ආකාරයෙන් අභ්‍යවකාශ යානයකින් පිටත පැමිණ එවැනි කටයුත්තක නිරතව තිබුණේ නැත. බොහෝවිට එවැනි කටයුතු කර තිබුණේ පිරිමින්ගෙන් සමන්විත කණ්ඩායම්ය. කාන්තාවන්ද ඉඳහිට යානාවලින් පිටත පැමිණ අභ්‍යවකාශයේ ඇවිද තිබුණත් ඒ සෑම අවස්ථාවකම පිරිමිද ඔවුන් සමඟ සිටියහ.
නමුත් ප්‍රථම වතාවට කාන්තාවන් දෙදෙනෙකු පමණක් අභ්‍යවකාශයේ ඇවිදීමේ ඓතිහාසික කටයුත්ත පසුගිය ඔක්තෝබර් 18 වැනි දින සිදුවිය. මෙම වික්‍රමය කළ අජටාකාශගාමිනියන් දෙදෙනා වූයේ ක්‍රිස්ටිනා කොච් සහ ජෙසිකා මයර්ය. ඔවුහු දෙදෙනා පැය 7කට ආසන්න කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් ඔවුන්ගේ යානයෙහි සූර්ය කෝෂ හා සම්බන්ධ නඩත්තු කටයුත්තක නිරත වූහ.
මොවුන් දෙදෙනාගේ මෙම ඓතිහාසික කටයුත්ත සහ කාන්තාවන් හැටියට ලැබූ ජයග්‍රහණය අගය කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද, ධවල මන්දිරයේ සිට ඔවුන්ගේ යානය සමග වීඩියෝ ඇමතුමක් හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ට සුබ පැතුවේ ය.
ක්‍රිස්ටිනා කොච් සහ ජෙසිකා මයර් දෙදෙනා ලබා ඇති පළපුරුද්ද සහ අත්දැකීම් නිසා පළමු වරට සඳ මත පා තබන කාන්තාව බවට පත්වීමට මොවුන් දෙදෙනාගෙන් කෙනකු සමත් වනු ඇතැයි යන අදහසක් මේ වනවිට බොහෝදෙනකු තුළ තිබෙන බවක් පෙනේ.
මේ අතර ඉහත කී අභ්‍යවකාශයේ ඇවිදීමේ කටයුත්තෙන් පසු අභ්‍යවකාශයේ සිටිමින්ම මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ජෙසිකා පවසා තිබුණේ සඳ මත පා තබන පළමු අජටාකාශගාමිනිය වීමේ සිහිනයක් තමා තුළ කාලයක සිටම තිබෙන බවයි.
කෙසේ හෝ වේවා, 2024 වසරේ සිදුවීමට නියමිත සඳ ගමන ගැන ඇති වූ කතාබහකදී නාසා ආයතනයේ ප්‍රධානියා වන ජිම් බ්‍රයිඩ්න්ස්ටයින් පවසා තිබූ කතාවක්ද මෙහිදී අදාළ වෙයි. ඔහු පවසා තිබුණේ මේ වනවිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කටයුතු කර පලපුරුද්ද ඇති කාන්තාවක එම සඳ ගමන සඳහා තෝරා ගැනෙනු ඇති බවයි.
ඒ අනුවද ක්‍රිස්ටිනා සහ ජෙසිකා මෙම ඓතිහාසික චාරිකාව සඳහා සුදුසුකම් ලබති. නමුත් ඔවුන් දෙදෙනා මෙන්ම ඒ සඳහා සුදුසුකම් ලබන තවත් කිහිපදෙනකුම සිටින බවද මෙහිදී අමතක කළ හැකි නොවේ. මේ වනවිට නාසා ආයතනයට සම්බන්ධව සිටින අජටාකාශගාමීන් ගණන 38කි. මේ අතරින් 26 දෙනකු පිරිමින් වන අතර 12 දෙනකු කාන්තාවන්ය.
මෙම කාන්තාවන් 12 දෙනා අතරින් තවත් කිහිප දෙනෙක්ම මේ වෙද්දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කටයුතු කර පළපුරුද්ද ඇති අය වෙති. ඒ අතරින් ක්‍රිස්ටිනාට සහ ජෙසිකාට ඇති අමතර සුදුසුකම වන්නේ ඔවුන් පසුගියදා කළ අභ්‍යවකාශයේ ඇවිදීමේ මෙහෙයුම නිසා ලැබූ සුදුසකමයි.
නීල් ආම්ස්ට්‍රෝන්ලා සඳට ගිය කාලයේ මෙන් නොව මේ වනවිට මෙම ක්‍ෂේත්‍රය තුළ කාන්තාවන්ගේ දායකත්වය විශාල වශයෙන් වැඩි වෙමින් තිබේ. එදාට වඩා කාන්තාවෝ විශාල පිරිසක් මේ වෙද්දී නාසා අභ්‍යවකාශ ආයතනයේ විවිධ ක්‍ෂේත්‍රවල කටයුතු කරමින් සිටිති.
මෙම තත්ත්වය තුළ අනාගතයේදී අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයෙහි කාන්තාවන් ලබන ජයග්‍රහණ තවත් වැඩිවනු ඇති බව බොහෝ විශේෂඥයන්ගේ අදහසයි. මේ අතර ජිම් බ්‍රයිඩ්න්ස්ටයන් පවසා තිබූ තවත් කතාවක් වූයේ කවදා හෝ අඟහරු ග්‍රහයා මත පා තබන පළමු තැනැත්තා කාන්තාවක වීමට වැඩි ඉඩක් ඇති බවය.
අඟහරු වෙත මිනිසකු යැවීම සඳ වෙත මිනිසකු යැවීමට වඩා අතිශයින් බැරෑරුම්, අභියෝගාත්මක, අනතුරුදායක කටයුත්තකි. පෘථිවියේ සිට කි.මී. තුන් ලක්‍ෂ අසූහතර දහසක් පමණ දුරින් පිහිටි සඳ වෙත යෑම සඳහා නීල් ආම්ස්ට්‍රෝන්ලාට ගත වූයේ දින 3ක කාලයක් පමණි.
නමුත් පෘථිවියේ සිට අඟහරු දක්වා ඇති අවම දුර ප්‍රමාණය කි.මී. මිලියන 55 කට ආසන්න වන අතර එම ගමන සඳහා දළ වශයෙන් මාස 7ක පමණ කාලයක් ගතවනු ඇති බව විශ්වාස කෙරේ. ආපසු පැමිණීමටද බොහෝ දුරට එවැනිම කාලයක් ගතවනු ඇත.
මේ තරම් දිගු කාලයක් ගුරුත්වාකර්ෂණයෙන් තොර තත්ත්වයක් යටතේ ජීවත්වීම අභියෝගාත්මක කටයුත්තක් වන අතර අභ්‍යවකාශයේ ඇති විකිරණ ආදියෙන් ඇතිවන බලපෑමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. මෙවැනි අභියෝග, අනතුරු තිබුණත් නාසා ආයතනය පවසන්නේ 2030 දශකයේ පමණ මිනිසුන් අඟහරු වෙත යැවීමට බලාපොරොත්තු වන බවයි.
යම් හෙයකින් ඒ ආකාරයෙන් අඟහරු මත පා තබන පළමු පුද්ගලයා කාන්තාවක වුවහොත් එය කාන්තාවන් ලබන අති විශේෂ ජයග්‍රහණයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.