2020 ඇමරිකානු ජනාධිපතිවරණයට පෙර දේශපාලන දැන්වීම් පාලනය දැඩි කිරීමට ට්විටර් සමාජ මාධ්‍ය ජාලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, කිසියම් අපේක්ෂකයෙකු, දේශපාලන පක්ෂයක්, පත්කළ හෝ තෝරා ගැනුණු රජයේ නිලධාරියෙක්, මැතිවරණයක්, ජනමත විචාරණයක්, මැතිවරණ ක්‍රියාදාමයක්, නීති කෙටුම්පතක්, නියාමනයක්, විධානයක් හෝ අධිකරණ තීන්දුවක් ට්විටර් ඔස්සේ ප්‍රවර්ධනය කිරීම සපුරා තහනම් වනු ඇති.
ට්විටර් සමාජ මාධ්‍ය ජාලය දේශපාලන දැන්වීම් ප්‍රචාර තහනම පිළිබඳව පසුගිය මාසයේ පළමුවෙන් ප්‍රකාශ කළ ද, නව ප්‍රතිපත්ති පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ කළේ නැහැ.
එහෙත්, ට්විටර් මගින් ඊයේ ප්‍රකාශයට පත් කළ පරිදි නව තහනම නොවැම්බර් 22 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.
කෙසේ නමුත් ට්විටර් හි ප්‍රතිවාදී ෆේස්බුක් සඳහන් කළේ සිය සමාජ මාධ්‍ය ජාලයේ දේශපාලන ප්‍රචාරණ සීමා කිරීමට අදහසක් නොමැති බවයි.
මේ අතර, තමාට එරෙහි දෝෂාභියෝග විභාගයේ සාක්ෂි විමසීමට ට්විටර් ඔස්සේ සජීවි ලෙස මැදිහත්වීම පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබෙනවා.
ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුණේ සිය දේශපාලන ප්‍රතිවාදියෙකුට එරෙහිව යුක්රේනයේ ජනාධිපතිවරයාගේ සහය ඉල්ලා සිටීම හේතුවෙන්.
යුක්රේනයේ හිටපු ඇමරිකානු තානාපතිනිය මාරි යුවනොවිච් කොංග්‍රස් මණ්ඩල කමිටුව හමුවේ සාක්ෂි ලබා දෙන අතරතුර ජනපති ට්‍රම්ප් ඇය විවේචනය කරමින් යොමුකළ ට්විටර් පණිවුඩ එම කමිටුවේදී ප්‍රසිද්ධියට පත් කෙරුණා.
එය ජනාධිපතිවරයා දෝෂාභියෝග පරික්ෂණයට මැදිහත්වීමක් ලෙසයි කොංග්‍රස් කමිටු ප්‍රධානියා හැඳින්වූයේ.