හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් විසින් මීට වසර 30කට පෙර පිහිටුවූ වාර්තාවක් පසුගියදා ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම් අතර පැවැති විස්සයි-20 තරගයකදී 15 හැවිරිදි ඉන්දීය ක්‍රීඩිකාවක් වන ෂේෆාලි වර්මා විසින් බිඳහෙළන ලද පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව මෙම තරගයේදී ෂේෆාලි වර්මා පන්දු 49කදී වේගවත් ලකුණු 73ක් රැස්කරගත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අඩුම වයසකදී එනම් වයස අවුරුදු 15ක් සහ දින 285කදී අර්ධ ශතකයක් රැස්කළ කළ ඉන්දීය ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවගේ වාර්තාව සියතට ගනිමින්.
මෙහිදී ඇය විසින් බිඳහෙළන ලද්දේ මීට වසර 30කට පෙර එනම් 1989 වර්ෂයේදී පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයකදී (16 හැවිරිදි වියේ පසුවන විට) අර්ධ ශතකයක් වාර්තා කරගනිමින් හිටපු ඉන්දීය සුපිරි පිතිකරුවකු වන සචින් ටෙන්ඩුල්කාර් පිහිටුවා තිබූ වාර්තාවක්.
තවද ෂේෆාලි වර්මා මෙම වාර්තාව පිහිටුවීමට සමත් වූයේ ඇය ක්‍රීඩා කරන දෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේදී වීමද විශේෂත්වයක්.
එමෙන්ම ලොව අඩුම වයසකදී ජාත්‍යන්තර අර්ධ ශතකයක් වාර්තා කළ දෙවැනි ක්‍රීඩිකාව වශයෙන්ද ෂේෆාලි වර්මා වාර්තා අතරට එක්වූ අතර එහි පළමු වැනි ස්ථානයේ රැඳී සිටින්නේ වයස අවුරුදු 15කුත් දින 264කදී ජාත්‍යන්තර විස්සයි-20 අර්ධ ශතකයකට හිමිකම් කියූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කවීෂා එගොඩගේ නම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩිකාවක් වීමද කැපී පෙනෙන සිදුවීමක්.
කවීෂා එගොඩගේ මැලේසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 57ක් රැස්කරගනිමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.
මේ අතර ෂේෆාලි වර්මා මින් පෙර වාර්තා අතරට එක්ව තිබුණේ ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් හිමිකරගත් ළාබාලම ක්‍රිකට් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වශයෙනුයි.