හින්දු අන්තවාදීන් 1992 වසරේ විනාශ කළ, උතුරු ඉන්දියාවේ අයෝධ්‍යා පුරවරයේ 16 වන සියවසේ ඉදිකළ බාබ්රි මුස්ලිම් දේවස්ථානය පිහිටි ස්ථානයේ රාම දෙවොලක් තැනීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුන්නා.
මෝගල් අධිරාජ්‍ය සමයේ ඉදිකළ මුස්ලිම් දෙවොල විනාශ කිරීම නීතියට පටහැනි බව ඉන්දීය අගවිනිසුරු රන්ජන් ගොගෝයි පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියා.
කෙසේ නමුත්, මුස්ලිම්වරුන්ට බාබ්රි දේවස්ථානය පිහිටි ස්ථානය අහිමි වන අතර ඔවුන්ට දේවස්ථානයක් ඉදිකිරීම සඳහා අයෝධ්‍යාවේ විකල්ප ස්ථානයක අක්කර 5ක භූමියක් ලබාදීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
අයෝධ්‍යාවේ බාබ්රි මුස්ලිම් දේවස්ථානය ඉදිකර තිබුණේ රාම දෙවියන්ගේ උපත සිදුවූ ස්ථානයේ බව හින්දූන්ගේ අදහසයි. කෙසේ නමුත් තමන් එහි සියවස් ගණනාවක් වන්දනාමාන කළ බව ඉස්ලාම් බැතිමතුන් පවසනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමට පෙර ආයෝධ්‍යාව ඇතුළත් උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ආරක්ෂාව සඳහා 12,000කට අධික ආරක්ෂක භටයන් යොදවා තිබූ අතර, ප්‍රාන්තයේ සියළුම පාසල් සහ විද්‍යා ආයතන අද දිනයේ වසා දැමීමට යෝගි අධිත්‍යනාත්ගේ ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.