ඉකිලි කැසීම එසේත් නැත්නම් Jock itch පිරිමින්ට, තරබාරු පුද්ගලයන්ට මෙන්ම කාන්තාවන්ටද වැලඳිය හැකි රෝගයකි.
මෙය දිලීර/ පුස් ආසාදනයක් හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයක් වන අතර මෙය බෝවිය හැකි රෝගයක්ද වේ.
Tinea cruris ලෙස හඳුන්වන තත්ත්වය ringworm නමැති දිලීර විශේෂයක් නිසා හටගන්නා අතර මෙම දිලීරය උණුසුම් මෙන්ම තෙත පරිසරයක ඉතාම හොඳින් වැඩේ. ඒ අනුව දහඩිය දැමීම මඟින් තෙත් වූ ඉකිලි ප්‍රදේශයේ යට ඇඳුම් මඟින් ඇතිවන උණුසුම සමඟ ඉතා හොඳින් මෙම දිලීරය වර්ධනය වීම සිදුවේ.
ඊට අමතරව ඉකිලි කැසීමේ තත්ත්වය ඇති කරන ප්‍රධාන රෝග කාරකයක් වන්නේ Candida/ යීස්ට් (Yeast) ආසාදනයයි. එමඟින් ඇති කරන්නේද එකම ආකාරයේ රෝග ලක්ෂණ වුවත් ස්වභාවයේ යම් වෙනසක් දැකිය හැකිය. බොහෝ දෙනා තුළ මෙම රෝගය පවතින අතර එය උණුසුම් තෙත් සමක් මත ඉතා හොඳින් වර්ධනය වීමක් දැකිය හැකිය.
මෙම රෝගයේ ලක්ෂණ ලෙස කැසීම, දැවිල්ල, රතු පැහැති ඉකිලි, සම පැලී යෑම හෝ සම ගැලවී යෑම දැකිය හැකිය. මුලින් සඳහන් කළ පරිදි මෙය බෝවන රෝගයක් නිසා යට ඇඳුම් හවුලේ භාවිත කිරීම, තුවා හවුලේ භාවිත කිරීම, ඉතා තද යට ඇඳුම් භාවිතය, තෙත ඇඳුම් බොහෝ වේලාවක් හැඳගෙන සිටීම සහ රෝගී අයකු සමඟ සම්බන්ධ වීම (අදාළ ප්‍රදේශ ස්පර්ශ විය යුතුය) ආදිය මඟින් මෙම රෝගය බෝවිය හැකිය.
සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවූ විට එම ආසාදනය කුමක්ද යන්න නිවැරදිව හඳුනාගෙන ඔබට ඖෂධ ප්‍රතිකාර ලබාදෙනු ඇත.
මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ ඔබට ඉකිලි කැසීම පවතින්නේ Tinea Infection තත්ත්වය නිසා නම් ඔබ ඒ සඳහා නිසි ඖෂධ ප්‍රතිකාර නොගෙන සිටීමෙන් එම ආසාදනය ශරීරයේ වෙනත් ස්ථාන කරාද පැතිරී යා හැකි අතර ඒ වන විට එය සුව කිරීමට අපහසු තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි. එමෙන්ම මෙම තත්ත්වයේදී ඉකිලි අවපැහැ ගැන්වීමද සිදුවේ.
තවද මෙවැනි රෝග තත්ත්වයන් දවසින් දෙකෙන් සුව නොවන අතර ඒ සඳහා සතියක්, දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් වුවද ගතවනු ඇත.
එමෙන්ම මෙය සුව වීමට ඖෂධ පමණක් නොව ඔබේ පිරිසුදු බවද ඉතා වැදගත් වන බව අවධාරණය කළ යුතුය. එම නිසා ඉකිලි ඉතා හොඳින් පිරිසුදු කර වියළි තුවායකින් පිසදැමීම කළ යුතුය. එම තුවා සිරුරේ අනෙක් ප්‍රදේශ පිසදැමීමට භාවිත නොකළ යුතුය. රෝගය සුව වන තුරු ඖෂධ ප්‍රතිකාර අඛණ්ඩව ලබාගැනීමද කළ යුතුය.
මෙම රෝගය වළක්වා ගැනීම සඳහා ඔබ විසින් සිදුකළ යුතු දෑ මෙසේය.
දිනපතා ස්නානය කිරීම අවශ්‍ය වේ. විශේෂයෙන් ක්‍රීඩා කිරීමෙන් පසු හොඳින් නා පිරිසුදු වීම අත්‍යවශ්‍ය වේ. ඉකිලි ප්‍රදේශ පිරිසුදුව වියළිව තබා ගැනීම, තුවා සහ යට ඇඳුම් හවුලේ භාවිත නොකිරීම, පිරිසිදු වියළි රෙදි භාවිත කිරීම, යට ඇඳුම් දිනකට එක බැගින් භාවිත කිරීම, තද යට ඇඳුම් වෙනුවට සැහැල්ලු සහ කපු රෙදිවලින් නිමවූ යට ඇඳුම් භාවිත කිරීම වඩාත් සුදුසුය.
එලෙස කටයුතු කිරීම තුළින් මෙවැනි රෝග තත්ත්වයන්ට ලක්නොවී කායිකව සහ මානසිකව අපහසුතාවට පත්නොවී සැහැල්ලුවෙන් එදිනෙදා කටයුතු කරගැනීමට ඔබට හැකිවනු ඇත.
වෛද්‍ය කේ. කේ. ජී. ලහිරු ප්‍රබෝධ
දිස්ත්‍රික් මූලික රෝහල දික්ඔය