ඩිස්නි සිනමා තාරකාවක් ලෙස කලක් තිරයේ බැබලුන බෙලා තෝර්න් (Bella Thorne) කාම ප්‍රකාශන හුවමාරු කර ගනු ලබන එක්තරා ජනප්‍රිය අසභ්‍ය අන්තර්ජාල අඩවියේ ඇය කටයුතු කරනු ඇතැයි මේ සතිය මුලදී ප්‍රකාශ කළාය.
ඇයගේ අරමුණ මෙම වෙබ් අඩවිය යම්කිසි තැනැත්තෙකුගේ හෝ තැනැත්තියකගේ අවසරයෙන් තොරව පළිගැනීමේ චේතනාවෙන් ඔවුන් ඇතුළත් දර්ශන නිදහසේ පළ නොකෙරෙන තත්වයක පවත්වා ගැනීම යයි බෙලා පවසන්නීය.
අපි දැන් මෙතැන් සිට කියවන්නේ බෙලා තෝර්න් (Bella Thorne)කියන ඇයගේ කතාවය.
බෙලා සිය කතාව පටන් ගන්නේ ඉකි බිඳුමකිනි.
බෙලාගේ දුක තේරුම් ගත් ඇයගේ බලු සුරතලා,'මා'(Ma) ඇය දෙපා මුල දැවටෙයි.
කරන කියන දේ ඉලක්ක කර ගනිමින් ඇයට එල්ල වෙමින් පවතින විවේචන, චිත්තපීඩා, සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සිදු කෙරෙන හිරිහැර සහ ව්‍යාජ කාම වීඩියෝපට දහස් ගණනක් පෙනී සිටිමින් ව්‍යාජ චරිතවලට පන දෙන අද ලෝකයේ වඩාත් කෘතහස්ත නළඟනක් බවට පත්වූයේ කෙසේද? යන කරුණු ගැන අපි බෙලා සමඟ කතා කළෙමු.
"මේ ආකාරයට ලෝකය ගැන කතා කිරීම වුනත් මාව කනගාටුවට පත් කරනවා," බෙලා පවසන්නීය.
"එමගින් මම එයට වෛර කරන තත්වයකට පත් කරනවා."
එහෙත් ඇයගේ කඳුලට හේතුව ඒ කිසිවක් නොවේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ 'ඔන්ටාරියෝ' ප්‍රාන්තයේ 'සඩ්බරි' නගරයේ ජලාශයක් ඉදිරිපිට පිහිටි බෙලා වෙසෙන ඇයගේ කුලී නිවසේ බංකුවක් මත අපි වාඩිගෙන සිටිමු.
තුරු මතින් ගිලිහුණ 'මේපල්' කොල විසිරයමින් ඇති සරත් සමයෙහි 'සඩ්බරි' නගරය නිහඬතාවක ගිලී ඇත.
බෙලා තෙමසක කාලයක් සඳහා මෙහි පැමිණ සිටින්නේ 'ගර්ල්'(Girl) සිනමාපටයේ දර්ශන රූගත කිරීම සඳහාය.
අපචාරකරුවකු වන සිය පියා මරා දැමීම සඳහා තමා උපන් නිහඬ සංසුන් නගරයට පැමිණි තරුණ ගැහැණියකගේ චරිතයට ඇය එම සිනමාපටයේ පණ දෙන්නීය.
විසි දෙහැවිරිදි මෙම සිනමා තාරකාව සිය ආත්මය ලෝකයට ප්‍රදර්ශනය කොට තවමත් වසරක් පමණි.
ඇයගේ පළමු ග්‍රන්ථය 'The Life Of A Wannabe Mogul: Mental Disarray' දැනටමත් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.
එය බලාපොරොත්තු කඩවීම, හුදෙකලාව සහ ලිංගික වධ හිංසන තේමා කරගත් ජීවිතයේ අඳුර දකින ස්වීය වූ කාව්‍ය සංග්‍රහයකි.
බෙලා තමාට වයස අවුරුදු නවයේ දී යතුරුපැදි අනතුරකින් සිය පියා අහිමිවීමේ නිමක් නැති වේදනාව ස්පර්ශ කරන්නීය.
බාලවියේ නිරූපිකාවක් ලෙස ඇයගේ වෘත්තීය ප්රගමනය වැඩී වර්ධනය වෙමින් තිබුණේ ජනප්‍රියත්වයේ ආලෝක දහරා මැදය.
අනතුරුව ඇය 'Shake It Up' ඩිස්නි ප්‍රහසන සිනමාපටය මගින් සිය ගමනේ තවත් ඉදිරි පියවරක් තැබුවාය.
බෙහෙවින් ලියැවුන ද්විලිංගික(pansexual) ජීවන ශෛලිය සහ සිය සරාගී ආකර්ෂණ අවශ්‍යතාව කෙරෙහි බෙලා අවධානය යොමු කරන්නීය.
"මොකද? මම මගේ මුළුමහත් ජීවිතකාලය තුළම ලිංගික හිංසනයට ගොදුරු වුන තැනැත්තියක්."
"ඒ වගේ ළමා වයසෙදිම ලිංගික කටයුතුවලට හසුවීම, එය ලෝකයට දෙන වඩාත් ස්වාභාවික දේය කියන හැඟීම ඇති කරනවා."
බෙලා හිතට එකඟව 'අකුරු වරද්දා' ලියන ලද ඇයගේ කාව්‍ය එකතුව ප්‍රසිද්ධ කරනු ලැබීමෙන් අනතුරුව එය සති කීපයක්ම ඉහළම අලෙවිය සහිත පොත් ලැයිස්තුවේ රැඳී තිබුණි.
මේ වසරේ ජුනි මාසය බෙලාගේ කවිපොත පිළිබඳව සංවේදී බොහෝ මාධ්‍ය සංවාද සිදුවෙමින් පැවති කාල සීමාවකි.
එම ජුනි මාසයේ දිනක කාගේදැයි හඳුනාගත නොහැකි අංකයකින් ඇයට දිගින් දිගටම ටෙක්ස්ට් පණිවුඩ ගලා එන්නට විය.
"මම සාකච්ඡාවෙන් ඉවත්වුණා. එතකොටත් මම අඬනවා. මම මගේ කවිපොත ගැන කතා කරමිනුයි හිටියේ. මම මගේ දුරකතනය දිහා බැලුවා. මම දැක්කා- මගේම නිරුවත් පින්තූර කීපයක්," බෙලා සිය මතකය අවදි කළාය.
වරක් පැරණි පෙම්වතෙකුට යවන ලද එම පින්තූර දෙස දෑස් දල්වා බලාසිටි බෙලා තිගැස්මට ලක් වූවාය. සිය කලමනාකරුට සහ තම නියෝජිතයාට කතා කළ බෙලා ඔවුන්ගේ උපදෙස් පැතුවාය.
ඇයගේ දුරකතනයට තවත් පණිවුඩයකි.
උඩුකය නිරුවත් තවත් පින්තූර! එම පින්තූර යොමුකර තිබෙන්නේ ඇයගේ සුප්‍රකට මිතුරු මිතුරියන් කීපදෙනෙකු විසිනි.
හිමිදිරි උදයේ බෙලා සිය සයනයෙහි වැතිර සිටියාය.
ළමයකු හැටියට තමා කුඩාකල මුහුණ දුන් ලිංගික අතවර බෙලා සිය කෘතියෙහි සඳහන් කරන්නේ සවිස්තරවය. එහෙත් ඇය තමා ගොදුරු කරගත් පීඩකයා නමින් සඳහන් නොකරන්නීය.
ඒ ගැන දැනුම්දීමක් කිරීම මගින් එම අපරාධය නතර කළ හැකි වෙතැයි විශ්වාසයක් ඇති නොවීමේ බිය ඇය එහි පැහැදිළි කරයි.
නිරුවත් උඩුකය සහිත පින්තූර දෙස බලා සිටීමෙන් හිංසාව පිළිබඳ සුපුරුදු හැඟීම ඇය වෙළාගත්තාය.
"එය නැවත සිදු කෙරෙනවා," බෙලාගේ සිත කෑ ගැසුවාය.
"කවුරුහරි කෙනෙක් මගේ ජීවිතය ඔවුන්ගේ අතට ගැනීමෙන් මා ගැන තීන්දු ගන්න හැකිවෙලා. ඒක ආයෙත් සිදුවෙමින් තියෙනවා. යම් දෙයක් කරන්න කවුරුහරි මට බල කරනවා. ඒක ලිංගික කාරණාවලට සම්බන්ධනම් මට එය කරන්න අවශ්‍ය නැහැ."
ඇය තීන්දුවක් ගත්තාය.
සමාජ මාධ්‍ය වේදිකා පාවිච්චි කරමින් සිය හැත්තෑ ලක්ෂයක් වූ ට්විටර්, දෙකෝටි විසි ලක්ෂයක් ඉන්ස්ට්‍රග්‍රෑම් සහ අනූ ලක්ෂයක් ෆේස්බුක් අනුගාමිකයන් ආමන්ත්‍රණය කළ බෙලා, හැකරාගෙන් (hacker) ලද තර්ජනාත්මක ටෙක්ස්ට් (text) පණිවුඩයේ පින්තූරයක් සහ සිය ප්‍රකාශයක්ද සහිතව ඇයගේ උඩුකය නිරුවත් ඡායාරූප සියල්ල අන්තර්ජාලයට මුදා හැරියාය.
බෙලාගේ සටහන; "මම මෙය එළියට දානවා. මොකද?මේක මගේ තීන්දුව. දැන් මගෙන් කාටවත් තවත් දෙයක් ලබා ගන්න නැහැ."
එය ප්රකම්පනාත්මක තෝරා ගැනීමක් විය.
"ද වීව්" (The View) ඇමෙරිකානු කථන සංවාද වැඩ සටහනේ (chat show) පෙනී සිටින වූපී ගෝල්ඩ්බර්ග්(Whoopi Goldberg)ඉහත කී උඩුකය නිරුවත් පින්තූර මුදාහැරීම නොව, ඊට මුල්තැනක් දීම සම්බන්ධයෙන් 'බෙලා' අනුමත නොකරමින් අදහස් පළ කළාය.
"ඔබ ප්‍රසිද්ධ කෙනෙක්නම් මම ඔබගේ වයස ගැන හිතන්නේ නැහැ. ඔබ ඔබේම නිරුවත් පින්තූර ගන්නේ නැහැ," වූපී ගෝල්ඩ්බර් සිය වැඩ සටහනක සංවාද මණ්ඩපයක දී සඳහන් කළාය.
"ඒ වගේ පින්තූරයක් ගත්තාම ඒක ලෝකෙම පැතිරෙනවා. ඒක අවශ්‍ය කරන ඕනෑම හැකරෙකුට එය ලබා ගන්න පුළුවන්. අපි ඉන්නේ 2019අවුරුද්දෙ. ඔබ තාමත් ඒක තේරුම් අරන් නැත්නම්, ඒක ප්‍රශ්නයක්! මට කණගාටුයි!" වූපී ගෝල්ඩ්බර්ග් ප්‍රකාශ කළාය.
"කැතයි.ඇත්තෙන්ම පිළිකුල්."
"මම අගය කරන කාන්තාවකගෙන් ඒ වගේ අදහස් පළවීම වේදනාවක්!" බෙලා සඳහන් කළාය.
"මිනිස්සු කියනවා- නැහැ!නැහැ! මගේ මගේ පුංචි දරුවෝ ඒ වගේ වැඩ කරන්නේ නැහැයි කියල. අනේ නැහැ!"
තමන් පීඩාවට සහ අන්තරායදායක අඩියක සිටින්නේය යන මානසික මට්ටමක දැනටමත් සිටින යොවුන්වියේ පසුවෙන්නන් මේ ආකාරයට හැසිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ලජ්ජාවට පත්කරනු ලැබීම මගින් ඔවුන් තවදුරටත් මනෝව්‍යාධිමය අර්බුදයකට තල්ලුකර දැමීමක් වනු ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
"යොවුන් වියේ කෙල්ලක් හෝ කොල්ලෙක් පින්තූරයක් පළ කළාම ඒක ඔවුන්ගේ ඉස්කෝලෙ පුරාම පැතිරෙනවා. අන්තිමේදී ඔවුන්ට හිතෙනවා-සියදිවි හානිකර ගන්න. ඔවුන් මේ වගේ සාකච්ඡා දැක්කම අනේ ඔව්! ඒක තමයි මට සුදුසු දඬුවම! කියල හිතනවා."
බෙලා තෝර්න් විසින් මුදා හරින ලද පින්තූර ඇය අන්තර්ජාලයේ පළකළ ඇයගේ උඩුකය නිරුවත් පළමු සැබෑ පින්තූර ගොන්න විය.
කෙසේවුවද, බෙලා යයි පෙනීයන ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට රාශියක් අන්තර්ජාලයට එක්විය. එහෙත් ඒවා කිසිවක් බෙලාගේ නොවුණි. ඒවා ලිංගික දර්ශන සඳහා පෙනී සිටින නිළියකගේ සිරුරට බෙලාගේ මුහුණ යාකොට තාක්ෂණය ඉතාම දක්ෂ ආකාරයට උපයෝගී කර ගනිමින් නිර්මාණය කරන ලද සහමුලින්ම ව්‍යාජ නිර්මාණ විය.
එවැනි වීඩියෝපට මගින් කරන ලද්දේ නිෂ්පාදකයන් ඉල්ලා සිටින ඕනෑම දෙයක් කරන තැනැත්තියක් හැටියට බෙලා සම්බන්ධයෙන් ප්‍රතිරූපයක් මැවීමකි.
ඒවා අතරින් එක් විශේෂ වීඩියෝ පටයක බෙලා තෝර්න් ඇයට අහිමි වූ සිය මියගිය පියා පිළිබඳ වේදනාවෙන් හඬන අවස්ථාවක පටිගත කරන ලද්දකින් උපුටා ගත් කටහඬ ඇතුළත් වෙයි. එම වීඩියෝ පටයේ ස්වයංවින්දනයේ යෙදෙන කාන්තා සිරුරකට බෙලාගේ හිස අමුණා ඇත.
එම වීඩියෝ පටය විශාල වශයෙන් පැතිර යමින් තිබුණා. කවුරුත් ඇත්තටම හිතුවේ ඒ මම කියලයි," බෙලා බීබීසියට ප්‍රකාශ කළාය.
"ඔවුන් ඒ වීඩියෝ පටයේ උපසිරැස් ලෙස ඇතුල් කරලා තිබුණේ ;තාත්තේ! තාත්තේ!' කියලයි."
එක පින්තූරයකින් මිනිස් රූප ගෙන අතිශයින්ම සැබෑ යයි පෙනීයන වීඩියෝ පට නිර්මාණය කළ හැකි තාක්ෂණය අවුරුද්දකටත් අඩු කාලයක් ඇතුළත සාමාන්‍ය මහජනයාට ලබා ගැනීමට හැකිවනු ඇතැයි මෘදුකාංග වැඩිදියුණු කරන්නෝ බීබීසියට ප්‍රකාශ කළහ.
එම තත්වය බෙලා ගේ කනස්සල්ලට හේතු වෙයි.
"එය ප්‍රසිද්ධ කලාකරුවන් සම්බන්ධයෙන් පමණක් නොවෙයි, බාලවයස්කරුවන් යොදාගත් කාම නිර්මාණ බෝ කරන පසුබිමක් හදනවා," බෙලා පෙන්වා දෙන්නීය.
එවැනි වීඩියෝපට ව්‍යාජ ඒවා බව සමාජයට ප්‍රකාශ කිරීමෙහිලා තමාට මෙන් ඩිජිටල් වේදිකා නොමැති තරුණියන්ගෙන් පලිගැනීමට, ඔවුන්ට නම කැත කිරීමට එසේත් නැත්නම් මුදල් හෝ වෙනත් යමක් ලබා ගැනීම සඳහා ඒවායේ නිර්මාණය කළ පුද්ගලයන් පාවිච්චි කළ හැකි බවත් බෙලා පවසයි.
බෙලාගේ ජීවිතයේ ඊළඟ වැදගත් කඩයිමක් වන්නේ ඇය චිත්‍රපට අධ්යක්ෂවරියක් ලෙස දොරට වැඩීමය.
වැඩිහිටියන් සඳහා නිර්මාණය කරන ලද ඇගේ පළමු සිනමා නිර්මාණය "Him and Her"(ඔහු සහ ඇය) මගින්ම ඇය සම්මානලාභිනියක් වූවාය.
කාන්තා ලිංගිකත්වය ගැන සාකච්ඡා කෙරෙන සිනමා ආඛ්‍යානයේ වෙනසක් සිදු කරනු ලැබීමේ පියවරක් වශයෙන් චිත්‍රපට කර්මාන්තය තුළට තවත් කාන්තාවන් ප්‍රවේශ වියයුතු යයි තමා අදහස් කරන හෙයින් අධ්යක්ෂණ කාර්යයට අතගැසූ බව බෙලා ප්‍රකාශ කළාය.
බීබීසියෙන් ඇයට යෝජනාවක් ඉදිරිපත් කෙරිණ.
යෝජනාව, පලිගැනීමේ චේතනාවෙන් නිපදවන ලද ඊනියා වීඩියෝපට මුදා හරිනු ලබන 'Pornhub'නම් කාම වෙබ් අඩවියෙහි බෙලා සිය චිත්‍රපටය ඇතුළත් කරනු ලැබීම මගින් ලාභ ඉපයීම පිළිබඳව කියැවෙන බීබීසී වාර්තාව පිළිබඳව අදහසක් පළ කරන ලෙසය.
එම බීබීසි වාර්තාව ගැන බෙලා පළමුවරට දැනගත්තේ ඒ මොහොතේ බව සනාථ කරමින් ඇය වෙව්ලාගිය ආකාරයක් දක්නට ලැබුණි.
"මම ඒ ගැන දැන සිටියේ නැහැ," යනුවෙන් පිළිතුරු දෙද්දී බෙලාගේ දෑසින් කඳුළු කඩා හැලෙන්නට විය.
මට ව්‍යාජ තැනැත්තියක් වෙන්න අවශ්‍ය නැහැ. මම වඩාත් කැමතියි-මගේ පළමු පිළිතුර මතම ඉන්න."
"අදහස් හුවමාරු කර ගැනීමට ඒවා පරිශීලනය කිරීමට ග්රාහකයන්ට සුරක්ෂිත අවකාශයක් සම්පාදනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ අන්තිම උවමනාව පළිගැනීමේ අරමුණෙන් නිර්මාණය කරන කාම චිත්‍රපටවලට අපේ වෙබ් අඩවිවල ඉඩකඩ සැලසීම වලක්වාලීම," යයි 'Pornhub'වෙබ් අඩවිය හිමි 'Mindgeek' සමාගම බීබීසියට ප්‍රකාශ කළේය.
අනතුරුව, අප හෝටලයේ සිටියදී බෙලාගේ කාර්ය සහකරුගෙන් 'ටෙක්ස්ට්' පණිවුඩයකි.
එය බෙලාත් සහභාගී වෙන"Make Sure Your Friends are OK" නම් මානසික ආතතිය පිටුදැකීමේ වැඩ සටහනකට එක්වෙන ලෙස එමගින් ආරාධනාවකි.
එම අවස්ථාව විශේෂයෙන්ම ඇයට වැදගත් වෙයි. එසේම ඇයගේ සිනමාලෝලීන්ටත් එය වැදගත් වූවකි. විශේෂයෙන්ම අනතුරුදායක තත්වයක සිටින්නන්ට ආතතිය ගැන දැනගැනීම වැදගත්ය.
දින තුනකින් අනතුරුව බෙවර්ලි හිල්ස් හි(Beverly Hills)පැවැත්වුන එම උද්‍යාන සාදයට අපි බෙලා සමඟ එක් වුනෙමු.
"හැදී වැඩෙන මුල් අවධියේ, මානසික ආතතියෙන් පීඩා විඳින, එහෙමත් නැත්නම් මානසික ආතතියත් සමඟ පොර බදමින් සිටි පුද්ගලයන් අතලොස්සක් ගැන විතරයි මම දැනගෙන හිටියෙ," බෙලා ප්‍රකාශ කළාය.
"දැන් හැම කෙනෙකුටම වගේ ආතතිය තියෙනවා. ඒ තත්වයට හේතුත් තියෙනවා. මගේ තර්කය නම් හේතුව සමාජ මාධ්‍යජාලයේ පැතිරීම."
අපි එම උද්‍යාන සාදයෙන් පිටතට එමින් සිටියදී බෙලාගේ එක් මිතුරියක් සඳහන් කළ පරිදි, ඔවුන්ගේ සාකච්ඡාවෙන් පසු බෙලා කෙළින්ම 'Pornhub' වෙබ් අඩවියට දුරකථන ඇමතුමක් ගනිමින් "නිවේදනයක් සඳහා සූදානමින් සිටිය යුතු" යයි කියා ඇත.
එම සතියේ අවසන් දිනවල බෙලා තෝර්න් "Pornhub"සම්මාන උළෙලේ දී ඇයගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වූ "Her & Him" වැඩිහිටියන් සඳහා වූ චිත්‍රපටය සඳහා සම්මානයක් දිනා ගත්තාය.
කාම චිත්‍රපට ක්ෂේත්රයෙහි තවත් අධ්‍යක්ෂිකාවන් සඳහා තමාගේ නිර්මාණාත්මක දෘෂ්ටිය දායාද කරනු ලැබීම සම්බන්ධයෙන් බෙලා වැඩිහිටියන් සඳහා වන චිත්‍රපට කර්මාන්තයේ නිරතවෙන්නන්ට සිය ස්තුතිය පළ කළාය.
තවදුරටත් අදහස් කළ ඇය පළිගැනීමේ චේතනාවෙන් නිපදවනු ලබන කාම වීඩියෝ පට හෙළාදැකීම ඉලක්ක කරගත් ප්‍රකාශයක් ද කළාය.
"අපි හැම දෙනාගේම, අපේ සමාජයේ හැම කෙනෙකුගේම සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා "Pornhub" වෙබ් අඩවියේ ළකුණු දීමේ ක්රමයේ (algorithm) වෙනසක් ඇති කිරීම සඳහා මම එම වෙබ් අඩවියත් සමඟ කටයුතු කරමින් ඉන්නවා."