දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ලබන මස 14 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.
රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කැදවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් හමුවේයි.
එම අවස්ථාවේ නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින නිශ්ශංක සේනාධිපති අධිකරණයේ පෙනී නොසිටි බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයා වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව දන්වා සිටියා.
ඒ අනුව නඩුව නැවත ලබන මස 14 වනදා කැදවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින මෙම නඩුවේ වැඩිදුර විභාගය සඳහා දින නියම කරන බව ප්‍රකාශ කළා.
එදින විත්තිකාර නිශ්ශංක සේනාධිපති අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.