කැසිනෝ යාමට තම උපකාරක පංතිවලින් ලැබුණු මුදල් ප්‍රමාණවත් නොවීම නිසා උපකාරක පංති නවතා පන්සල් කැඩීමේ නිරතව සිටි උපැවිදි උපාධිධාරි ගුරුවරයා විසින් පන්සල් 21 ක් බිඳ රුපියල් ලක්‍ෂ 50 කට ආසන්න වටිනා කමක් ඇති රන් බුදුපිළිම, රන් ධාතුකරඬු රුපියල් ලක්‍ෂ ගණනාවක මුදල්, රන්මාල වළලූ, ලැප්ටොප් පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රොනික් උපකරණ රැසක් සොරාගෙන ඇති බව මීගමුව අධිකරණය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන රැසකින් ඉදිරිපත් කළ පැමිණිලි අනුව සනාථ වී ඇත.
විවාහක 41 හැවිරිදි එක් දරු පියකුවන උපැවිදි උපාධිධාරී ගුරුවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 21 ක් බිඳ ඇත්තේ එම විහාරස්ථානවල විහාරාධිපතිවරුන් දානමය පිංකම්වලට විහාරස්ථානවලින් දිවා කාලයේ බැහැරව සිටි අවස්ථාවලදීය.
මෙම සැකකරු රද්දොළුව ප්‍රදේශයේ විහාරස්ථානයක් බිඳ රුපියල් ලක්‍ෂ ගණනාවක දේපළ සොර ගැනීම සම්බන්ධයෙන් වූ නඩුව මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය හමුවේ පසුගියදා කැඳවූ අවස්ථාවේ රිමාන්ඩ් භාරයේ සිටි සැකකරු ගම්පහ දිස්ත්‍රික්කයේ අධිකරණ ගණනාවකට අවශ්‍ය සැකකරුවකු ලෙස නම් කොට ඔහු එම අධිකරණ වෙත ඉදිරිපත් කරන ලෙසට මීගමුව අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
මෙහි සැකකරු වූයේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 41 හැවිරිදි අයෙකි. මොහු විසින් සොරා ගන්නා ලද රන් අභරණවලින් කොටසක් උකස් කොට අනිත් රන්බඩු විකුණා කැසිනෝ සූදුවට සහ කොළඹ තරු පංතියේ හෝටල් වල සුඛෝපභෝගි ජීවිතයක් ගත කිරීමට වැයකර ඇති බව නඩුව කැඳවූ අවස්ථාවේදී හෙළිදරව් විය. මෙහිදී සැකකරුට ඇප ලබා දෙන ලෙසට විත්තියේ නීතිඥ ගයානි වාසනා ජයසිංහ මහත්මිය ඉල්ලා සිටියත් සැකකරු තවත් අධිකරණ ගණනාවකට අවශ්‍ය සැකකරුවකු බවට හෙළිදරව් වූ කරුණු අනුව සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය සැකකරු මේ මස 28 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර එදින යළි අධිකරණය හමුවට පැමිණවීමට නියෝග කළාය. සීදුව පොලිසියේ සැරයන් (19644* ඕ. පී. එම්. අමරසේන මහතා පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගයානි වාසනා ජයසිංහ මහත්මිය පෙනී සිටියාය. වැඩිදුර විභාගය මේස මස 28 වැනිදා පැවැත්වෙයි.
"මීගමුව"
මීගමුව සමූහ - විමල් කීර්ති