පාසල් කාලයේ ඔබව කවුරුත් හැඳින් වූයේ ‘වේව' කියන නමින් කියන්නේ ඇත්තද?
මම පාසල් ගියේ දුටුවැව මහා විද්‍යාලයට. නම් පොතේ මගේ නම සඳහන් වෙන්නේ වේව සේනානායක. ඒ කෙටියෙන් නැතිනම් මගේ නම දිගයි. රත්නායක රාජරත්න ගෝමර බණ්ඩාර වේරලියද්ද වළව්වේ සේනානායක. නම් පොතේ ලියන්න බැරි හින්ද වේව කියලා තමයි ලිව්වේ. ඒක හින්ද තමයි හැමෝම කිව්වේ වේව කියලා.
ඔබත් සමග කතා කරන කොට නැටුම් ශාස්ත්‍රය සහ බෙර හඬ කියන මාතෘකාවලින් බැහැර වෙන්න බැහැ?
පැහැදිලිවම මගේ තාත්තා කලායතනයක් කළා. අපේ ගෙදර ලයිට් තිබ්බේ නැහැ. එතකොට පත්තු කරන්නේ පෙට්‍රල් මැක්ස් එකක්. ඒ කාලේ පෙට්‍රල් මැක්ස් හැම ගෙදරම නැහැ. මගේ අත්තා වෙදකමත් කළා. මගේ සීයත් ඒවා කළා.
ඔබේ කතාවට මම බාධා කරනවා ඔබේ පියාව හැමෝම හැඳින් වූයේ නටන වෙදමහත්තයා කියලා. අපි හරිද?
තාත්තා කඩුගන්නාවේ ඉන්න කාලේ නැටුම් කලාවත් කළා. වෙදකමත් කළා. තාත්තාගේ තාත්තාත් හොඳ සිංහල ආයුර්වේද වෙද මහත්මයෙක්. නැටුම් උගන්නපු හින්ද තමයි නටන වෙද මහත්තයා කිව්වේ.
ඔබට වෙදකම කියන ශාස්ත්‍රය පිහිටවූයේ නැතිද?
නැහැ හැදෑරීමක් කිව්වත් යම්කිසි පළපුරුද්දක් තිබුණා. අපේ අම්මත් වෙදකම කළා. නමුත් අපට ඒ ගැන ලොකුම ලොකු අවබෝධයක් නැහැ. නටන්න ගයන්න පුළුවන් හින්ද කලායතනයට තමයි හිත ගියේ. පසු කාලෙක මම ඒ කලායතනයේ ගුරුවරයෙක් විදිහටත් වැඩ කළා. ඒ කලායතනය තමයි දුටුවැව කලායතනය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොඳම කලායතනය හැටියටත් තේරිලා තිබුණා.
මේ නටන වෙද මහත්මයාගේ පුතා කොළඹ එනවා බෙර වාදන කණ්ඩායමකට බැඳෙන්න. එහෙම නේද?
දිස්ත්‍රික්කයේ පැවැත්වුණු හැම තරගයකින්ම වගේ මම හොඳම බෙර වාදකයා විදිහට තේරුණා. එතකොට නවසිය හැත්ත අටේදි කොළඹ හිටපු ‘ශ්‍රී වියතා. කියන බෙර වාදන ශිල්පියාගේ නැටුම් කණ්ඩායම බෙර වාදන ශිල්පියෝ තෝරනවා. අනුරාධපුරයේ තියෙන අපේ කණ්ඩායමේ ඉන්න මටත් ඒ කණ්ඩායමට බැඳෙන්න සම්මුඛ පරීක්‍ෂණයට එන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. ඊට පස්සේ මම කොළොන්නාවට ආවා. ඒ බෙර වාදන කණ්ඩායමේ කාලයක් බෙර වාදන ශිල්පියෙක් විදිහට වැඩ කළා.
පිටකොටුවේ බෝගහ අසල නීලගිරි හෝටලය ළඟ රැඳිලා හිටියේ මේ කොළඹ ආපු ගමනේදීම නේද?
පළමු සම්මුඛ පරීක්‍ෂණයට ආපු දවසේ ශ්‍රී ජයනා මැතිතුමා මගේ වැඩ හොඳ හින්ද ඔහොම චුට්ටක් ඉන්න කියලා කිව්වා. ඊට පස්සේ මගෙත් එක්ක කතා කරල කිව්වා තව දවස් තුනකින් විතර ආපහු එන්න කියලා. ඒ කාලේ ටෙලිෆෝන් එහෙම මුකුත් නැහැ. කොළඹ බෝගහ ළඟ
නීලගිරි හෝටලය ළඟට එන්න කියලා තමයි කිව්වේ. මගේ පියා බෙර තුනක් හදලා තිබුණා. එකම ගහක් නැකත්වලට කපලා තුනකට කොටස් කරලා හාරලා මඬේ පාගලා නියම ප්‍රමිතියට ක්‍රමානුකූලව තමයි ඒ බෙර හැදුවේ. ඉතිං මටත් බෙරයක් තිබුණා. ඒ බෙරයත් අරගෙන තමයි මම කොළඹ එන්නේ. අහවල් දවසේ අහවල් වෙලාවට කවුරු හරි ඒවි ඔයාව නීලගිරි හෝටලය ගාවට එක්ක ගෙන යන්න ඔයා එතැන ඉන්න කියලා කිව්වා. ඉතිං අර බෙරයත් තියාගෙන එහාට යන්නෙත් නැහැ මෙහාට යන්නෙත් නැහැ නීලගිරි හෝටලය ළඟට වෙලා හිටගෙන ඉන්නවා. සෑහෙන වෙලාවක් ගිහිල්ලා එක්කෙනෙක් ළඟට ආවා. ඒ වෙලාවේ බෙරයට අත තියලා ඔහු ඇහැව්වා ඔයා ද සේනානායක වේරලියද්ද කියලා. ඊට පස්සේ එන්න යන්න මල්ලි කියල ඔහු මට කතා කළා. සෝමරත්න තමයි මගේ මිත්‍රයා ඔහුත් සමග තමයි මම කාලයක් කරට කර බෙර වාදනයේ යෙදුණේ.
ඒ වෙද්දි ‘වේව' නම සේන වෙනවා. එහෙමනේ?
1980 විතර මම කොළඹ දාලා එනවා. මොකද අපේ කලායතනය තියෙනවානේ. 1980 මම සමස්ත ලංකා ගායක තරගාවලියෙන් තුන්වැනියා. ගෝල්ෆේස් එකේ තමයි තරගය තිබ්බේ. ඒ තරගය තිබ්බේ තරුණ සේවා සභාවේ යොවුන් කණ්ඩායමට පිරිසක් බඳවා ගැනීමට. එකේ සිට දහවැනියා දක්වා තමයි බෙල්වුඞ් මධ්‍යස්ථානයට තෝරා ගත්තේ.
මේ ගමනේදී හමුවුණ අද කාලේ ඉන්න ජනප්‍රිය තරු එහෙමත් මුණගැසෙන්න ඇති නේද?
සෝමසිරි මැදගෙදර, චන්‍ද්‍රලේඛා වගේ පිරිසක් හිටියේ. ඒ දහදෙනාගෙන් මම හතර වැනිය හැබැයි මම ගියේ නැහැ.
ඇයි ඒ?
ගියේ නැත්තේ නිදහස නැහැ. එළියට යන්න විදිහක් නැහැ. හැබැයි මම තරුණ සේවා සභාවේ තරගාවලියෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පළමු වැනියා. ඊට පස්සේ 1982 අවුරුද්දේ අග භාගයේදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් සම්මුඛ පරීක්‍ෂණයක් තිබුණා. රාජ්‍ය නැටුම් හා සංගීත කණ්ඩායමට ශිල්පීන් බඳවා ගැනීමට. ඒ බඳවා ගැනීම් සිදු කළේ කලායතන හරහායි. එතකොට මමයි මගේ යාළුවෙකුයි දුටුවැවෙන් ඉදිරිපත් වුණා. ඒකෙන් මම තේරුණා. 1983 තමයි රාජ්‍ය නැටුම් හා සංගීත කණ්ඩායමට බැදුණේ. එතකොට තමයි මට සේනානායක කියලා කියන්න පටන් ගත්තේ. තවත් සේනානායක කෙනෙක් හිටපු හින්ද මට පොඩි සේන කියලා තමයි ගොඩක් අය කිව්වේ.
දුටුවැව ගමෙන් ආ ඔබ රාජ්‍ය නැටුම් හා සංගීත කණ්ඩායමේ දී ඔබේ ජවය හා හැකියාව මොනවට පෙන්වනවා නේද?
මට ඇත්තටම ජෝන් ද සිල්වා රඟහල බොහොම නිදහස් තෝතැන්නක් වෙනවා. මොකද ටික කාලයක් අපිට එහි ඉන්න පුළුවන්කම ලැබුණා. ඒ ඉන්න කොට සියලූම සංගීත භාණ්ඩ වාදනය කරලා කෑගහල ගායනා කරනවා. කොහොමත් අපි ගමේ ඉන්නකොට කෑගහලා කවි සින්දු කියපු අයනේ. නැටුම් කණ්ඩායමෙන් පොඩි පොඩි අවස්ථා ලැබුණා ගායනයට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ තමයි මම ගායන ශිල්පියෙක් වාදක ශිල්පියෙක් වගේම නර්තන ශිල්පියෙක් විදිහට කටයුතු කළේ.
ඔය කාලෙ නේද සේන නම ආපහු වේරා බවට පත්වෙන්නේ?
එතකොට මම රජරට නව රැල්ලේ ගායන අංශයට සම්බන්ධ වෙනවා. එතැනින් පස්සේ මම රජරට සේවයේ සරල ගී ගායකයෙක් බවට පත්වෙනවා. එතකොට මම සේනානායක වේරලියද්ද කියන නම පාවිච්චි කළා. ඒක ටිකක් මිනිස්සුන්ට අමුතු නමක් බවට පත් වුණා.
සේනානායක වේරලියද්ද ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවුණේ මොන ගීතය හරහාද?
එහෙම කියන්න අමාරුයි. මොකද මම රාජ්‍ය නැටුම් හා ගයක කණ්ඩායමේ ඉන්න කොට මගේ ස්වතන්ත්‍ර නිර්මාණ ගායනා කළා. විදෙස් සංචාරවලදී පවා එම නිර්මාණ ගායනා කළා. රූපවාහිනි සංස්ථාව පටන් ගන්න කොට ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්මයා පටන්ගත්තු වැඩසටහන් කිහිපයක අත්වැල් ගායනයට පවා සම්බන්ධ වුණා. රජරට සේවයෙන් මගේ ගීත කිහිපයක් ජනප්‍රිය වුණා. ඊට පසු කාලයේ සාගරය බදු වේදනාවෝ, පුංචි දඟකාරියේ, කොහේ කොතැනක, මල් වියනෙන් කියන මගේ ගීත ටික තිබුණා.
මේවා ඔබේම නිර්මාණද?
මේවා මගේ ස්වතන්ත්‍ර නිර්මාණ. ඊට පස්සේ රජරට සේවයේ මගේ ගීත කිහිපයක්ම ජනප්‍රිය වුණා. මම ගුවන් විදුලියෙන් මුලින්ම ගායනා කළේ පුංචි දඟකාරියේ ගීතය. මොකද රජරට සේවයේ ගායනයත් අහිමි වෙනවා කිව්වා ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායනයෙන් අසමත් වුණොත්. ඒක හින්දයි මම එහිදී මුලින්ම පුංචි දඟකාරියේ ගීතය කිව්වේ. ටික දවසක් යනකොට මට ගෙදරට කොළය ආවා ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායක පරීක්‍ෂණයෙන් සමත් වෙලා.
නංගිට බැඳපු මල් වියනයි...
තිස්ස අබේසේකරගේ ‘වනසරණ. ටෙලි නාට්‍යයට ඔබ ගැයූ ගීය හොඳම ගායකයා ලෙස සම්මාන ලබන්නට තරම් වාසනාව ගෙන ආවා නේද?
ඒ 1998 අවුරුද්දේ. ඒක වුණේ මම දියතලාවේදී සංස්කෘතික දැහැනක් කියනවා ඇහිලා තිස්ස අබේසේකරයි දයානන්ද ගුණවර්ධනයි ඇවිත් හිටියා ඒ සාහිත්‍ය උත්සවයට. මම ඒ ගායනා කරපු හඬ ඇහිලා වේදිකාව පිටිපස්සට ඇවිත් තිස්ස අබේසේකර ඇහැව්වා කවුද ඒක ගායනා කළේ කියලා. පස්සේ මම නාට්‍යවලට පවා සම්බන්ධ වුණා. නාට්‍යවලට සංගීතය පවා සැපෙව්වා. තිස්ස මහත්මයාට ඕනෑ වෙලා තිබුණ අලූත් හඬක්. ඔස්ටින් මහත්මයාට මතක් වෙලා තිබුණා මාව. හරියට නම අමතක වෙලා කවුද
වේරගොඩද? වේරද කියන කොට තිස්ස මහත්මයා කියලා තියෙනවා රාජ්‍ය නැටුම් කණ්ඩායමේ ඉන්න ගායකයා කියලා තියෙනවා. ඔය ගීතයේ වාදනයට පවා මම සම්බන්ධ වෙනවා.
මගේ ජීවිතේ පුරා, සාගරය බදු වේදනාවෝ, මල් වියනෙන්, කොහේ කොතැනක කියන ගීත සියල්ල අතිශය ජනප්‍රිය වුණා. ඇත්තටම මේ ගීත ඔබේ අත්දැකීම්ද? එහෙමත් නැතිනම් ඔබේ ජීවිතයද?
මම සාමාන්‍යයෙන් සමාජයට මොකක්ද දෙන්න ඕනෑ කියලා නිතර කල්පනා කරනවා. ඒ ගැන හරියට හිතනවා. ඕනෑම වචන ටිකක් ගීතයක් බවට පත් කරන්න පුළුවන්. මට පුළුවන් මම එහෙම කළා. ඒ කරපුවා තමයි ඔය ජනප්‍රිය වෙලා තියෙන්නේ. මට ආවේණික පිටපත් තමයි මම තෝරා ගත්තේ.
ඔබේ ජීවිතයේ පුද්ගලික අත්දැකීම් පදවලට පෙරළන අවස්ථා තියෙනවාද?
මගේ ජීවිතේ පුරා ගීතය ලිව්වේ මම. මම ලියපු එක මමම සංගීතය කරලා මමම ගායනා කරනවාට වඩා හොඳයි කියලා හිතලා ශාන්ත දේශබන්දුට කියලා ආපහු පද වෙනස් කර ගත්තේ. ඕකේ මම ලිව්වේ හිතේ බිඳුණු ප්‍රාර්ථනා කියලා. ඔහු ලිව්වේ මගේ ජීවිතේ පුරා කියලා. සාමාන්‍යයෙන් මට ගොඩක් දෙනෙක් ලෝබ නැතිව පිටපත් දෙනවා. තව ගීත තියෙනවා ඇති ඉතිං කැසට් කෙරෙන්්නේ නැති හින්ද එළියට දාගන්න විදිහක් නැතිව ඉන්නවා.
සේනානායක වේරලියද්ද කියන ජීවිතය දෙස ආපසු හැරී බැලූවොත් මොකද හිතෙන්නේ?
ඉතාම සුන්දරයි. වේරලියද්ද කියන මිනිසා නිර්මාණය කිරීමට මට උදව් කළ රසිකයන්ට මට ගුණ ගැයූ වගේම අගුණ ගැයූ සැමට මගේ හදපිරි ස්තුතිය. මම ජීවිතයේ කිසිම තැනක විඳවලා නැහැ. මම ගෙවපු ජීවිතය ඉතාම සුන්දරයි. අතීතයේ පසුතැවීම් නැහැ. මගේ ඔළුවේ බර නැහැ. හැබැයි මම ජීවත් වෙන්නේ අද
මේ අතිශය ජනප්‍රිය කලාකරුවා. තවමත් ජීවත් වන්නේ දුටුවැව ගමේ අපි හරිද දන්නේ නැහැ
මම දුටුවැව යනවා එනවා. එහි තියෙන කුඹුරු ඉඩම්වල වැඩ කරනවා. දැන් මම කලාවැව අවුකන ඉන්නේ.
ඔබ ජනප්‍රිය ගායකයෙක් වුණාට ගොවිතැනින් ඈත්වෙලා නැහැ නේද?
අනිවාර්යයෙන්ම, ගොවිතැන් කටයුතු කරලා තමයි අපි මේ ගමන ගියේ. හරක් දක්කලා. ගොයම් පාගලා, කුඹුරු කොටලා තියෙනවා. කැත්තේ උදැල්ලේ වැඩ අපිට හොඳට පුළුවන්. අපිට ලැබෙන නිලය විශේෂ ආභරණයක් කරගත යුතු නැහැ. ඒක අපිට දුන්න ගෞරවනීය නාමයක්. ඒ ගෞරවනීය නාමය කවදාවත් කෙළෙසෙන්නේ නැහැ. තමන් කරන අනෙක් බාහිර ක්‍රියාකාරකම් හොඳ ඒවා නම් ස්වභාවදහමත් එක්ක අපි ඉන්න එපායැ ස්වභාව දහමත් හොඳ මිනිහෙක්නේ හදන්න බලන්නේ වේරයා හොඳයි බං හොඳ ගායකයා බං කියලා කියන්නේ ස්වභාව දහමත් එක්ක හිටියොත් තමයි.
"දිවයින"