වැලිමඩ සිල්වියාපුර බදිරියා මාවතේ පදංචිව සිටි සුබ්‍රමනියම් යෝගනාදන් (45) සහ සුබ්‍රමනියම් තිවානි (40) යන දෙමව්පියෝ තමන්ට දාව උපන් පිරිමි බිලිඳා මහනුවර ලේක්පාරේ පදිංචි මොහොමඩ් කලීම් හුසේන් නලීම් (48) සහ ජීනත්තු බීබි (44) යන අයට ලබා දී තිබේ.
තවත් දිනකින් මෙම බිලිඳා කොළඹ රැගෙන යෑමට නියමිත බව දන්වමින් මහනුවර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත, කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කා පො ප අයේෂා උපුල්මලී බණ්ඩාර මහත්මිය ඇතුළු කණ්ඩායම විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකින් මෙම වංචනික මවත් පියාත් මිලදී ගත් කිරිකැටියාත් සොයා ගත හැකි විය.
වගේවගක් නොදන්නා දින විසිඑකක කිරිකැටියෙක් අම්මාවත් හරිහැටි නොදන්නා නිසාම නොදන්නා අම්මා කෙනෙකු ළඟ නැලැවෙමින් සිටියේය. දසමසක් කුස තුළ මව් හුස්ම පොදට වහවැටී හුන් බිලිඳා මෙලෝ එළිය දුටුවේ දෙමව්පිය තුරුළේ යෙහෙන් සැනැහෙන්නට විය යුතුය.
මව් උණුහුමේ ගුලි වෙමින් කුස පිරෙන්නට කිරි බී ස්නේහයේ සැතැපෙන මේ කිරිකැටියා තවත් දින කිහිපයකින් නොදන්නා උණුහුමක තනිවනු ඇතැයි දන්නේ වත් නැත. එහෙත් පුදුමය ලෝක ළමාදිනය දාම මේ පුංචි පැටියා මුදල් ගනුදෙනු මතම වෙනත් දෑතකට මාරු වී ගිය හැටිය.
බිලිඳා ඉපදීමටත් පෙර දෙමහල්ලෝ කිරිකැටි ගනුදෙනුව ගැන කතිකා කොට සිට ඇත. ජින්තු බිබි ගේ මේ දෙවැනි විවාහයය. ඔහුගේ දෙවැනි සැමියා වන හුසේන් නලීම්ට පෙර විවාහයේ දරුවන් හතරදෙනෙක් සිටී.
ජින්තු බිබිට දරුවන් නැති නිසා දරුවකු අරන් හදාගමු යැයි කතිකා කර ගත් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි. මේ බිලිඳා පිළිබඳ තොරතුරු ජින්තු බිබිට කියා ඇත්තේ ඇයගේ සහෝදරිය වන සලීනා බිබී ය.
ඒ අනුව නීතිඥයකු ඉදිරියේ ගිවිසුම් අත්සන් කොට සතුටු සිතින් රුපියල් හතලිස් දහසක මුදලක් අදාළ දෙමව්පියන් වෙත සැප්තැම්බර් දහහතර වැනිදා රෝහලේදි ලබා දුන් බවද අධිකරණය හමුවේ කියා සිටි මේ යුවළ දරුවා තමන් හදාගැනීමට ගත් බව කීහ.
වැලිමඩ යුවලට මෙයට පෙර දරුවන් සිටී.
ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් නොවන නිසාම දරුවා ලබා දුන් බව ඔවුහු කියා සිටිති.
කුමක් කෙසේ කීවත්, මෙය නීතියට පටහැනි ගනුදෙනුවකි. බිලිඳා මුදලට විකිණූ බවටත් ව්‍යාජ මවක ලෙස පෙනී සිටිමත් නීත්‍යනු කූල නොවන බිලිඳෙක් ළඟ තබා ගැනීමත් කියන චෝදනා මත මහනුවර පදිංචි ජීනත්තු බිබි යුවල ගම්පොල අධිකරණය වෙත යැවීමට සහකාර කාන්තා පොලිස් අධිකාරි ජානකි සෙනවිරත්න මහත්මිය ඇතුළු පොලිස් නිලධාරීන් උපදෙස් ලබා දී තිබිණි.
ඒ අනුව ගම්පොල පොලිසියේ 11345 සාජන් සෙනවිරත්න 7680 ජයලත් යන පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් ගම්පොල මහෙස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසිංහ මහතා වෙත යොමු කළහ.
කිරිකැටියා මහනුවර ටිකිරි ළමා නිවාසයට භාර දීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා නොවැම්බර් හයවැනි දින යළි නඩුව කැඳවන බව කීය.
මේ රටේ සිදුවන්නේ පුදුම හිතෙන දෑය. ලෝක ළමා දිනය දාම මෙවැනි සිදුවීම් සිදුවීම හරහා අපට සිතන්නට බොහෝදෑ ඉතිරිව ඇත්තේය. එක් අතකට මෙම මව සැබෑ ස්නේහයෙන්ම දරුවා රැක බලා ගන්නට සිතන්නට ඇත.
නැතිනම් අපි අසා ඇති පරිදි තවත් අයෙකුට විකුණන්නට විය හැකිය. මේ කුමක් වුවත් කිසියම් නිශ්චිත නීති රාමුවකට යටත්ව මෙම ගනු දෙනු සිදුවන සේ රටේ නීතියක් සැකසී ඇත්නම් හයක් හතරක් නොදන්නා බිලිඳන් මුදලට විකිණෙන්නේ නැත.
දිවයින