අද උදෑසන සිට කාර්යාල දුම්රිය සියල්ල ධාවනය වන බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, සියළු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වන්නේ අද පස්වරු කාලයේ බවයි වර්ජනයේ නිරත වූ වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.
පසුගිය සැප්තැම්බර් මස 25 වන දා සිට දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබුණා.
එහිදී දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට සහ සංවෘත සේවාවක් බවට පත් කිරීමටයි රජය කටයුතු කරනු ලැබුවේ. එවන් පසුබිමක, වර්ජනයේ නිරත සේවකයන්ට සේවය හැරගියා සේ ලිපි යැවීමට ද ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.
මේ අතර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බැවින් වර්ජනය අත්හළ සියළු දුම්රිය සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පෙර සේවයට වාර්තා කළ යුතු බවයි.
කෙසේ වෙතත්, ලංකා දුම්රිය නියාමක සංගමයේ ලේකම් මනුර පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද පස්වරුව වන විට සියළු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.
මේ අතර, දුම්රිය වර්ජනය අවසන් වූ බවට ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඊයේ රාත්‍රියේ සිට මගීන් දුම්රියෙන් ගමන් කිරීම සඳහා කොටුව දුම්රිය ස්ථානයට විශාල වශයෙන් පැමිණ තිබෙනවා. එහෙත් දුම්රිය ධාවනයට සේවකයින් නොමැතිවීමෙන් දුම්රිය ධාවනයට හැකිවී නොමැති අතර, පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිළතල දරණ නිලධාරීන් ද මැදිහත් වී දුම්රිය කිහිපයක් ධාවනය වූ බවටයි වාර්තා වන්නේ.