නයනි මහේෂිකා කියන්නේ මිට දශක දෙකකට පෙර නිරන්තරයෙන්ම දුටු රුවක් කිව්වොත් හරි. ටෙලි නාට්‍යයට නැතිවම බැරි ඒ රුව වෙළෙදදැන්වීම් සදහාත් සමීප රුවක්. වසර 19ක් වැනි දීර්ඝ කාලයක් නිර්මාණ තුලින් දැකගන්න නොලැබුණත් අදටත් ප්‍රේක්ෂකයින්ට ඒ රූපය සමීපයි. අරුංගල් ටෙලි නාට්‍යයෙන් පසුව රංගන ජිවිතයට සමුදුන් නයනි ගැන තොරතුරුයි මේ.
නයනි කොහොමද ජිවිතේ..?
පවුල් ජීවිතය එක්ක සතුටින් කාලය ගත කරනවා.
ඔබ රංගන ජිවිතයට සමු දීලා අවුරුදු 19ක් වෙනවා. විවාහයත් එක්ක රංගනයට ස්වයං වාරණයක් දාගත්තද..? එහෙම නැත්තනම් සැමියාගේ අකමැත්ත නිසා ඔබ රංගනයට සමු දුන්නද..?
මුලදීම එයා අකමැති වුණා මම රගපනවට. කෙලින්ම එපා කිව්වේ නැති වුණාට මම රගපාන එකට එයාගේ කැමැත්තක් නැති බව මට තේරුණා. ඊට පස්සේ මට හිතුණා විවාහ ජීවිතය සාර්ථක කරගන්න නම් මට රගපෑමෙන් ඉවත් වෙන්න වෙනවා කියලා. හැම දෙයකටම වඩා මට වටින්නේ පවුල. ඒ නිසා මම හිතුවා මගේ පවුල් ජීවිතය රැකගෙන රංගනයට ආයුබෝවන් කියන්න.
ඔබේ සැමියා සිසිර ඔබ නිලියක් බව දැනගෙනද ආදරයට යෝජනා කළේ..?
එයා එහෙම ටීවී බලන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම නිළියක්ද කියන එක දැනගෙන හිටියේ නැහැ. මම රගපෑ ටෙලි ෆිල්ම් එකක එයා ඇදුම් නිර්මාණය කළා. එතැනදී තමයි මුලින්ම මාව දකින්නේ. ඊට පස්සේ මගේ හිතවතෙක් ඔහුව මට හදුන්වා දුන්නා. එදා කතාබහ කළා. ඊට පස්සේ තමයි ඔහු මට ආදරේ කරන බව කිව්වේ.
ඔහු ආදරයට හා විවාහයට යෝජනා කළාම ඔබ මොකද කිව්වේ..?
මම එකපාරටම කිව්වා හිතලා බලන්න ඕන කියලා. එහෙම කියලා මාස හයක් වගේ කාලයක් තුළ අපි ආදරය කරලා විවාහ වුණා. විවාහ වුනාට පස්සේ ඒ ජිවිතේ වෙනුවෙන් කැපවෙන්න ඕන කියන සිතුවිල්ල ආවා. එදා රංගනයෙන් ඉවත් වුනු නිසා අදටත් මම ලස්සන පවුල් ජිවිතයක් ගත කරනවා.
විවාහයත් එක්කම ඔබ රංගනයට සමු දුන්නේ නයනි මහේෂිකා කියන නිළිය ජනප්‍රියම කාලේ. අද රංගනයෙන් ඉවත් වීම ගැන ඇත්තටම දුකක් නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද..?
හිතට දුකක් ඇතිවුනු අවස්ථා තියෙනවා. නැහැ කියන්න බැහැ. සමහර කලාත්මක නිර්මාණ දකිද්දී අපරාදේ මටත් රගපාන්න තිබ්බානම් කියලා හිතිලා තියෙනවා. නමුත් දැන් යන ඇතැම් ඇතැම් නිර්මාණ දකිද්දී මම පවුල් ජිවිතයට මුල්තැන දුන්නු එක හොදයි කියලා හිතෙනවා. මට අදටත් රගපාන්න ආරාධනා ලැබෙනවා. ඒත් ඉදිරියේදී තමයි ඒ ගැන හිතන්න ඕන, දැන් පුතාලා ලොකු නිසා හොදම නිර්මාණයකට දෙකකට විතරක් සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා. මොකද අද කලාකරුවන් කුලීකරුවන් වගේ දිනපතා මුදල් ගන්නේ. ඒ වගේ මට්ටමකට අද කලාව වැටිලා ඇතැම් අධ්යක්ෂවරු නිසා. ඒ වගේ නිර්මාණවල කොලිටි එකත් බැහැලා.
මම මේ වෙද්දී නාට්‍ය 22ට හා වසන්ත ඔබේසේකර මහතාගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා හොද නිර්මාණ.
අවුරුදු 19ක් පුරාවට ඔබව දැකගන්න නොලැබුණාට ඔබේ රූපය බොහෝ දෙනෙකුට මතක ඇති නේද, කොහොමද මග තොටේදී ලැබෙන ප්‍රතිචාර..?
ගොඩක් අයට මගේ මුහුණ මතකයි. ඒත් නම මතක නැහැ. ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවා. සමහර අය අදුරගෙන"අනේ ඔයානේ, නම මතක නැහැ නම කියන්නකෝ.." කියනවා.ඉස්සර රගපාපු චරිත ගැන මතක් කරලා සතුටු වෙනවා. ඒවගේ හොද ප්‍රතිචාර ලැබෙනවා. මේ හැමදේකටම හේතුව මම කළ නිර්මාණ. මම බුදවත්ත සර් ලග ඉගෙන ගන්න කාලේ තමයි මුල්ම වෙළෙද දැන්වීමට සම්බන්ධ වුණේ. එතුමාව වගේම අරුණ ගුණරත්න මහත්මයාව, සතිෂ්චන්ද්‍ර එදිරිවීර මහත්මයාව මතක් කරන්න ඕන. ඔවුන් නිසා තමයි ඒ කාලේ මම බැබලුණේ කියලා.
බොහෝ නිලියන් ප්‍රතිරූපයට හානියක් වෙයි කියලා මේකප් නැතුව එළියට බහින්නේ නැහැ. ඔබත් එහෙමද..?
මම ගොඩක් නිර්මාණවල රගපෑවේ මගේ ස්භාවික පෙනුමෙන්මයි. මේකප් කළේ නැහැ. ඒ නිසා තමයි ගොඩක් දෙනෙකුට මාව මතක. ඒ පුරුද්දට මම එලියට යද්දී මේකප් දන්නේ නැහැ. විශේෂ උත්සවවලට සාමාන්‍ය මේකප් එකක් දාගන්නවා.
ඔබ පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඔබ නිලියක් වීම ගැන ඔවුන්ගේ ප්‍රතිචාර කොයිවගේද..?
ලොකු පුතා මෙවර උසස්පෙළට ලියනවා. එයාගේ නම විහග ඉදුවර. පොඩි පුතාට වයස 13යි. නම සංදේශ්. ඒ කාලේ නම් තේරුනේ නැහැ ඒ අයට. දැන් නම් තේරෙනවා. මොකද මගේ පරණ නිර්මාණ දැන් රූපවාහිනිවල පෙන්වන නිසා. පොඩි පුතා නම් කියනවා අපි දැන් ලොකුයිනේ අම්මා අයෙත් රගපාන්න යන්න කියලා. එයා නම් කැමතියි මාව නිලියක් වගේ දකින්න.
පවුල් ජීවිතය පවත්වාගෙන යන්න ඔබේ සැමියා සිසිරගෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
අපි අතර හොද අවබෝධයක් තියෙනවා. අපි එකිනෙකට උදව් කරගන්නවා. එයා ව්‍යාපාරිකයෙක්. ඇදුම් නිර්මාණය කරනවා. විජයබා කොල්ලය චිත්‍රපටයේ ඇදුම් නිර්මාණය කළෙත් අපි. නළු නිළියන්ට වගේම චිත්‍රපටි සදහා අපි ඇදුම් නිර්මාණය කරනවා. ඒ ව්‍යාපාරයට මගෙනුත් සැමියාට සහයෝගය දක්වනවා.
ඒ කාලේ ඔබට තිබුණු ජනප්‍රියත්වයත් එක්ක තරුණයින්ගෙන් ආදරයට ඇරයුම් එන්න ඇති..?
හරියට ලියුම් නම් ආවා. එතකොට මගේ වයස අවුරුදු 20ක් 21ක් වගේ ඇති. බොහෝ ලියුම්වල තිබ්බේ නාට්‍යවල කොටස්. ආදරේ ප්‍රකාශ කරලත් තිබ්බ. නමුත් ඒ හැමදෙයකින්ම බේරිලා ඉන්නේ කොහොමද හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන මට අවබෝධයක් තිබ්බා. රංගන ක්ෂේත්රයේ ඉන්නකොට හැරුණත් කතා හැදෙනවා. ඒ නිසා පරිස්සමින් මම නම් වැඩ කළා. ඒ නිසා මට කවදාවත් කතා හැදුනෙත් නැහැ.
නළු නිලි බොහෝ දෙනෙක් විශාල මුදලක් වියදම් කරලා විවාහ මංගල උත්සව අරගෙන ටික කලකින් දික්කසාද වෙනවා. මේ රැල්ල ගැන ඔබ මොකද කියන්නේ..?
නළු නිලියෝ කලාකාරයෝ විතරක් නෙමෙයි සාමාන්‍ය ජිවිත ගත කරන බොහෝ දෙනෙක් එහෙමයි. කලාකරුවෝ ජනප්‍රිය නිසා ඒවා ප්‍රසිද්ධ වෙනවා. දැනහදුනාගෙන විවාහ වෙලා මාස දෙක තුනෙන් දික්කසාද වෙන අය ඕන තරම් දැකලා තියෙනවා. ඒ වගේම විවාහ මංගල ඇදුම හදන්න දීලා වෙඩින් එකට දින දෙකක් තියෙද්දී එක තරුණියක් ආවා ඇදුම ගන්න. විවාහය වෙන්නේ නැහැ කියලා. ඒ වගේ තත්ත්වයක් තමයි දැන් අපේ රටේ තියෙන්නේ. මම නම් කියන්නේ විවාහ වුනු අය හොද අවබෝධයකින් ජිවත් වෙන්න ඕන. දරුවෝ ඉන්නවා නම් දරුවෝ ගැන හිතන්න ඕන.