පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නව පංච පුද්ගල කොමිසමක් පත් කර තිබෙනවා.
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමට අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරියක වන ඩබ්ලිව්.එම්.එම්.අධිකාරී ද ඇතුළත්.
පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සිද්ධීන්, පුද්ගලයන්, සංවිධාන හඳුනාගැනීම මෙන්ම ඊට අදාළව රාජ්‍ය නිලධාරීන් වැරදි ලෙස බලය යොදාගැනීම, අතපසුවීම් සහ වගකීම් පැහැරහැරීම් ආදිය පිළිබඳවද විමර්ශනය කිරීම මෙම කොමිසමට පැවරෙනවා.
එමෙන්ම කොමිසම මගින් පළමු අතුරු වාර්තාව මාස 3 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු අතර, මාස 6 ක් තුළ අවසන් වාර්තාව ලබාදිය යුතු බවයි ඊට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
මීට අදාළව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමද කොමිසමේ වගකීමක් වන අතර, මෙවැනි සිද්ධීන් ඉදිරියේදී ඇතිවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන ලෙසද දන්වා තිබෙනවා.