කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳහා රැදී සිටි අවුරුදු 6 1/2 ක බාලවයස්කාර පිරිමි ළමයකුට බරපතල ලිංගික අතවර කිරීමේ හා ඒ සඳහා ආධාර දීමේ චෝදනාවට වරදකරු වූ එම පාසලේම රගර් කණ්ඩායමේ සාමාජිකයින් ලෙස කටයුතු කළ රගර් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් ඊයේ (19) නියම කළේය.
මීට වසර 5ක කාලයකට පෙරදී පාසලේදී පිරිමි ළමයකුට බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වී මෙලෙස දඬුවම් නියම වූ විත්තිකරුවන්ට අතවරයට ලක් වූ දරුවාට රුපියල් ලක්‍ෂය බැගින් වන්දි ගෙවීමට ද නියම කළේය.
2014 වසරේ නොවැම්බර් මාසයේ දිනයක කොළඹදී පළමු විත්තිකරු බාලවයස්කාර දරුවාට ලිංගික අතවර කර ඇති බවත් දෙවැනි විත්තිකරු ඒ සඳහා ඔහුට අනුබල දී ඇති බවටත් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකරුවන්ට එරෙහි සියලු චෝදනා පැමිණිල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬුවම නියම කළේය.
මීට අමතරව විත්තිකරුවන්ට රුපියල් 25,000/- බැගින් දඩ නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළ දඩ හා වන්දි මුදල් නොගෙවුවහොත් මාස 43 බැගින් අමතර සිරදඬුවම් නියම කළේය.
"ලංකාදීප"
මනෝප්‍රිය ගුණසේකර