ශ්‍රී ලංකා පිළේ සංචාරය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පැවතුණ ද පාකිස්තානය ඒ සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.
පාකිස්තානයේ ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටු ප්‍රධානියා වන මිස්බා උල්හක් ලාහෝරයේදී ඊයේ එම සංචිතය ප්‍රකාශයට පත් කළා.
කෙසේ නමුත්, එම සංචිතයට තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ප්‍රවීණ ක්‍රීඩක මොහොමඞ් හෆීස් ඇතුළත් කර නැහැ.
ඒ ඔහුට කැරිබියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම සඳහා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඔක්තෝම්බර් 12 වන දා දක්වා අවසර ලබාදී තිබුණා.
නම් කළ සංචිතයට අබිඞ් අලි, අහමඞ් ෂෙෂාඞ්, උමාර් අක්මාල්, ඉමාම් උල්හක්, මොහොමඞ් අමීර්, බාබර් අසාම් වැනි ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුළත්.
එක්දින සහ විස්සයි විස්ස තරඟ සංචාරය සඳහා ශ්‍රී ලංකා පිළ මේ මස 27 වන දා පාකිස්තානය බලා පිටත්වීමට නියමිතයි.
කෙසේ නමුත්, ප්‍රබල ක්‍රීඩකයන් දස දෙනෙකු සංචාරයට සහභාගිවීම ප්‍රතික්ෂේප කර ඇති අතර, පාකිස්තානයේ සංචාරය අවදානම් බවට රජය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දීමක් ද කර තිබෙනවා.