දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැළකෙන නෙළුම් කුළුණ අද ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මෙය විවෘත කෙරෙන අතර, ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද එක්වනු ඇති.
2012 වසරේ ජනවාරි 20 වනදා නෙළුම් කුළුණේ ඉදිකිරිම් සඳහා මුල් ගල තැබුණු අතර, ඒ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකන් ඩොලර් මිලියන 104.3 ක්.
මීටර 350 ක උසින් යුත් නෙළුම් කුළුණ, දකුණු ආසියාවේ උසම කුළුණ වන අතර, ලෝකයේ 19 වන උසම කුළුණද වනවා.
කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ බේරේ වැව අසබඩ වර්ග මීටර 30,600ක භූමියක ඉදිකර ඇති නෙළුම් කුළුණ විවෘත කිරීමෙන් පසුව ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකාවන්ට සම්ප්‍රේෂණ කටයුතු ඩිජිටල් තාක්ෂණය යටතේ එක් ස්ථානයක සිට සිදුකිරීමට අවස්ථාව හිමි වනු ඇති.
කුළුණෙහි පළමු සහ දෙවන මහල් දෙකම වෙන් කර ඇත්තේ රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු වෙනුවෙන්. මෙය සැකසීම සඳහා සියළු උපදේශන සේවාවන් සපයනු ලැබුවේ මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයන් වීම ද විශේෂත්වයක්.
නෙළුම් කුළුණේ 3 වන සහ 4 වන මහල් වෙන් කර ඇත්තේ උත්සව ශාලා දෙකක් සඳහායි.
එමෙන්ම, කැරකෙන අවන්හල නෙළුම් කුළුණෙහි වඩාත් ආකර්ශනීය ස්ථානයක් වනවා.
මීට අමතරව කුළුණෙහි 7 වන මහල වෙන් කර ඇත්තේ කොළඹ මනරම් පරිසරය ගුවනේ සිට නැරඹීමටයි.
සත් වන මහලට ඉහළින් පිහිටා ඇත්තේ ඩිජිටල් සම්ප්‍රේෂණ කටයුතු මෙහෙය වන යෝධ ඇන්ටනා සංකීර්ණයයි.