සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරා ඇතුළු හයදෙනෙකු රත්ගම පොලීසිය අද අත්අඩංගුවට ගත්තා.
ඒ, බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් හට කෑම භාජනයක සඟවා ජංගම දුරකතන දෙකක් ලබාදීමට උත්සහ කිරීම හේතුවෙන්.
ගංජා කිලෝ ග්‍රෑම් 5 යි ග්‍රෑම් 300 ක් ළඟ තබාගැනීමේ සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරුවූ මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් හට වසර 6 ක සිර දඩුවමක් නියමවී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනවා.
අදට යෙදී ඇති සිරකරු සැමරුම් දිනය වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන්ට රැදවියන් මුණ ගැසීම සදහා අවස්ථාව ලබාදී තිබුණා.
ඒ අනුව කංජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරා සහ මිතුරන් සිව්දෙනෙක් ඔහු බැලීම සදහා අද බූස්ස බන්ධනාගාරයට පැමිණ තිබෙනවා.
ඔවුන් කංජිපානි ඉම්රාන්ට ලබාදීමට රැගෙන ආ ආහාර අඩංගු භාජන බන්ධනාගාර නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබෙන අතර එම භාජන දෙකෙහි ව්‍යාජ ලෙස සකස් කරන ලද පතුල් දෙකක් ඇති බවට සොයා ගැනුනා.
එම ව්‍යාජ පතුල් දෙක පරික්ෂා කිරීමේදී එහි තිබී ජංගම දුරකතන දෙකක්, එම දුරකතන දෙකෙහි චාජර දෙක හා අඟල් 15 ක් පමණ වන වයර් ප්‍රමාණයක් හමුව තිබෙනවා.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 06 දෙනා වැඩිදුර විමර්ශන සදහා රත්ගම පොලීසිය වෙත භාරදෙනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කංජිපානි ඉම්රාන්ගේ පියා වන 65 හැවිරිදි මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නජීඩ් හා කංජිපානි ඉම්රාන්ගේ සොහොයුරා වන මොහොමඩ් නාජීම් අබ්දුල් ෆායිස් යන අයයි.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් වන්නේ කංජිපානි ඉම්රාන්ගේ බිරිදගේ සහෝදරයන් වන 23 හැවිරිදි මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් සෆ්රාස්, 22 හැවිරිදි මොහොමඩ් ඉන්හාම් මොහොමඩ් අෆ්රිඩින්, බිරිදගේ අක්කාගේ පුත්‍රයා වන 22 හැවිරිදි මොහොමඩ් කෘතුන්දීන් මොහොමඩ් වෂිඩ්දීන් හා කංජිපානි ඉම්රාන්ගේ සහෝදරයාගේ බිරිදගේ පියා වන 43 හැවිරිදි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆායිස් යන අයයි.
පාතාල කල්ලි නායක මාකදුරේ මදූෂ් ඩුබායි හී සංවිධානය කර තිබූ සාදයක සිටියදී කංජිපානි ඉම්රාන් පසුගිය පෙබරවාරි 5 වනදා එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වුණා.
පසුව මෙරටට පිටිවහල් කෙරුණු ඔහු මාර්තු 28 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.
VIDEO