ප්‍රශානි පෙරේරා කියන්නේ කාලයක් පුංචි තිරය විවිධ චරිතවලින් ආක්‍රමණය කරගෙන සිටි රංගන ශිල්පිණියක්. මිට වර්ෂ දහයකට පෙර රංගනයට සමුදුන් ප්‍රශානි පසුගිය වර්ෂයේ සිනමා සිත්තම් දෙකකින් දකින්න ලැබුනා. නිර්මාණ සදහා සම්බන්ධ නොවී සිටියත් ඇයව දුටු පමණින් ඒ කවුරුන්ද යන්න කාටත් මතක ඇති. රංගන ජිවිතයට සමු දී පෞද්ගලික ජිවිතයට මුල් තැන දෙන ප්‍රශානි ඒ ගැන බොහෝ කලකට පසුව හිරුත් එක්ක කතා කළේ මෙලෙසිනුයි.
ප්‍රශානි කොහොමද ජිවිතේ..?
හොදින් සතුටින් ජිවත් වෙනවා. මම අම්මා කෙනෙක් නිසා මගේ පුතාගේ ජිවිතේ එක්ක මමත් කාර්යබහුල වෙලා. නමුත් පවුල එක්ක ජිවත් වෙද්දී ඒ කාර්යබහුලකම මට දැනෙන්නේ නැති තරම්.
මිට වර්ෂ දහයකට පෙර ප්‍රශානිගේ රංගන දක්ෂතා සිනමාවෙන් වගේම පුංචි තිරයෙන් දැකගන්න ලැබුණා. නමුත් ඔබ කාලයක් සියලු දෙයින් ඉවත් වෙලා හිටියා, ඒ ඇයි..?
මම 2008 වර්ෂයේ ජනවාරි මාසේ විවාහ වුණා, මගේ සැමියා අජිත් දොලමුල්ල. එයා විදෙස් ගත වෙලා හිටියේ. ඒ නිසා මමත් විවාහවෙලා ඔහුත් එක්ක විදෙස්ගත වුණා. ඊට පස්සේ මම ප්‍රෙග්නට් වුනා. බබා ලැබෙන්න හිටපු නිසා මම ආයෙමත් ලංකාවට ආවා. මේ හේතු නිසා මට රංගනයට සමු දෙන්න වුනා. ඒ නිසයි මාව දකින්න ලැබුනේ නැත්තේ.
රගපාන්න එපා කියලා සැමියා වාරණ දාන්නත් ඇති..?
ඔව්.එයා මම රගපනවට ටිකක්වත් කැමති වුණේ නැහැ. එයා අකමැති නිසා ඒ කාලේ මම රගපාන්න අවසර දෙන්න කියලා ඉල්ලීමක් කළෙත් නැහැ. පුතා ලැබුනට පස්සේ එයා එක්ක කාලේ ගත කළා. පුතාගේ නම හිරුක. මරදාන ජෝසප් විද්‍යාලයේ පස් වැනි ශ්‍රේණියේ පුතා අධ්‍යාපනය ලබනවා. එයාගේ වැඩකටයුතු එක්ක දවස ගෙවනවා. ලංකාවට ආ වෙලාවක මම චිත්‍රපටි දෙකකට සම්බන්ධ වුනා. නමුත් හිතපු තරම් ඒ නිර්මාණ දෙක සාර්ථක වුනේ නැහැ. ජනතාව අතරට ගියේ නැහැ. පුතා ලොකු නිසයි ඒ නිර්මාණ දෙකට යන්න කියලා සැමියා කිව්වේ.
ඒ කියන්නේ දැන් ඔබ රගපානවට සැමියාගේ අකමැත්තක් නැද්ද..?
ලොකු කැමැත්තක් තවම නැහැ. නමුත් කොලඹ අවට නිර්මාණය වෙන ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටි සදහා සම්බන්ධ වෙන්න කැමැත්තෙන් මම ඉන්නවා. ලැබෙන ආරාධනා ගැන සැමියාට කියලා එයා කැමති වුනොත් මම රගපාන්න කැමැත්තෙන් ඉන්නවා. නමුත් පුතාගේ වැඩකටයුතු හෝ ගෙදර වැඩවලට බාධාවක් නොවෙන්නයි මම කරන දෙයක් කරන්නේ.
ඔබ විවාහයට ඇතුලත් වෙන කාලේ ඔබ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඒ ජනප්‍රියත්වය විවාහයත් එක්ක නැති වීම හා රංගනයට සමු දීම ගැන දුකක් දැනෙන්නේ නැහැ කිව්වොත් බොරුවක් නේද..?
චිත්‍රපටි හයකට හා ටෙලිනාට්‍ය විස්සකට විතර මම රගපාලා තියෙනවා. රංගනය කියන දේට මගේ හිතේ තවමත් ආසාවක් තියෙනවා. ඒ ආසාව හිතෙන නැති වෙන එකක් නෙමෙයි. විවාහ වෙලා රංගනයට සමු දුන්නට පස්සේ මගේ හිතේ ලොකු දුකක් ඇති වුණා.විවිධ නිර්මාණ දකිද්දී මටත් රගපාන්න තිබුනා නම් කියලා හිතුනු වාර අනන්තයි. මොකද මම රංගනයට සමු දුන්නේ මම ජනප්‍රියම කාලේ නිසා. විවාහ වෙලා ටික කාලයක් රගපාලම සමුදුන්නනම් කියලත් හිතිලා තිබුනා. කොහොම නමුත් රංගනයෙන් ඈත් වුනු නිසයි මට ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්න අවශ්‍ය වටපිටාව ලැබුනේ. පුතත් හොදින් අධ්‍යාපනය ලබනවා. එහෙම හිතද්දී නම් මට සතුටක් හිතෙනවා මම සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන එක ගැන. නමුත් දුකක් පසුතැවීමක් නැතුව නෙමෙයි.
අම්මා නිලියක් කියලා පුතාගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
මම රගපෑ අලි පැටියෝ ඔයයි මමයි කියන චිත්‍රපටිය එයා බැලුවා. ඒකෙ ඉන්නේ මම කියලා එයා දැනගත්තට එයාට ඒ ගැන ඒ තරම් දැනුමක් නැහැ ඒ ගැන තේරුම් ගන්න. මට ආදරේ කරන ඇතැම් පිරිස මාව මුණගැහිලා කතා කරද්දී එයා හිතන්නේ ඒ අය මගේ යාළුවො කියලයි. පුතාගේ ඉස්කෝලේ ළමයින්ගේ දෙමාපියන් නිතරම මුණගැහෙනවා, කතා කරනවා. ඒ වෙලාවට මමත් එයාට කියනවා පුතාට වඩා මට යාලුවෝ ගොඩක් ඉන්නවා කියලා. මොකද ඒ අය මගේ රසිකයින් කියලා එයාට තේරෙන්නේ නැහැ
බොහෝ ජනප්‍රිය තරු මේකප් වලින් තොරව හදුනා ගන්න අමාරුයි කියලා කියනවා. මේකප් නැතිව ප්‍රශානිව හදුනා ගන්නත් බැරිද, කොහොමද දැන් ලැබෙන ප්‍රතිචාර කියලත් කියමු..?
ඇත්තම කිව්වොත් ඉස්සර තරම් මට රසිකයින්ගෙන් ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. මාව නිර්මාණවලින් දකින්න නැති නිසා වෙන්න ඇති. නමුත් මාව දැකලා ආයෙමත් බලලා හිනා වෙන කතා කරන අයත් ඉන්නවා. මේකප් නැතුව නම් මාව අදුරගන්න අමාරුයි. එතකොට කවුරුත් මම රගපෑ ප්‍රශානි පෙරේරා කියලා හදුනාගන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට මේකප් නැතුව ඉන්නේ.
ජනප්‍රිය කලාකරුවන්ගේ ආශ්‍රයත් අඩුද..?
මට ආරාධනා කරන විවාහ මංගල උත්සවවලට මම යනවා. ඒ වගේම අවමංගල්‍යවලටත් අනිවාර්යෙන්ම යනවා. ඒ වගේ අවස්ථාවලදී තමයි මට ගොඩක් දුරට කලාකරුවන්ගේ ආශ්‍රය ලැබෙන්නේ. ඒ හැරුණාම කිසිම පාටියකට මම යන්නේ නැහැ. ප්‍රවීණ කලාකරුවෝ එක්ක සම්බන්ධකම් තවම තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධකම් පවත්වාගෙන යනවා.
ඔබව බොහෝ කාලයක් නොදැක්ක නිසාත් අලුත් පරපුරක් ඉන්න නිසාත් නිර්මාණ සදහා ආරාධනා ලැබෙනවා අඩු ඇති. ඒ ගැනත් මතක් කරමු..?
දකින්න නැති නිසා ආරාධනා ලැබෙනවා අඩුයි. ලගදී එක නිර්මාණයකට ආරාධනා ලැබුනා. මම කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කලේ නැහැ. කොලඹ අවට ඒ නිර්මාණය රූගත කරනවා නම් බලමු කිව්වා.