නිවෙසේදී මියගියේ යැයි කියන 81 හැවිරිදි සිය මවගේ සිරුර එකම පුතා විසින් ත්‍රිරෝද රථයක දමා රැගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන්, වටවල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
වටවල පොලිස් වසමට අයත් විග්ටන් ඉහළ කොටසේ පදිංචිව සිටි 81 හැවිරිදි වල්ලි අම්මා රාගෙයි නමැති එක්දරු මව ඉකුත් 9දා රාත්‍රි නිවසේදී රෝගාතුරව සිට මියගිය බවත්, මවගේ අවමංගල කටයුතු සිදු කිරීමට ආර්ථික පහසුකම් නොමැති නිසා සිරුර කැලයකට විසිකර දමන බව පවසා එදිනම රාත්‍රියේ සිය සැමියා දෙවැනි පුතාත් සමඟ මියගිය මවගේ දේහය රැගෙන නිවෙසින් පිටව ගිය බව ආර්. විශ්වා ගෞරවී නමැති තිදරු මව පවසනවා.
තම සැමියා සහ අවුරුදු 15ක් වයසැති තම දෙවැනි පුතා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත් සැමියා සහ පුතා සතියක පමණ කාලයක් නිවෙසට පැමිණ සිටි අවස්ථාවේ රෝගාතුරව සිටි මව නිවෙසේදී මියගිය බවත් විශ්වා ගෞරවී කියා සිටිනවා.
නිවෙසින් පිටව ගිය තම සැමියා හෝ තම දරුවා පිළිබඳව මේ වනතෙක් කිසිදු තොරතුරක් නොමැති බවත් ඇය සඳහන් කරනවා.
මෙම මරණය ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට සැක කරන එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් විසින් වටවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ල මත වතු කම්කරුවන් සහ වටවල පොලිසියේ නිලධාරීන් එක්ව මියගියේ යැයි කියන එක්දරු මවගේ සිරුර සොයා විග්ටන් වතුයායේ මෙහෙයුමක්ද දියත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි