හෘදයාබාධයක් වැළඳුණු රෝගීන් හට අධික රුධිර පීඩනය ඇතුළු හෘදයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන තත්ව පාලනයට විවිධ ඖෂධ වර්ග ලබාදෙයි.
මෙම ඖෂධ වර්ග සමඟ පපුවේ වේදනාවක් ඇති වුවහොත් දිව යට තබා ගැනීමට යැයි උපදෙස් ලැබෙන ටී.එන්.ටී.පෙති ද ලබා දීම සිදු වේ.
පපුවේ තැනින් තැන ඇති වන සුළු වේදනා වලට මේ පෙති තබා ගැනීම අනවශ්‍යය. විනාඩි 2-3කට වඩා තිබෙන වේදනාවක්,පපුවේ මැද ඇති වුවහොත් පමණක් මේ පෙති භාවිතා කළ යුතුයි.
ටී.එන්.ටී.පෙති වැඩිපුර භාවිතා කළා යැයි අහිතක් සිදු නොවේ.
මේ පෙති නිතර ගතහොත් ශරීරය ඒවාට හුරු වී පසුව ගුණයක් නොවන බව මිත්‍යා විශ්වාසයකි.
මේ පෙති මුඛ කුහරයේ ඕනෑම තැනක තබා දිය වන්නට ඉඩ දෙන්න.සාමාන්‍යයෙන් දිව යට තබා ගැනීමට උපදෙස් ලැබේ.
පෙත්ත ක්‍රියා කිරීමට නම් පළමු කොටම කටේ ඇති කෙළ වල දිය විය යුතුය.
පෙත්ත විගසම දිය නොවේ නම්,දත් දෙකක් අතර පෙත්ත කුඩු කොට එම කුඩු දිවේ තුඩින් ගෙන කම්මුලේ ගා ගත යුතුයි.
නැතහොත් පෙත්ත පළමු කොටම කඩදාසි කැබැල්ලක කුඩු කොට, එම කුඩු දිව යට තබා ගැනීම කළ යුතුය.
පෙත්ත ගිලූණාට වරදක් නැත. එහෙත් එවිට ගුණයක් හෝ ඉක්මන් සහනයක් ලැබෙන්නේ නැත.
ටී.එන්.ටී.පෙත්තක් දිය වූ පසු, වේදනාව තවත් ඇත්නම් විනාඩි 5ක කාලයකින් පසු තවත් පෙත්තක් දිව යට තබා ගැනීම වැදගත්ය.
පැය 1/2 ක් ඇතුළත පෙති 6-8 ක් දක්වා ගත හැකිය. මෙතරම් පෙති ප්‍රමාණයක් භාවිතා කළහොත් හිසේ රුදාව ද,හිස කරකැවිල්ල ද ඇති විය හැකි බැවින් හාන්සි වී සිටිය යුතුය.
වේදනාව විනාඩි 15-20 ට වැඩිය පැවතුණ හොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම හෝ රෝහල් ගත විය යුතුය.
වේදනාව ඇති වුවත්, නිශ්චලව සිටීමෙන් විනාඩි 3 -4 ක් ඇතුළත එය නැතිව යන්නේ නම්, ටී.එන්.ටී.පෙති තබා ගැනීම අවශ්‍ය නැත.
ඇතැම් අවස්ථා වලදී වේදනාව දැනෙන්න්ට පෙර ටී.එන්.ටී.පෙති තබා ගැනීමට උපදෙස් ලැබෙනු ඇත.
උදාහරණයක් ලෙස ඔබගේ නිවසට යෑමට සුළු කන්දක් ඇත්නම් ඒ කන්ද නඟින විට දී ඔබට පපුවේ වේදනාව හැම දිනම ඇති වන්නේ නම්
කඳු පාමුලදීම ටී.එන්.ටී. පෙත්තක් තබා ගෙන කන්ද නැඟීම සුදුසුය. ලිංගික සංසර්ගයට පෙර ද ටී.එන්.ටී. පෙති භාවිතා කිරීම ඇතැම් විට ප්රයෝජනවත්ය.
ටී.එන්.ටී.පෙති ඔබ ගැවසෙන කිහිප තැනක අසුරා තැබීම වඩාත් සුදුසු වේ. උදාහරණයක් ලෙස අත් බෑගයේ, කොට්ටය යට, ඔබ ගමන් ගන්නා රථය තුළ, කාර්යාලයේ මේස ලාච්චුවේ වැනි ස්ථාන වල තැබිය හැක.
සාක්කුවේ දැමීම එතරම් අහිතකර නොවුව ද අතේ ගුලි කර ගෙන යාම හෝ සමහර විට කාන්තාවන් හැට්ටය තුළ රුවාගෙන යාම ද හිතකර නැත. ශරීර උෂ්ණත්වය නිසා ඖෂධය විනාශ වීම සිදු වන බව පැවසෙයි.
මාස තුනෙන් තුනට ටී.එන්.ටී. පෙති ඉවත් කර අළුත් පෙති ලබා ගත යුතුය.
ටී.එන්.ටී. පෙති අසුරා තැබිය යුත්තේ වීදුරු බෝතල් තුළ පමණි. ප්ලාස්ටික් බඳුන් හෝ කාඞ්බෝඞ් පෙට්ටි මේ සඳහා සුදුසු නැත.හිරු එළිය වැටුණොත් මෙම පෙති නිෂ්ක්‍රීය වන බැවින් එම බෝතල අඳුරු පැහැ විය යුතුය.එම බෝතලය තුළට කපු පුළුන් නොයෙදිය යුතුය.සුළං වැදීම වැළැක්වීමට බෝතලයේ මූඩිය තදින් වසා තැබිය යුතුය.බෝතලයේ මූඩියේ ඇතුළු පැත්ත ඊයම් කොළයකින් ආවරණය කර තැබීම වඩාත් සුදුසු වේ.
දිනකට ගැනීමට සිදු වන ටී.එන්.ටී. පෙති සංඛ්‍යාව මෑතක සිට වැඩි වීම, එක් වේදනා වටයක් සමථයකට පත් කිරීම පිණිස පෙරට වඩා පෙති සංඛ්‍යාවක් භාවිතා කිරීමට සිදු වීම, මෑතක සිට ටී.එන්.ටී. පෙත්තට වේදනාව අඩු වන්නට දිගු කාලයක් ගත වීම වැනි තත්ත්වයන් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුමය.
චමරී ශ්‍යාමා නිලන්තිකා විතානගේ
හෙදි නිළධාරිණී
ශ්‍රී ලංකා ජාතික රෝහල
කොළඹ